‘කණ්ඩායම පාකිස්තානයට යවනවා’ – තිලංග සුමතිපාල

2341
Thilanga Sumathipala

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයෙන් බෝම්බ වදිනවාට වඩා මේ මොහොතේ ඇති ප්‍රශ්නය නම් ඉන්දියාවෙන් එල්ල වන ප්‍රහාරයයි. එහෙත් සැප්තැම්බර් මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට සැලසුම් කෙරෙන විස්සයි-විස්ස තරගයක් ගැන අදහස් පළකරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කාලය වෙන්කරගෙන ඇත.

අවසන් වසර 8 තුළදී පාකිස්තාන සංචාරයක් සඳහා එක්වී ඇති එකම ටෙස්ට් කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමයි. එහෙත් 2009 වසරේදී ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් විසින් කරන ලද ආරාධනය ඔවුන් විසින් පිළිනොගනු ඇති බවට කතාබහක් ඇතිවී තිබිණි.

ශ්‍රී ලංකාව පාකිස්තානෙට බෑ කියයි

එළඹෙන ඔක්තෝබර් මාසයේදී ලාහෝර් නුවරදී විස්සයි-විස්ස තරග දෙකකට සහභාගී වන ලෙස පාකිස්තානු ක්‍රිකට්..

පසුගිය මාස කිහිපයේදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවා මතවාදයකට තුඩුදුන් පාකිස්තාන සංචාර නම් මාතෘකාව පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණේ ඔවුන් මෙම ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි. මෑතකදීද ලාහෝර් නුවර බෝම්බ පිපිරීමක් සිදු වූ අතර ඉන් පුද්ගලයන් 26 දෙනෙකුට පමණ ජීවිත අහිමි විය. එහෙත් පාකිස්තානු ක්‍රිකට් බලධාරියෙකු වන ශහරියර් ඛාන් මහතා පසුවුණේ බලාපොරොත්තු සහගත මනසිනි.

“අපි ලෝක කණ්ඩායමේ සංචාරයට අදාළ වියදම් තක්සේරු සහ අනෙකුත් දේවල් කතා කර අවසන්. නමුත් ප්‍රහාරය සිදු වූ දා පටන් තත්වය පැහැදිලි නැහැ. අවසානයේදී තරගාවලිය පැවැත්වේ යැයි කියලා අපට විශ්වාසයක් තියෙනවා.” ඔහු කීවේය.

එලෙසින්ම පසුගිය සෙනසුරාදා කොළඹදී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීමේදී පාකිස්තානු බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර හමුවක් පැවති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසා තිබුණේ 1996දී ශ්‍රී ලංකාවේ පැවති යුධමය තත්වය හේතුවෙන් ලෝකයේ බොහෝ ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ මොහොතක පාකිස්තානය මෙරටට පැමිණි බවත් ඊට කෘතගුණ දැක්වීමට මෙය හොඳම අවස්ථාවක් බවයි.

“මම අපේ කණ්ඩායම පාකිස්තානයට ගෙන යෑමට විමසිල්ලෙන් පසුවෙනවා. අපේ ආරක්ෂක විශේෂඥයින් එරටට යවා තක්සේරුවක් සිදු කළා. පේන විදිහට රට පුරාම තත්වය හොඳ අතට පත්වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ලාහෝර් නුවර නිදහස්ව පවතිනවා. සැප්තැම්බර් මාසයේදී පාකිස්තානයට එරෙහිව විස්සයි-විස්ස තරග 3ක් අපට තිබෙනවා. ඉන් එකක් හෝ ලාහෝර් නුවරදී ක්‍රීඩා කරන්න අප කැමතියි.” ඔහු විසින් පවසා තිබිණි.

1996 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනා ගත්තේද ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී යි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ පිළිබඳව දක්වන ආකල්පය කුමක් දැයි අපට මෙතෙක් පැහැදිලි නැත. කෙසේ වෙතත් පාකිස්තානු ක්‍රිකට් සහාපති නජාම් සේති මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ස්තුතිය පළකළේය.

“ජාත්‍යන්තර ක්‍රිකට් තරග නැවතත් පාකිස්තානයට ගෙන ඒම වෙනුවෙන් ඔහු දක්වන සහාය මම අගය කරනවා. ඔක්තෝබර් මාසයේදී එක් විස්සයි-විස්ස තරගයක් හෝ දෙකක් පැවැත්වීමට අප කටයුතු සූදානම් කළ යුතුයි. මේක ඓතිහාසික තීරණයක්.” ඔහු කීවේය.

මේ අතර ලෝක ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරත වන අතරම නවාඩ් ෂරීෆ් මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වූ පසුබිමක මහා මැතිවරණයක්ද පැවැත්වීමට නියමිතයි. මැතිවරණය ඇරඹෙන්නේ ලෝක ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන අවසන් එක්දින තරගයෙන් පසුදිනයි.

ආසියානු රටක මැතිවරණයක් යනු ප්‍රචණ්ඩත්වය හිස ඔසවන අවස්ථාවක් බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනට පවතින ක්‍රිකට් අර්බුදයට එහා ගිය තවත් අභියෝගයකට මුහුණ දීමේ අවස්ථාව මේ වන විට හිමිවී තිබේ.

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට<<