ත්‍රිත්ව – අන්තෝනි කඳුරට නිල් මහා සටනට සියල්ල සූදානමින්

224

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන 101 වන කඳුරට නිල් මහා සටන මහා ක්‍රිකට් තරගය එළඹෙන 16 සහ 17 දෙදින පෙ.ව. 9.30 සිට අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.

“ගාලු ආදරවන්තයන්ගේ සටන් කෙරුවාවේ පැටිකිරිය: එදා සහ අද “

දකුණුලක ගාලු පුරවරවරයට වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම කැඳවමින් පැවැත්වෙන..

අතීතයෙන් බිඳක්

මෙම පාසල් දෙක අතර පළමු වරට මහා ක්‍රිකට් තරගයක් පවත්වනු ලබන්නේ 1914 වසරේ දී බෝගම්බර ක්‍රීඩාංගණයේ දී වන අතර අනතුරුව එය අස්ගිරිය ක්‍රීඩාංගණය දක්වා ගෙන යන ලදි. එතැන් පටන් මෙම තරගය සම්ප්‍රදායක් ලෙස ඉදිරියට ගෙනයන්නට පාසල් ද්විත්වයම කටයුතු කර ඇති අතර ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ එම තරගයේ 101 වන දිගහැරුමයි.

මෙම තරගය සඳහා 2005 වසරේ දී ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් වන ජෝන් හලංගොඩ මහතා සිහිවීම පිණිස කුසලානයක් හඳුන්වා දුන් අතර හලංගොඩ මහතා සාන්ත අන්තෝනි විද්‍යාලයේ පුහුණුකරු ලෙස පත්වී 1948 වසරේ දී ඔවුන්ගේ ඉතිහාසයේ පළමු පූර්ණ ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙය වූ බව ද ඉතිහාස කතාවල දැක්වේ.

මෙතෙක් පවත්වා ඇති තරග පිළිබඳව සලකා බැලූ විට ත්‍රිත්ව විද්‍යාලය ජයග්‍රහණ 23ක් සමඟින් ඉදිරියෙන් පසුවන අතර අනෙක් පසින් අන්තෝනිවරුන් තරග 11ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

අවසන් වරට මෙම තරගයේ ජයග්‍රහණයක් සනිටුහන් වූයේ 2012 වසරේ දී වන අතර එහි දී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම වසර 25කින් අනතුරුව ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් වූයේ එම තරගය ඉනිමකින් සහ එක් ලකුණකින් ජයග්‍රහණය කරමිනි. කෙසේ නමුත් සාන්ත අන්තෝනි විද්‍යාලය 1991 වසරෙන් පසුව තවමත් තරගයක් ජයග්‍රහණය කර නොමැත.

ත්‍රිත්ව විද්‍යාලය

මෙම වසර සඳහා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පැවරී ඇත්තේ ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ හටයි. මෙම වසරේ නවසීලන්තයේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළේ ඔහු වන අතර එහි දී කෙන්යාවට එරෙහි තරගයේ දී ලකුණු 192ක වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කරන්නට ඔහු සමත් විය.

කෙසේ නමුත් මෙවර තරග වාරයේ දී ත්‍රිත්ව විද්‍යාලයීය පිතිකරණ අංශය ගොඩනැඟී ඇත්තේ ලකුණු 780ක් වාර්තා කර ගෙන ඇති හසින්ත ජයසූරිය වටාය. අනෙක් පසින් ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණියේ වැදගත්ම ක්‍රීඩකයා වන්නේ වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ තිසරු දිල්ෂාන් ය. එමෙන්ම කණ්ඩායමේ උපනායක ට්‍රෙවෝන් වීරසූරිය ද මෙම තරග වාරයේ දී ඉහළ දස්කම් දැක්වීමට සමත් වී ඇති අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරග කිහිපයක් මඟහැරුණත්, මේ වන විට ලකුණු 650 සීමාව වෙත ළඟා වන්නට ඔහු සමත්ව ඇත.

එමෙන්ම අවශ්‍යම අවස්ථාවන්වල දී පුබුදු බණ්ඩාර ද ලකුණු අතරට පැමිණ ඇති අතර ඒ අනුව තවත් ලකුණු අතර සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන්ම සමන්විත ත්‍රිත්ව විද්‍යාලයීය පිතිකරණ බලඇණිය ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් වනු නොඅනුමානය. තවදුරටත් කවිෂ්ක සේනාධීර සහ විමුක්ති නෙතුමාල් දඟපන්දු යැවීමේ යුගලයෙන් ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් වී ඇත. ඔවුන් දෙදෙනාම මෙම තරග වාරයේ දී කඩුලු 60 බැගින් දවා ගනිමින් ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇත. එමෙන්ම ඔවුන්ගේ වේගපන්දු යැවීමේ බලඇණියේ පන්දු යවන්නන් තිදෙනා ද මෙම තරග වාරයේ දී කඩුලු 20 බැගින් දවා ගැනීමට සමත්ව ඇති අතර ඒ අනුව ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය ද ඉතා සමබර බව සඳහන් කළ හැක.

ත්‍රිත්ව විද්‍යාලයීය අනුමාන සංචිතය

හසිත බෝයගොඩ (නායක), ට්‍රෙවෝන් වීරසූරිය (උපනායක), තිසරු දිල්ෂාන්, විමුක්ති නෙතුමාල්, පුබුදු බණ්ඩාර, හසින්ත ජයසූරිය, අභිෂේක් ආනන්දකුමාර, රුවින් පීරිස්, නරේන්ද්‍රනාත් අසෝක් කුමාර්, පූර්ණ වංසේකර, ඔසඳ හේරත්

සාන්ත අන්තෝනි විද්‍යාලය

කඳුරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින පාසල් අතරින් එකක් වන කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය මෙවර තරග වාරයේ දෙවන කාණ්ඩයේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇත.

ඒ අනුව ඔවුන් මෙවර තරග වාරයේ දී පූර්ණ ජයග්‍රහණ 9ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් වාර්තා කර ගන්නට සමත්ව ඇති අතර තවත් තරග 3ක් තීරණයකින් තොරව අවසන් වී ඇත. ඔවුන්ගේ පිතිකරණ බලඇණිය මැදපෙළ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන සතීෂ් වික්‍රමආරච්චි වටා ගොඩනැඟී ඇති අතර ඔහු මෙම තරග වාරයේ දී ශතක 2ක් සමඟින් ලකුණු 600කට අධික සංඛ්‍යාවක් වාර්තා කර ගන්නට සමත්ව ඇත.

තවදුරටත් සුනේර ජයසිංහ, මොහොමඩ් අබ්සාර්, ඩියෝන් ස්ටව්ටර් සහ කඩුලු රකින පිතිකරු තීක්‍ෂ ගුණසිංහ වැනි ක්‍රීඩකයින් හරහා ඔවුන්ගේ පිතිකරණ බලඇණිය සවිමත් වී ඇත.

අනෙක් පසින් ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් ඉහළම දස්කම් දක්වන්නට සමත්ව ඇත්තේ නිම්නක ජයතිලක යි. ඔහු මෙම තරග වාරයේ දී කඩුලු 50 සීමාව ආසන්නයට පැමිණ සිටින අතර තවදුරටත් කඩුලු 35ක් දවාගෙන ඇති සසිත් හිරුදික සහ කඩුලු 25ක් දවාගෙන ඇති ගිහාන් අචින්ත ඔහුට මනා සහයෝගයක් ලබා දෙති.

සාන්ත අන්තෝනි විද්‍යාලයීය අනුමාන සංචිතය

ජනිදු හිම්සර (නායක), තීක්‍ෂ ගුණසිංහ (උපනායක), සතීෂ් වික්‍රමආරච්චි, සුනේර ජයසිංහ, මොහොමඩ් අබ්සාර්, නවෝද්‍ය විජයකුමාර, ඩියෝන් ස්ටව්ටර්, කල්හාර සේනාරත්න, ටමාෂණ අබේකෝන්, ගිහාන් අචින්ත, සසිත් හිරුදික, මොහොමඩ් කමිල්, නිම්නක ජයතිලක

අවසාන වශයෙන්

කණ්ඩායම් දෙක පිළිබඳව සලකා බැලූ විට ඔවුන් සමාන දක්‍ෂතා වලින් සමන්විත වන අතර කණ්ඩායම් දෙකම ඔවුන්ගේ කාණ්ඩයේ දී ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වී ඇත. සාන්ත අන්තෝනි විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ 9ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් වාර්තා කර ගනිමින් වසර ගණනාවකින් ඔවුන් ක්‍රීඩා කරන හොඳම තරග වාරය ක්‍රීඩා කරමින් සිටින අතර අනෙක් පසින් ත්‍රිත්ව විද්‍යාලය ද ජයග්‍රහණ පිට ජයග්‍රහණ වාර්තා කර ගනිමින් ඉතා හොඳ තරග වාරයක් ක්‍රීඩා කරමින් සිටී. ඒ අනුව මෙවර පැවැත්වෙන 101 වන කඳුරට නිල් මහා සටන ඉතා උණුසුම් තරගයක් වනු ඇති බව නොඅනුමානය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<