තිසර, කුසල් සහ ධනුෂ්ක බංගලාදේශය සමඟ එක්දින සටනට

452
Thisara, Kusal and Danushka

එළඹෙන මාර්තු 25 වනදා බංගලාදේශයට එරෙහිව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට සහභාගි වන 15 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතය තේරුම් කමිටුව විසින් නම් කර තිබේ. එහි දී නිමා වූ දකුණු අප්‍රිකානු සංචාරයේ දී සැලකිය යුතු දක්ෂතා ප්‍රකට කල උපුල් තරංගව මෙවරත් නායකත්වය සඳහා නම් කොට ඇත්තේ නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ආබාධ තත්වය තවමත් සුව නොවීම නිසයි. මීට පෙර පළවූ වාර්තා වලට අනුව මැතිව්ස් මෙම එක්දින තරගාවලිය අතරතුර දී කණ්ඩායම සමඟ එක්වීමේ සූදානමක් තිබුන ද ඔහුට මේ දක්වා සම්පූර්ණ සුවය නොලැබීම හේතුවෙන් බලධාරීන් ඔහුට තවදුරටත් විවේකය ලබා දීමට තීරණය කොට ඇත.

ශකීබ්ගෙන් බැට කෑ ශ්‍රී ලංකාව වීරයෙකු සොයයි

පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබූ පී. සරා ඕවල් තණතිල්ලේ වාසිය උපරිමයෙන් උකහා ගත් ශකීබ් අල් හසන් ප්‍රමුඛ බංගලාදේශ පිතිකරුවන් අද (17) තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 467ක දැවැන්ත ලකුණු පුවරුවක්…

ජාත්‍යන්තර තරග රැසක දී ශ්‍රී ලංකා පිළ නියෝජනය කර අත්දැකීම් ඇති තිසර පෙරේරා නැවතත් සංචිතයේ ස්ථානයක් දිනා ගැනීමට මෙවර සමත්වී ඇති අතර ප්‍රවේගකාරී පිතිකරුවන් දෙදෙනෙකු ලෙස නම් දරා සිටින කුසල් ජනිත් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක ද මෙවර සංචිතය සඳහා එක්වී ඇත. මොවුන් තිදෙනාම මෑතක දී නිමාව දුටු තරග 5කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේ දී එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කල අතර එහි දී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූවන් වෙති.

පා දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ගෙවුනු වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුව මෙවර නැවතත් එක්දින සංචිතය තුල තම ස්ථානය තහවුරු කරගන්නට සමත්ව සිටියි.

කෙසේ වෙතත් අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව මුහුණ දුන් එක්දින තරගාවලියේ දී 5 – 0ක් ලෙස දරුණු පරාජයකට මුහුණ දුන්නේය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල නුවන් කුලසේකර, සඳුන් වීරක්කොඩි, ජෙෆ්රි වැන්ඩර්සේ, චතුරංග ද සිල්වා සහ ලහිරු මධුශංක යන ක්‍රීඩකයින්ට බංගලාදේශය සමඟ එක්දින තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇත.

මෙම තරගාවලියේ ප්‍රථම තරග දෙක දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය අප්‍රේල් මස පළමුවැනිදා SSC පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය –

උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විකුම් සංජය, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට