ත්‍රිත්ව සිංහයෝ තවත් ජයක් වාර්තා කරති

233

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවයේ ඊයේ (22) පැවැත්වුණු තරගයක දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 17-11ක් ලෙස පරාජය කරන්නට සමත් විය.

පළමු අර්ධය නිමා වන විට ලකුණු 07-11ක් ලෙස සාන්ත තෝමස් ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටියත්, දෙවන අර්ධයේ සුපිරි ප්‍රහාරයෙන් ත්‍රිත්ව ක්‍රීඩකයෝ කැනොන් ආර්. එස්. ද සේරම් පලිහ අඛණ්ඩව තෙවන වරටත් මහනුවරට රැගෙන යන්නට සමත් විය.

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පළඟ ශූරතාවයට තවත් ළඟා වෙයි

2019 සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් මරදාන සහිරා විද්‍යාලය…..

තෙවින් ඊරියගමගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර තරගයේ පළමුවෙන් රැස් කළේ සාන්ත තෝමස් විද්‍යාලයයි. දුනාල් ප්‍රනාන්දු ඔවුන් වෙත දඬුවම් පහරක් දිනා දුන් අතර ඊරියගම පහසුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. (සාන්ත තෝමස් 03 -00 ත්‍රිත්ව)

සාන්ත තෝමස් ක්‍රීඩකයින් නැවත තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර ත්‍රිත්ව නායක රෙෂාන් බණ්ඩාරනායකගේ අතපසුවීමක් උපයෝගී කර ගෙන සදාක් ඉෂාක් සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පළමු වරට ධවල රේඛාව ඉක්මවා යන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (සාන්ත තෝමස් 08-00 ත්‍රිත්ව) 

ත්‍රිත්ව විද්‍යාලය දෙවරක්ම සාන්ත තෝමස් අර්ධයට පිවිසුනත් ඔවුන් ලකුණු රැස් කිරීමට නම් සමත් වූයේ නැහැ. 21 වැනි මිනිත්තුවේ දී ඊරියගම තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේ සාන්ත තෝමස් පෙරමුණ ලකුණු 10යේ සීමාව ඉක්මවා යමින්. (සාන්ත තෝමස් 11-00 ත්‍රිත්ව)

ඇදහැළුණු සුළු වර්ෂාවෙන් අනතුරුව ත්‍රිත්ව විද්‍යාලය නැවත තරගයට පිවිසුණු අතර රෙෂාන් බණ්ඩාරනායකගේ අලංකාර පන්දු යොමු කිරීමක් යොදාගෙන ජනිඳු රත්නායක විදුලි වේගයෙන් උත්සාහක දිනුම් රේඛාව තරණය කරන්නට සමත් විය. මිනිඳු ජයසුන්දර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත තෝමස් 11-07 ත්‍රිත්ව)

පළමු අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය 11 (2P, 1T) – 07 (1T, 1C) ත්‍රිත්ව විද්‍යාලය

ත්‍රිත්ව කණ්ඩායම ඉතා ප්‍රබල ලෙස දෙවන අර්ධය ආරම්භ කළ අතර සිය උත්සාහක දිනුම් සීමාව අතර ප්‍රබල උත්සාහයක නිරත වූ ත්‍රිත්ව ඉදිරිපෙළ වෙනුවෙන් මහදි අබ්දුල්ලා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ 40 වැනි මිනිත්තුවේ දීයි. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවත් ත්‍රිත්ව කණ්ඩායම තරගයේ පළමු වරට පෙරමුණ ගන්නට සමත් විය. (සාන්ත තෝමස් 11-12 ත්‍රිත්ව)

සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට Line out අවස්ථාවල දී ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට ත්‍රිත්ව දෙවන පෙළ ක්‍රීඩකයින් සමත් වූ අතර එසේ සොරා ගත් පන්දුවක් කූජන කුලතුංග විසින් සිය පසුපෙළට ලබා දීමෙන් අනතුරුව අමිත් කුලතුංග ධවල රේඛාව ඉක්මවා ගියේ සාන්ත තෝමස් ජයග්‍රහණයේ බලාපොරොත්තු සම්පුර්ණයෙන් බිඳ දමමින්. පිටිය කොනෙන් වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනයත් සාර්ථක වූයේ නැහැ. (සාන්ත තෝමස් 11-17 ත්‍රිත්ව)

තේනුක අවසන් මොහොතේ ජයග්‍රහණය උදුරා ගනී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ‍තරගාවලියේ කුසලාන වටයේ තවත් තරගයක් අද (22) සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත……

කුජන කුලතුංග සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ පන්දු හුවමාරුවක් මැදින් පන්දුව උදුරා ගෙන උත්සාහක දිනුම් රේඛාව කරා ගියත් විනිසුරු එම අවස්ථාව නිෂ්ප්‍රභා කිරීම විශේෂත්වයක්. ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් පන්දුව පිටියෙන් ඉවතට යොමු කිරීමත් සමඟ තරගය නිමා වූ අතර කැනොන් ආර්. එස් ද සේරම් පලිහ තවත් වසරක් සඳහා ත්‍රිත්ව විද්‍යාලය දිනා ගත්තා.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 11 (1T, 2P) – 17 (3T, 1C) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – දුනාල් ප්‍රනාන්දු

ලකුණු ලබා ගැනීම

  • ත්‍රිත්ව විද්‍යාලය – ජනිඳු රත්නායක (1T), මහදි අබ්දුල්ලා (1T), අමිත් කුලතුංග (1T), මිනිඳු ජයසුන්දර (1C)
  • සාන්ත තෝමස් විද්‍යාලය – සදාක් ඉෂාක් (1T), තෙවින් ඊරියගම (2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<