තර්ස්ටන්-ඉසිපතන “සහෝදරයන්ගේ සංග්‍රාමය” මේ සති අන්තයේ දී

141

ශ්‍රී ලංකාවට “Big Match වසන්තය” කැන්දන කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 57 වැනි වරටත් පැවැත්වෙන “සහෝදරයන්ගේ සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය පෙබරවාරි මස 28 සහ 29 යන දෙදින පුරා කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වේ. 

වසර 4කට පසුව නිකිත ග්‍රේරෝ අභියෝගතා ශූරතාවය පානදුරට

බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය” වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගයේ දී තර්ස්ටන් විද්‍යාලය ජයවිහාන් මහවිතානගේ නායකත්වය යටතේ ද ඉසිපතන විද්‍යාලය  ලෙශාන් අමරසිංහගේ නායකත්වය යටතේ ද පිටියට පිවිසීමට නියමිතය. මීට දෙවසරකට පෙරදී ආරම්භ වූවා සේම මෙවර ද මෙම තරගයේ දෙවිදුහල් හී ක්‍රීඩකයන්ට පළමු ඉනිම සඳහා හිමි වන්නේ පන්දුවාර 60ක් පමණි. 

තර්ස්ටන් විද්‍යාලය 

ගෙවී ගිය පාසල් ක්‍රිකට් තරග සමයේ පළමු පෙළ තරගාවලිය නියෝජනය කළ මේ දෙවිදුහල් අතුරින් තර්ස්ටන් විද්‍යාලය තරග 13කට මුහුණ දී පූර්ණ ජයග්‍රහණ 3ක් වාර්තා කරගෙන ඇති අතර පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් ද වාර්තා කරගෙන තම කාණ්ඩයේ සිව්වන ස්ථානය හිමිකර ගනිමින් අවසන් කණ්ඩායම් අතරට පිවිස ඇත. 

ඔවුන් පූර්ණ ජයග්‍රහණ වාර්තා කරගෙන ඇත්තේ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය යන කණ්ඩායම් වලට එරෙහිවය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරගෙන ඇත. 

කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන්නේ නායක ජයවිහාන් මහවිතාන ය. ඔහු පාසල් ක්‍රිකට් තරගාවලියේ දී අර්ධ ශතක ඉනිම් 3ක් සමඟින් ලකුණු 600 සීමාව ඉක්මවා ගොස් ඇත. ඊට අමතරව තර්ස්ටන්වරුන්ගේ විශ්වාසය දිනා ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන යොහාන් ලියනගේ ය. ඔහු මෙවර තරග සමයේ දී පිතිකරණයෙන් ලකුණු 500 ඉක්මවා ගොස් ඇති අතර පන්දු යැවීමේ දී කඩුලු 46ක් ද දවා ගෙන සිටී. 

ඊට අමතරව පුන්තිල කුමාර කඩුලු 64ක් දවා ගනිමින් දක්ෂතා දක්වා ඇත. එමෙන්ම ධනංජය ප්‍රසාද් සහ විහස් තෙව්මික ද කඩුලු 20කට වැඩි ප්‍රමාණයක් දවා ගනිමින් කණ්ඩායමේ කතාබහට ලක්වූ පන්දු යවන්නෝ වී සිටිති. 

තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම : ජයවිහාන් මහවිතාන (නායක), බවන්ත ජයසිංහ, බිනුර රණතුංග, යොහාන් ලියනගේ, නවින්ද ප්‍රනාන්දු, ධනංජය ප්‍රසාද්, ප්‍රසන්න පුෂ්පකුමාර, පුන්තිල කුමාර, තිනෙත් ප්‍රබුද්ධ, විහඟ ජයමාන්න, අවිශ්ක කෞශල්‍ය, රනේෂ් සිල්වා, සමිත් නර්දින, හිරුදිත් හේමචන්ද්‍ර, නිපුන් කදිරාන, විහස් තෙව්මික. 

නිලධාරීන් : ලෙස්ලි හරිස්චන්ද්‍ර (ක්‍රිකට් භාර ආචාර්ය), තාමර අබේරත්න (පුහුණුකරු). 

ඉසිපතන විද්‍යාලය 

ඉසිපතන ක්‍රීඩකයෝ මෙවර මහා ක්‍රිකට් තරගයට පිවිසෙන්නේ තරග 15කට සහභාගී වෙමින් පූර්ණ ජයග්‍රහණයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක දක්ෂතා ද සමඟිනි. කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කර ගන්නා ඔවුන් කොළඹ ලුම්බිණි විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය යන කණ්ඩායම් වලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරගෙන ඇත. 

මේ තරග අතරට කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් ලත් පරාජයන් ද ඇත. 

ගෙවී ගිය තරග වල දක්ෂතා වලට අනුව ඉසිපතන විද්‍යාලයේ වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන්නේ නායක ලෙශාන් අමරසිංහ ය. ඔහු මෙවර තරගවාරයේ දී ඉනිම් 23කට ක්‍රීඩා කරමින් ලකුණු 839ක් රැස්කර ගෙන සිටින්නේ ශතක දෙකක් ද සමඟිනි. ඊට අමතරව කණ්ඩායමේ සිටින අනෙක් ශතක ලාභියා වන්නේ රවිඳු රත්නායක ය. ඔහු ද ශතක දෙකක් සමඟින් ඉනිම 23ක දී ලකුණු 774ක් රැස්කර ගෙන සිටී. 

අවිශ්ක පෙරේරා පිට පිට දහස අභිබවූ පළමු නාලන්ද ක්‍රීඩකයා වෙයි

ඊට අමතරව තෙවිඳු දික්වැල්ල ද ලකුණු 552ක් රැස්කර ගනිමින් පිතිකරුවෙකු ලෙසින් විශ්වාසය දිනා සිටියි. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් කණ්ඩායමේ ඉදිරියට පැමිණි ක්‍රීඩකයා වන්නේ සවිඳු උත්සර ය. ඔහු පිතිකරණයෙන් ලකුණු 513ක් රැස්කර ගෙන ඇති අතර පන්දු යැවීමේ දී කඩුලු 48ක් දවා ගනිමින් මේ මහා ක්‍රිකට් තරගයේ දී ප්‍රතිවාදීන් හමුවට පැමිණේ. 

පන්දු යවන්නන් ලෙසින් සිතුක ගුණවර්ධන කඩුලු 30ක් ද, යසිරු කස්තුරිආරච්චි කඩුලු 29ක් ද සහ දිනත් දිසානායක කඩුලු 20ක් ද දවා ගැනීමට සමත් වෙමින් ඉසිපතනයන්ගේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමට පෙරමුණ ගෙන සිටිති. 

ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම : ලෙශාන් අමරසිංහ (නායක), යසිරු කස්තුරිආරච්චි, ලොමිත රවින්දිත්, සවිඳු උත්සර, දිනත් දිසානායක, ගගන ලක්තිළිණ, තිවංක ලක්රුවන්, තෙවිඳු දික්වැල්ල, අමාන් තාහා, රවිඳු රත්නායක, කවිඳු අමන්ත, සවීන් දන්ත, තෙනුල ලියනගේ, මන්දීප ගුණසේකර, සිතුක ගුණවර්ධන, සතිර කඹුරාවල, ලිසුර විනත්, තේමිය ගුණරත්න. 

නිලධාරීන් : ඊ. එම්. එස්. ආර්. ද සේරම් (ක්‍රිකට් භාර ආචාර්ය), පසිඳු ලියනආරච්චි (පුහුණුකරු), දිලිප් ශ්‍රී විනෝජ් (සහාය පුහුණුකරු). 

සහෝදරයින්ගේ සංග්‍රාමයේ තරග වාර්තා 

සහෝදරයින්ගේ සංග්‍රාම භූමියට මෙවර තර්ස්ටන් විද්‍යාලය සහභාගී වන්නේ පසුගිය වසරේ හිමිකර ගත් ජයග්‍රහණයේ උණුසුම ද සමඟිනි. සඳරු ඩයස්ගේ නායකත්වය යටතේ වසර 27කට පසුව ලැබූ එම ජයග්‍රහණයත් සමඟින් තර්ස්ටන් විද්‍යාලය තරග 6ක් ජයග්‍රහණය කර ඇත. ඉසිපතන ක්‍රීඩකයන් ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව 4කි. තරග 46ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.ඉසිපතන විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 1999 වසරේ දී ක්‍රිශාන්ත ජයවර්ධනගේ නායකත්වය යටතේ ය. 

සහෝදරයින්ගේ තරග සංග්‍රාම අතීතයේ ඉනිමක හොඳම පෞද්ගලික ලකුණු ලාභියා වන්නේ ඉසිපතන විද්‍යාලයේ සමන් නිශාන්ත 2002 වසරේ දී නොදැවී රැස්කර ගත් ලකුණු 150යි. එය තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් ලියැවී ඇත්තේ 2016 වසරේ දී කසුන් අබේරත්න රැස්කර ගත් ලකුණු 147යි. 

තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නුවන් සොයිසා 1996 වසරේ දී ලකුණු 92කට දවා ගත් කඩුලු 10 ය. ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ තර්ස්ටන් විද්‍යාලයේ ජයජීව කරුණාරත්න 1992 වසරේ දී ලකුණු 28කට දවා ගත් කඩුලු 7යි. ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් එහි වාර්තාව 1967 වසරේ දී කේ.එල්.එස්. සිරිසේන ලකුණු 49කට දවා ගත් කඩුලු 7 ලෙසින් සටහන්ව ඇත. 

කණ්ඩායම් දෙක අතුරින් තර්ස්ටන් විද්‍යාලය 2012 වසරේ දී කඩුලු 9ක් දැවී රැස්කර ගත් ලකුණු 331 ඔවුන් තරග මාලාව පුරා රැස්කර ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් ද, 1973 වසරේ දී සියලු දෙනා දැවී රැස්කර ගත් ලකුණු 83 ඉනිමක අඩුම ලකුණු ප්‍රමාණය ලෙසින් ද වාර්තා වී ඇත. 

ධර්මරාජයට අනපේක්ෂිත පරාජයක්; මාතර සාන්ත තෝමස් තවත් ඉදිරියට

එම වාර්තාවන් ඉසිපතනය නමින් ලියැවී ඇත්තේ 2005 වසරේ දී කඩලු 9ක් දැවී රැස්කර ගත් ලකුණු 308 වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ද සහ 1968 වසරේ දී සියලු දෙනා දැවී රැස්කර ගත් ලකුණු 56 අඩුම ලකුණු ප්‍රමාණය ද ලෙසිනි. 

මෙම වාර්තාවන් අතුරින් එකක්-දෙකක් හෝ අලුතින් ලියැවෙන වඩාත් තරගකාරී වාර්ෂික මහා ක්‍රිකට් තරගයක බලාපොරොත්තුවෙන් ThePapare.com අපි තර්ස්ටන් – ඉසිපතන කණ්ඩායම් දෙකටම සුබ පැතුම් එක් කරන්නෙමු. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<