ජාත්‍යන්තරය ජය ගන්න හදන යොවුන් මලල ක්‍රීඩා තරු

424

මෙම වසරේ පළමු මලල ක්‍රීඩා තරගාවලිය ලෙස පැවති 2019 ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට අදාළ ජාතික කනිෂ්ඨ තේරීමේ තරග පසුගිය සෙනසුරාදා (19) සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අවසන් විය.

නව වසර සඳහා මලල ක්‍රීඩා තරග ඇරඹේ

ආසියානු යොවුන් (18න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ….

එම තරගාවලියට අදාළ ක්‍රීඩකයින් යොමුකිරීමේ අවසන් දිනය මෙම මස 31 වැනිදා දක්වා ඉදිරියට රැගෙන ඒමත් සමඟ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ඊට අදාළ තේරීමේ තරග මෙම මාසය දක්වා රැගෙන ඒමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට (AASL) සිදු විය.

ඒ අනුව තවමත් මෙම වසරේ ආරම්භයේ සිටියත් මලල ක්‍රීඩා සංගමය විසින් අභියෝගාත්මක සුදුසුකම් ලබා ගැනීමේ පටිපාටියක් ඉදිරිපත් කර තිබූ අතර එහි අරමුණ වී ඇත්තේ ඉදිරියේ දී හොංකොං හිදී පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් තරගාවලියේ දී පදක්කමක් ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් ඇති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම තරගාවලිය සඳහා තෝරාගැනීමයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දක්වා තිබූ සුදුසුකම් ලබා ගැනීම නිර්ණය කිරීමේ සීමා පහත පරිදි වේ.

Boys Event Girls
10.88sec 100m 12.25sec
21.95sec 200m 25.00sec
48.65sec 400m 56.25sec
01:55.50min 800m 2:13.50min
4:00.00min 1500m 4:40.00min
8:40.00min+ 3000m 10:10.00min
14.05sec 110m H / 100m H 14.50sec
53.40sec 400m H 62.00sec
06:05.00min 2000m SC 7:10.00min
1:56.00min Medley Relay 2:17.00min
47:30.00min 10000 RW / 5000 RW 26:00.00min
2.06m High Jump 1.71m
4.70m Pole Vault 3.50m
7.20m Long Jump 5.80m
14.90m Triple Jump 12.20m
18.00m Shot Put 15.35m
51.00m Discus Throw 42.00m
67.00m Hammer Throw 52.00m
70.00m Javelin Throw 49.50m
5800 points Decathlon/Heptathlon 4200 points

එම තරගාවලියේ දී ඉහළම දක්‍ෂතා අතරට පැමිණි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත පරිදි ය.

රුමේෂ් තරංග – කවපෙත්ත විසිකිරීම

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තබාගත හැකි මලල ක්‍රීඩකයෙක් ලෙස මේ වන විට සිය ස්ථානය ස්ථාපිත කරගෙන ඇත.

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පැවති ජාතික යොවුන් තේරීමේ තරගවල දී සියලුම ක්‍රීඩා ඉසව් සඳහා ලබා දී තිබූ සුදුසුකම් ලබා ගැනීම නිර්ණය කිරීමේ සීමාව පසුකර යාමට සමත් වූ එකම ක්‍රීඩකයා වූයේ රුමේෂ් ය.

හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා මීටර 63.48ක දක්ෂතාවයක් පමණක් දක්වමින් ඒ සඳහා ලබා දී තිබූ මීටර 70.00 දක්ෂතාවය පසුකර යන්නට ඔහු අසමත් වුවත් කවපෙත්ත විසිකිරීම ඉසව්ව සඳහා සහභාගී වූ ඔහු මීටර 51.90ක දක්ෂතාවයක් දක්වමින් එහි සුදුසුකම සපුරා ගන්නට සමත් විය.

පසුගිය වසරේ දී මෙම ඉසව්ව සඳහා මීටර 55.34ක දක්ෂතාවයක් දක්වමින් එහි ජාතික යොවුන් වාර්තාව ද තමන් සතුකර ගත් රුමේෂ් ඒ අනුව ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පදක්කම් බලාපොරොත්තුවක් වනු ඇත.

මිලින්ද පෙරේරා – මීටර 100 සහ මීටර 200

හලාවත සාන්ත මේරි විද්‍යාලයේ මිලින්ද පෙරේරා මීටර 100 සහ මීටර 200 ඉසව් ද්විත්වයේ දී ඉහළ දස්කම් අතරට පැමිණෙන්නට සමත් විය. ඔහු එහි මීටර 100 ඉසව්වේ දී දැක්වූ තත්පර 10.80ක දක්ෂතාවය සුදුසුකම් ලබාගැනීම සඳහා ලබා දී තිබූ තත්පර 10.88 කාලය අතර තිබුනත් එහි දී ‘wind gauge’ +3.1ක් ලෙස සටහන් වී තිබූ නිසා ඔහුගේ එම දක්ෂතාවය නෛතික දක්ෂතාවයක් ලෙස එක්වූයේ නැත. මීටර 200 ඉසව්වේ දී ද ඔහු ඉහළ දක්ෂතාවයක් දක්වමින් තත්පර 22.22ක කාලයක් වාර්තා කරගැනීමට සමත් වුවත් එහි සුදුසුකම් ලබා ගැනීමේ කාලය ලෙස දක්වා තිබුණේ තත්පර 21.95කි.

සදීපා හෙන්ඩර්සන් – මීටර 100 සහ මීටර 200

තවත් ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තුවක් වන ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් මීටර 100 සහ මීටර 200 ධාවන ඉසව් ද්විත්වයේ දී ම ඉහළ දක්‍ෂතා අතරට පැමිණීමට සමත් විය.

මීටර 100 ඉසව්වේ දී ඇය සුදුසුකම් ලබාගැනීමේ කාලය ඉතා ආසන්නයට පැමිණි අතර ඒ අනුව තත්පර 12.25ක් ලෙස එහි සුදුසුකම් ලබා ගැනීමේ කාලය දැක්වෙද්දී ඇයගේ කාලය තත්පර 12.26ක් ලෙස සටහන් විය. ඒ අනුව ඇයට සුදුසුකම් ලබාගැනීම මඟහැරී ගියේ තත්පර 0.01කිනි. අනතුරුව ඇය මීටර 200 ඉසව්වේ දී ද තත්පර 25.07ක කාලයක් වාර්තා කරගනිමින් ඉහළ දක්‍ෂතා දැක්වූ නමුත් එහි සුදුසුකම් ලබාගැනීමේ කාලය තත්පර 25.00ක් ලෙස සටහන් වීම නිසා ඇයට එහි සුදුසුකම් ලබාගැනීම තත්පර 0.07කින් මඟහැරී යන්නට විය.

ඉසුරු අබේවර්ධන සහ නවිෂ්ක සන්දේශ් – මීටර 400    

සුදුසුකම් ලබා ගැනීමේ තරග වල පිරිමි මීටර 400 ඉසව්වේ දී ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලයේ ඉසුරු අබේවර්ධන අතරත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නවිෂ්ක සන්දේශ් අතරත් ඉතා උණුසුම් තරගයක් දැකබලා ගැනීමට හැකි විය.

තරගාවලියේ මූලික වටයේ තරගවල දී ඉහළ දක්‍ෂතා දැක්වූ ඉසුරු එහි දී තත්පර 48.77ක කාලයක් වාර්තා කරගනිමින් එහි සුදුසුකම් ලබා ගැනීමේ කාලය වූ තත්පර 48.65ට ආසන්නයට එන්නට සමත් විය. ඒ අනුව මෙම දකෂතාවය හරහා ඔහු අවසන් තරගයේ දී අවශ්‍ය සුදුසුකම සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්‍ෂා කළත් අවසන් තරගයේ දී ක්‍රියාත්මක වූ නවිෂ්ක සන්දේශ් තත්පර 49.15ක කාලයක් වාර්තා කරගනිමින් එහි ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් විය.

ශානිකා ලක්ෂානි – මීටර 800 සහ මීටර 1500

ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ මැදි දුර ධාවිකා ශානිකා ලක්ෂානි මීටර 800 මෙන්ම මීටර 1500 ඉසව්වල දී ඉහළ දක්‍ෂතා දක්වමින් සුදුසුකම් ලබා ගැනීමේ කාලයට ඉතා ආසන්නයට පැමිණෙන්නට සමත් වුවත් අවාසනාවන්ත ලෙස ඇයට ද එම ඉසව් සඳහා සුදුසුකම සපුරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

ඒ අනුව මීටර 800 ඉසව්වේ දී ඇය මිනිත්තු 2:16.64ක ඉහළ දක්ෂතාවයක් දැක්වුවත් එහි සුදුසුකම් ලබා ගැනීමේ කාලය මිනිත්තු 2:13.50ක් ලෙස දක්වා තිබූ අතර මීටර 1500 ධාවන ඉසව්වේ දී ඇය මිනිත්තු 4:43.65ක දක්ෂතාවයක් දැක්වුවත් එහි සුදුසුකම් ලබාගැනීමේ කාලය ලෙස දක්වා තිබුණේ මිනිත්තු 4:40කි.

ඒ අනුව එම ඉසව් දෙකේ දී ම සුදුසුකම් ලබා ගැනීම ඇයට මඟහැරී ගියත් මීටර 800 ඉසව්ව සම්පූර්ණ කරමින් ඉන් අනතුරුව මීටර 1500 ඉසව්ව සඳහා සහභාගී වෙමින් ඇය දැක්වූ දක්ෂතාවය ඇගයීමට ලක්විය යුතුය. ඒ අනුව ශානිකා ද ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තබාගත හැකි මලල ක්‍රීඩිකාවක් ලෙස මෙම තරගාවලියේ දී ඉදිරියට පැමිණෙන්නට සමත් විය.

අමේෂා හෙට්ටිආරච්චි – මීටර 400 කඩුලු මතින් දිවීම

මහනුවර විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ අමේෂා හෙට්ටිආරච්චි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී ඉහළ දක්‍ෂතා දක්වමින් එහි දී කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වට සහභාගී වීමට පැයක කාලයක් යන්නටත් මත්තෙන් ඇය මීටර 400 ධාවන ඉසව්වේ මූලික වටයේ තරග සඳහා සහභාගී වී තිබුනත් ඇය මෙම ඉසව්ව මිනිත්තු 01:02.45ක කාලයක් වාර්තා කරගනිමින් අවසන් කරන්නට සමත් විය. ඒ අනුව මිනිත්තු 01:00ක් ලෙස දක්වා තිබූ එහි සුදුසුකම් ලබා ගැනීමේ කාලය ඇයට මඟහැරී ගියේ තත්පර 0.45ක් තරම් ඉතා කෙටි කාලයකිනි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ආසියානු සංගමයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකු සඳහා කෝටාවක් ලැබී ඇති අතර ඒ අනුව මලල ක්‍රීඩා සංගමය හට දැරීමට සිදුවන්නේ ඊට අමතරව යවනු ලබන එක් ක්‍රීඩකයෙක් සඳහා දිනකට වන ඇමෙරිකානු ඩොලර් 200ක මුදල පමණි.

ඒ අනුව තවමත් නිල තේරීම අවසන් කර නැතත් මලල ක්‍රීඩා සංගමය විසින් තේරීමේ තරගවල දී ඉහළ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්කර ගනිමින් කනිෂ්ඨ සංචිතයක් නිර්මාණය කොට ඔවුන්ගේ දක්‍ෂතාවයන් පරීක්‍ෂාවට ලක්කරමින් මැන බැලීමට නියමිතව ඇත.

වාර්තා වන අන්දමට මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10-12ක් අතර කණ්ඩායමක් මෙම ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී කරවීමට අපේක්‍ෂාවෙන් පසුවන අතර එම අතිරේක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වැයවන මුදල ක්‍රීඩා අමාත්‍යංශය විසින් ගෙවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එය එසේ සිදුවුවහොත් ශ්‍රී ලංකාවට එම තරගාවලියේ සහාය දිවීමේ ඉසව් සඳහා ද සහභාගී වීමට අවස්ථාව සැලසෙනු ඇත.   

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<