දැල්පන්දුවේ පුහුණුකාරිත්වයට නව මුහුණක්

202
mediapermata.com

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය නිල වශයෙන් පත් කර ඇත. එම දැනුම් දීම ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ ලේකම් වන ජයන්ති සෝමසේකරම් මහත්මිය විසින් තහවුරු කළාය.

“ඔව්, මෙම තනතුර සඳහා එතුමියව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලැබිලා තියෙනවා. අපි මේ සඳහා සුදුසුකම් ලාභීන්ව තේරුවේ පසුගිය මාසේ, ඒ කියන්නේ නොවැම්බර් මාසේ ඉදන්. එහි යම් යම් ගැටලු තියෙනවා කියලා පැමිණිලි කිහිපයක ලැබුනත් දැන් ඒවා සියල්ල විසදලා තියෙන්නේ. එතුමිය සමඟින් තව කාරණා කිහිපයක් ගැන කතා කර ගන්න තිබුනත්, මෙම පත් වීමට එය බාධාවක් වන්නේ නෑ.” යැයි සෝමසේකරම් මහත්මිය  ThePapare.com සමඟින් පවසා සිටියාය.

ශ්‍රී ලංකාවට බොක්සිං රන් පදක්කමක්

ජර්මනියේ පැවති ස්වෙන් ලාංජ් බොක්සිං තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමට සමත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රාජකීය විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩකයන්…

මෙම පත් කිරීම සම්බන්ධව දැල්පන්දු පුහුණුකාරිත්වයට අයැදුම් කර තිබූ අනෙක් අයදුම්කරුවන් වන සෝමිතා ද අල්විස් හයසින්ත් විජේසිංහ යන අය විසින් මෙම තෝරා ගැනීම සඳහා වන පරීක්ෂණය නිසි ආකාරව නොපවත්වන බව පවසා යම් විරෝධතාවක් එල්ල කර තිබුණි. නමුත් මෙම තේරීම් සිදු කළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානි වූ මිල්ටන් අමරසිංහ මහතා ඔවුන්ගේ චෝදනාවලට සාර්ථකව මුහුණ දෙමින් එම සම්මුඛ පරීක්ෂණය නිසි ක්‍රමවේදයට අනුව පවත්වා ඇත.

“අවසානයේ එය ස්ථිර වුනා. මට එම පත්වීම පිළිබදව නිල දැනුම් දීම ලැබුණා. මම බොහෝ වාරයක් උත්සාහ කර ඇති නමුත් එක් අවස්ථාවක එය ප්‍රතික්ෂේප කර ඇති අතර, අනෙකුත් අවස්ථාවන්වල දී ආදාළ සුදුසුකම් සහිතව සිටියත් තෝරා ගෙන නෑ. නමුත් කවදාවත් විවේචනයක් ලබා ගැනීමට කිසිවිටෙක මැසිවිලි නඟන්නේ නැත. මගේ එකම සිහිනය වුනේ මගේ රටට පුහුණු කිරීම සහ එහි සේවය කිරීමයි.” යැයි තිලක ජිනදාස මහත්මිය ඇගේ නිල ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුණි.

“ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිටින දක්ෂ ක්‍රීඩකයින් සමඟ සිටින සියලු දෙනාගේම විශ්වාසය මම විශ්වාස කරමි. අපට අහිමි වූ අභිමානය 2018 දී නැවත දිනා ගත හැකිය. මා හට මේ තනතුර ලබා ගැනීමට සහය දුන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මහන්සි වී වැඩ කිරීමෙන් අප සැවොමගේ ඉලක්කයට යන්න පුළුවන්.” කියා ඇය තවදුරටත් සටහන් කර තිබුණි.

මෙය ජිනදාස මහත්මිය මේ තනතුරට පත්වූ දෙවන අවස්ථාවයි. ඇය මිට පෙර 2009 වර්ෂයේ දී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිත්වයට පත්වූ අතර එම තනතුරට පත්වී මාස 6ක් වැනි කෙටි කාලයක් තුල 7 වන වරටත් මැලේසියාවේ දී පැවැත්වූ ආසියානු දැල්පන්දු ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය දිනාගත් නිසා ලොව 14 වැනි ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායම ගෙන ඒමට ඇයට හැකියාව ලැබුණි.

මෙවරත් එවැනිම වූ අභියෝගයක් ඇය ඉදිරියේ තිබේ. එය නම් ලබන වසරේ සැප්තැම්බර් මස දී පැවැත්වෙන 11 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියයි.

1963 වර්ෂයේ මාර්තු මස 15 වැනිදා උපත ලද ජිනදාස මහත්මිය ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු කාන්තා මලල ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් එක් අයෙක් වන අතර අනෙක් ක්‍රීඩිකාව වන්නේ දීපිකා චන්මුගම් මහත්මියයි. ඔවුන් දෙදෙනාම වර්ෂ 1988 දී පැවැත්වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී විය. තවද ජිනදාස මහත්මිය 1984 සිට 1991 දක්වා මලල ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළාය. 1985, 1987, 1989 සහ 1991 යන වර්ෂවල දී ඇය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී (SAF) පදක්කම් දිනා ගත්තාය. 1987 දී ඇය මීටර් 100 කඩුලු මතින්  දිවීමේ තරග ඉසව්වෙන් නව SAF වාර්වතාවක් පිහිටුවා ලන ලදි. මීට අමතරව මීටර් 400 කඩුලු මතින් දිවීමෙන් ලෝකඩ පදක්කමක් ද, 4x100 ඉසව්වෙන් රිදී පදක්කමක් ද දිනා ගත්තාය

1985 වසරේ දී ඇය දැල්පන්දු ක්‍රීඩාවට අවතීර්ණ වන අතර අනතුරුව ඇය ජාතික කණ්ඩායමට ද තේරී පත් විය. ඒ නිසා මලල ක්‍රීඩාව හෝ දැල්පන්දු ක්‍රීඩාව යන ක්‍රීඩා දෙක අතුරෙන් එක ක්‍රීඩාවක් තෝරා ගැනීමට ඇයට සිදු විය. එම නිසා 1991 වසරේ දී මලල ක්‍රීඩාවෙන් සමු ගැනීමට ජිනදාස මහත්මිය තීරණය කරන ලදි. පසුව 1993 වර්ෂයේ දී පැවැත්වූ 3 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ 3 වන තැන දින ගැනීමට ඇය ප්‍රමුඛ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට හැකි විය.

වර්ෂ 1998 දී ඇය දැල්පන්දු පුහුණුකාරිත්වයට මාලදිවයිනට ගිය අතර, තව දුරටත් එහි සුදුසුකම් ලබා ගැනීමට ඇය ඕස්ට්‍රේලියාවට හා සිංගප්පුරුවට (දැල්පන්දු 1 මට්ටමේ ඔස්ට්‍රේලියාව, දැල්පන්දු 2 වන මට්ටම සිංගප්පූරුව) ගියා ය. එහි දී ඇය දැල්පන්දු සඳහා වන ඉහළ ගනයේ සුදුසුකම් සහතිකයක් ඕස්ට්‍රේලියාවේ දී දිනා ගත්තාය.

දැල්පන්දු 3 වන මට්ටමේ සහතිකය අපේක්ෂාවෙන් සිටින ඇය 2010 වර්ෂයේ සිට බෲනායි ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කරමින් සිටියාය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<