2020 තෙක් දැල්පන්දුව තිලකාගේ භාරයට

168

වර්තමාන ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස මෙනෙවියගේ ධූර කාලය දීර්ඝ කිරීමේ ලිපිය අද දින (05) ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. එහි දී ධූර කාලය දීර්ඝ කිරීමේ ලිපිය ජාතික දැල්පන්දු සංගමයේ සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මිය අතින් තිලකා ජිනදාස මෙනෙවියට පිළිගැන්විණි. ඒ අනූව තිලකා ජිනදාස මෙනෙවිය 2020 වර්ෂය දක්වා ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස කටයුතු කරනු ඇත.

දැල්පන්දුව වෙනස් කළ මාස 8 විප්ලවයේ දැවැන්ත චරිතය

11 වැනි ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන තරගාවලිය වසර 9කට පසු නැවත වතාවක් ශ්‍රී …

මේ පිළිබඳව තම අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතා මෙසේ පැවසීය.

“ප්‍රථමයෙන්ම මං සුබ පතනවා තිලකා ජිනදාස මෙනෙවියට. ඇය ඉටු කළ මෙහෙවර තවදුරටත් ඉටු කරාවි යයි මා බලාපොරොත්තු වෙනවා. මේ වනතුරුත් අප ජාතික දැල්පන්දු කණ්ඩායමට සලසා ඇති පහසුකම් පිළිබඳව මා සතුටු වන්නේ නෑ. නමුත් එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට ප්‍රථමයෙන් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට මා කටයුතු කරන බවට වගකීමෙන් ප්‍රකාශ කරනවා.”

වර්තමාන ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය වන තිලක ජිනදාස මෙනෙවියට එම ධූරය හිමි වූයේ මෙම වසරේ (2018) ජනවාරි මාසයේ දීයි. ලැබී ඇති භාරදූර කාර්යය මැනවින් ඉටු කළ ඇය මෙම වසරේ පැවති 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවය මව්බිමට රැගෙන ඒමට මහඟු පිටිවහලක් වූ බව කිව යුතුය. ධූර කාලය දීර්ඝ වීම පිළිබඳව තිලකා ජිනදාස මෙනෙවිය මෙසේ තම අදහස් ප්‍රකාශ කළාය.

“මං බොහොම ස්තූතිවන්ත වෙනවා ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතාට. මා ඉතාමත් කැපවීමෙන් හා වගකීමකින් යුතුව මේ කාලය තුළ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

නියම ආසියානු ශූරියන් බිහිකරන්නට තිලකාගෙන් නව මෙහෙයුමක්

ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දෙන්න සිදු කළ මෙහෙයුමේ ප්‍රධාන පුද්ගලයා…

දෙවැදෑරුම් කඳුළු අතරින් ගෙනා දැල්පන්දු කිරුළ

තව දුරටත් අදහස් දක්වමින් ඇය තම අනාගත ඉලක්කයන් පිළිබඳව මෙසේ පැවසීය.

“අපේ මීළඟ ඉලක්කය 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලානය. අපි ඒ සඳහා මේ මස අවසානයේ සිටම පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එම තරගාවලියේ පළමු දසදෙනා අතරට පැමිණීම තමයි අපේ ප්‍රථම අභියෝගය. ඒ සඳහා අපි කණ්ඩායමක් වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරනවා. ලෝක කුසලාන තරගාවලියට ප්‍රථමයෙන් දේශීය හා විදේශීය පුහුණු තරගාවලි 4කට පමණ සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා.”

තවදුරටත් ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව ThePapare.com අප ද ඇයට සුබ පතන්නෙමු. තිලකා ජිනදාස මෙනෙවියගේ පුහුණුකාරිත්වය යටතේ ජාතික දැල්පන්දු කණ්ඩායමට එළඹෙන 2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගෙන මව්බිමට කීර්තියක් රැගෙන ඒමට හැකිවේවා’යි යන්න ThePapare.com අපගේ ප්‍රාර්ථනයයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<