තිරිමාන්න ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ සටනක

රෙක්ස් ක්ලෙමන්ටයින් - ඩුබායි සි

1106
Thirimanne struggling to be fit

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් උපනායක ලහිරු තිරිමාන්න අද (06) ඩුබායි හීදී ආරම්භ වන පාකිස්තානය සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සිය ශාරීරික යෝග්‍යතාව නිසි ලෙස පවත්වා ගැනීමේ සටනක නිරතව සිටියි.

පිට කොන්දේ ඇතිවූ සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය තුල (පසුගිය අඟහරුවාදා) ඔහු පන්දු රැකීම සඳහා පිටියට පිවිසුණේ ද නැත. යම් හෙයකින් තිරිමාන්නට අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් යොවුන් ක්‍රීඩක සධීර සමරවික්‍රම හට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට හැකිවනු ඇත.

දනුෂ්ක ගුණතිලකට තවත් ලෙඩක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරත්මක ආරම්භක පිතිකරුවෙකු වන දනුෂ්ක ගුණතිලක හට වහාම ක්‍රියාත්මක වන…

තවමත් 22 හැවිරිදි වියේ පසුවන සධීර සමරවික්‍රම මේ වන විටත් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ ශතක 6ක් වාර්තා කර තිබේ. එමෙන්ම ඔහුගේ පළමු පෙළ ලකුණු සාමාන්‍ය සටහන් වන්නේ ඉනිමකට ලකුණු 46ක් වැනි දිරිගන්වනසුළු අගයක් ලෙසයි. කෙසේ වෙතත් සිය උප නායක තිරිමාන්න අද ඇරඹෙන පාකිස්තානු දෙවන අභියෝගය සඳහා නිසි ශාරීරික යෝග්‍යතාවට පැමිණෙනු ඇති බව නායක දිනේෂ් චන්දිමාල්ගේ විශ්වාසයයි.

”ඇත්තෙන්ම අපිට කණ්ඩායමේ වෙනස්කම් සිදු කිරීමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් ලහිරු තිරිමාන්න පිටකොන්දේ සුළු ආබාධයකින් පීඩා විඳිනවා. අපි අද දිනයේ ඔහු පිළිබඳ තීරණය කරලා හෙට දිනයේ තරගය ආරම්භ වීමට පෙර අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. මට විශ්වාසයි ඔහු තරගයට සුදුසු තත්ත්වයක සිටියි කියලා. අපි මෙම තරගයේ කාලගුණ තත්ත්වය පිළිබඳ සලකා බැලීමත් කළ යුතුයි. සමහර විට රාත්‍රී කාලය වන විට පින්නේ බලපෑමක් ඇති විය හැකියි. ඉතින් ඒ පිළිබඳවත් සැලසුම් සකස් කළ යුතුයි. කෙසේ වෙතත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කණ්ඩායමේ ලොකු වෙනස්කම් සිදු කිරීමට.” චන්දිමාල් ඊයේ (05) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් පිටියට පිවිසිය ද තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම වුවද ශ්‍රී ලංකා  කණ්ඩායමට තරගාවලි ජය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ පසුවන්නේ 7 වන ස්ථානයේ යි. අද ආරම්භ වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ඔවුන් සමත් වුවහොත් 6 වන ස්ථානයේ පසුවන පාකිස්තානය අභිබවන්නට හැකියාව ලැබේ. එමෙන්ම මෙම තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වාසි සහගත වන්නේ එවිට සිව්වන ස්ථානයේ පසුවන නවසීලන්තය සහ 5 වන ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව සමඟ ඇති වර්ගීකරණ ලකුණු පරතරය 3ක් දක්වා අඩු කර ගැනීමට හැකි වන බැවිනුයි.

”පළමුවෙන්ම, අපි කිසිසේත්ම පාකිස්තානු කණ්ඩායම අවතක්සේරු කරන්නේ නැහැ. ඔවුන් ඉතාමත් හොඳ කණ්ඩායමක්, විශේෂයෙන්ම පසුගිය තරගාවලි කිහිපය තුළ ඔවුන් ඉතාම හොඳ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කර තිබෙනවා. අපි කළ යුත්තේ ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත නිවැරදිව ක්‍රියාත්මක කිරීමයි. කණ්ඩායමේ සියලු දෙනා පුහුණුවීම් කටයුතු සඳහා දැඩි පරිශ්‍රමයක් යොදනවා. අපි බලාපොරොත්තු වෙනවා හොඳ තරගයක් දෙන්න. අපිට මේ තරගාවලිය ජය ගැනීමට හැකි වුවහොත් එය ඉතාම සතුටුදායක තත්ත්වයක්.” චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

පාකිස්තානය සිය සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලි පිළිබඳ උත්කෘෂ්ඨ වාර්තාවකට හිමිකම් කියයි. එනම් ඔවුන් පසුගිය වසර 10 පුරාවටම පාකිස්තානයේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පැවති ටෙස්ට් තරගාවලියක් පරාජය වී නොමැත. එමෙන්ම අද ආරම්භ වන තරගය ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු දිවා රාත්‍රී රෝස පන්දු ටෙස්ට් තරගය ලෙසයි. මේ තරගය ඩුබායි වේලාවෙන් පස්වරු 3.30ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට) ආරම්භ වීමට නියමිතයි.

”ඇත්තෙන්ම අපි ඉතාමත් උද්යෝගයෙන් ඉන්නේ අපගේ පළමු රෝස පන්දු ටෙස්ට් තරගය පිළිබඳව. අපි පසුගිය දේශීය තරග වාරය තුළ රෝස පැහැ පන්දුවෙන් ක්‍රීඩා කළා, නමුත් දිවා රාත්‍රී තරග ලෙස නොවේ. ඉතින් මේ අපි දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පිළිබඳ ලබන පළමු අත්දැකීමයි. එය අපිට ඉතා හොඳ අභියෝගයක් වෙයි. නමුත් මම හිතනවා අපේ කණ්ඩායම ඒ අභියෝගය භාර ගැනීමට උද්යෝගයෙන් සිටිනවා වගේම ඒ අභියෝගයට හොඳින් මුහුණ දීමට සූදානම් බවත්.”

ශ්‍රී ලංකා එක්දින සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය…

”මම එක දේශීය තරගයක රෝස පැහැ පන්දුවෙන් ක්‍රීඩා කළා. මට හැඟෙන විදිහට පළමු පන්දුවාර 20-25 තුළ පන්දුව දෝලනය වීම වැඩියි. ඒ කියන්නේ මේ තරග රටාවේ දී වේගපන්දු යවන්නන් හට වැඩි සහයක් ලැබෙනවා. මොකද පන්දුව පරණ වෙද්දී ප්‍රතිදෝලනයක් (රිවර්ස් ස්වින්ග්) ද දැක ගැනීමට හැකි නිසා. සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නන් හට වැඩි සහයක් නොලැබුණත් මෙහේ තිබෙන දේශගුණ තත්ත්වය මත ඒ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් පල කළ නොහැකියි, මොකද මේ දිනවල ඩුබායි ඉතාම උණුසුම්. සාමාන්‍යයෙන් ඩුබායි තණතීරුව දඟපන්දු යවන්නට සහය දෙන තණතීරුවක්.”

චන්දිමාල් පවසන්නේ තරගාවලිය ජය ගැනීමේ චේතනාවෙන් මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ සැලසුමක් ඇතිව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු නොවන බවයි. ” ඇත්තෙන්ම අපි ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙනුයි. එය තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. අපි කිරීමට අවශ්‍ය වන්නේ මූලික කරුණු නිවැරදිව ක්‍රියාත්මක කිරීම පමණයි. මීට පෙර අපි එම ක්‍රීඩාංගණයේ සහභාගී වූ තරග 2 සමග සංසන්ධනය කරන විට  අබුඩාබි හී පැවති තරගයේ තණතිල්ල මෙවර ඉතාමත් වෙනස්. අවසන් දිනය වන විට තණතිල්ලේ කඩතොළු වූ ස්ථාන රැසක් විශාල වශයෙන් විවෘත වුනා. ඩුබායි තණතිල්ලත් සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නන්ට සහය ලැබෙන තැනක්. මෙය කණ්ඩායම් දෙකටම හොඳ අභියෝගයක් වෙයි.”

වමත් දඟපන්දු යවන්නන් හමුවේ පාකිස්තානයේ ඇති දුර්වලතාව මේ වන විට ලොවම දන්නා කරුණක් බැවින් එම වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සුබසිද්ධිය සඳහා භාවිත කිරීමට සූදානම් බවයි චන්දිමාල් පවසන්නේ.

”මගේ ක්‍රීඩා ජීවිතය පුරාවටම මම දැක තිබෙනවා පාකිස්තාන පිතිකරුවන් වමත් දඟපන්දුව හමුවේ අපහසුතාවට පත් වන ආකාරය. මම පසුගිය වසර හත අට පුරාවටම එය දැක තිබෙනවා. අපි දන්නවා රංගන හේරත් කියන්නේ ලෝක පූජිත පන්දු යවන්නෙක්. ඔහුගේ විශිෂ්ට දක්ෂතා නිසා ඇත්තෙන්ම ඔහු අපේ කණ්ඩායමට මෙන්ම ක්‍රීඩාවටත් විශාල සම්පතක්. ඉතින් අපි මේ තරගය පිළිබඳ හොඳ විශ්වාසයක් තබා තිබෙනවා.”

ශ්‍රී ලංකාව පසුගිය වසර තුන පුරාවටම ඔවුන්ට වඩා වර්ගීකරණයේ ඉහළ ස්ථානයක පසුවන කණ්ඩායමක්, ශ්‍රී ලංකාවෙන් පිටත දී තරගාවලි පරාජයකට ඇද දමන්නට සමත්ව නැහැ.

පරිවර්තන කළ ලිපියකි: Thirimanne struggling to be fit

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<