තිසර විස්සයි විස්ස පළමු පහ ඇතුළට; මාලිංග හා රාජිතත් ඉදිරියට

946

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේ දී කඩුලු තුනක් දවා ගත් ඉෂ් සෝධී විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණි අතර ලෝකී ෆර්ගසන්, ලසිත් මාලිංග මෙන්ම විශිෂ්ට දක්ෂතා පෙන්වූ තිසර පෙරේරා ද ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත් විය.

>>අපි එහෙම පහළට වැටිය යුතු රටක් නෙවෙයි – ලසිත් මාලිංග

සෝධී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තේ නවසීලන්ත ලකුණු 35කින් ජයග්‍රහණය කරා කැඳවා යමිනි. ඒ අනුව ඔහු ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයට පැමිණියේ එංගලන්ත ක්‍රීඩක අඩිල් රෂිඩ් හා සමතැන් ගනිමිනි.

ලෝකී ෆර්ගසන් ද එම තරගයේ දී කඩුලු තුනක් දවා ගත් අතර ඔහු ස්ථාන 37කින් ඉදිරියට පැමිණ ස්ථානගත කිරීම්වල 154 වැනි ස්ථානයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන නායක ලසිත් මාලිංග හා කසුන් රාජිත ද ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. කඩුලු දෙකක් දවා ගත් මාලිංග ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 53 වැනි ස්ථානයේ රැඳී සිටිද්දී නවසීලන්ත පිතිකරුවන් අසරණ කරමින් තරගය ආරම්භයේ දී කඩුලු ලබා ගත් රාජිත 167 වැනි ස්ථානය දක්වාත් ස්ථාන 21ක් ඉදිරියට පැමිණ තිබේ.

නවසීලන්තයේ දී සුපිරි දක්ෂතා දැක්වූ තිසර පෙරේරා පිතිකරණ හා තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් ද්විත්වයෙන්ම ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. විස්සයි විස්ස තරගයේ දී ලකුණු 43ක් රැස් කළ ඔහු පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන අටක් ඉදිරියට පැමිණෙද්දී තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය දක්වා ද තිසර ඉදිරියට පැමිණීමට සමත් වී ඇත.

කොලින් මුන්රෝ නවසීලන්තය වෙනුවෙන් ඉහළින්ම සිටින පිතිකරුවා වන අතර බාබර් අසාම්ට පසුපසින් ඔහු දෙවන ස්ථානයේ රැඳී සිටියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූයේ ජිමී නීෂාම් වෙනුවෙන් කණ්ඩායමට එක්වූ ඩග් බ්‍රේස්වෙල් හා සිය මංගල තරගය ක්‍රීඩා කළ Scott Kuggeleijn.  

>>20-20 සිහිනයත් බොඳ වෙමින් ශ්‍රී ලංකාව තරගාවලි ත්‍රිත්වයම පරාජය වේ

බ්‍රේස්වෙල් සිට විස්සයි විස්ස ක්‍රීඩා දිවියේ හොඳම ඉනිම ලෙස ලකුණු 44ක් වාර්තා කළේ ස්ථාන 31ක් ඉදිරියට පැමිණ 175 වැනි ස්ථානයට පැමිණෙමිනි. මංගල තරගය ක්‍රීඩා කළ Kuggeleijn 197 වැනි ස්ථානයෙන් ශ්‍රේණිගත කිරීම්වලට පිවිසීමට සමත් විය.

දික්වැල්ල දවා ගත් බ්‍රේස්වෙල් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ද ස්ථාන 40ක් ඉදිරියට පැමිණ 89 වැනි ස්ථානයට පැමිණීමට සමත් විය. තවද කුසල් පෙරේරා දවා ගත් Kuggeleijn පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලට පිවිසුණේ 227 වැනි ස්ථානයෙනි. කුසල් පෙරේරා එම තරගයේ දී ලකුණු 23ක් රැස් කළ අතර ඔහු 23 වැනි ස්ථානය දක්වා පැමිණීමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින පිතිකරුවා වෙමිනි.

බාබර් අසාම්, රෂිඩ් කාන් හා ග්ලෙන් මැක්ස්වෙල් පිතිකරණ, පන්දු යැවීම් හා තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<