“ඔවුන් අපට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ” – කේන් විලියම්සන්

712

නිමා වූ ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටි අවදානම කෙතරම් ද කියා ඔබට මතක ඇති. ඒ අවදානමේ තරම කෙතරම් දැයි කියනවා නම් තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ මුල්පෙළ ප්‍රබල කඩුලු 3ක් ලකුණු 13කට දැවී ගොස් ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉනිමක පරාජයක් දිස්වන්නට විය.

කෙසේ නමුත් තරගයේ පස්වැනි දිනයේ දී ඇදහැලෙන්නට වූ වර්ෂාව නිසා තරගයේ අවසන් දිනයේ නියමිත පන්දුවාර ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වූයේ පන්දුවාර 13ක් පමණ වන අතර ඒ නිසාවෙන් දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.

සිංහයින් ක්‍රිකට් පිටියේ නැවතත් පෙරළියක

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (18) අවසන් වනවිට ඊයේ…..

වෙලින්ගටන් පිටියේ පැවති මේ අපූරු තරගය ටෙස්ට් ක්‍රිකට් තරගයක නියම අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට සමීප කිරීමට සමත් විය. දක්ෂ පන්දු රැකීම්, දක්ෂ පන්දු යැවීම, දුර්වල පිතිකරණයන්, ශතක, ද්විත්ව ශතක, බිංදු, කඩුලු 5 අවස්ථාවන්, විනයානුකූල නොවන හැසිරීම් ඇතුළු එකී නොකී සිදුවීම් සමුදායක් එක් තරගයක දැකගන්නන්ට ලැබීම විශේෂයි.

පළමු ටෙස්ට් තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ කුසල් මෙන්ඩිස් සමඟ එක්වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 655ක් පුරාවට නවසීලන්ත ප්‍රේක්ෂකයින් ඉදිරියේ නවසීලන්ත පන්දු යවන්නන් හා ක්‍රීඩකයින් අපහසුතාවයට පත්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට නව පිටුවක් පෙරලීමට සමත් විය. තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු සටහන ලකුණු 20ට කඩුලු 3ක් ලෙස සටහන් වූ අතර මෙන්ඩිස් හා මැතිව්ස් පිළිවෙළින් ලකුණු 5*ක් හා ලකුණු 2*ක් ලබාගෙන තෙවන දිනයේ අවසානය සනිටුහන් කළහ.

පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය සඳහා නවසීලන්ත ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට අවතීර්ණ වූයේ ශ්‍රී ලංකාවේ ඉතිරි කඩුලු 7 ලකුණු 296ක් වීමට පෙරාතුව දවාගෙන ඉනිමක ජයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් වූවත්, නවසීලන්තය යොදන උපක්‍රම කල්තියා හඳුනා ගෙන ඔවුන්ට වඩා උපක්‍රමශීලීව පිතිකරණයේ නිරත වීමට මැතිව්ස් හා මෙන්ඩිස් සමත් වුනේ සිව්වැනි දිනය පුරාවටම නවසීලන්තයට ඔවුන් දෙදෙනාගේ කඩුල්ල පූජා කිරීමෙන් තොරවයි. එය ඉතාමත් අසීරු වූ කර්තව්‍යයක් වන අතර එය දෙගුණ තෙගුණ වුනේ නවසීලන්ත දේශගුණය ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ හරහට සිටීම නිසාවෙනි.

කෙසේ නමුත් එම දිනය සඳහා නියමිත කාර්තු තුන අවසානයේ දී මෙන්ඩිස් හා මැතිව්ස් දෙදෙනාම සිය කඩුලු රැකගනිමින් ශ්‍රී ලංකා දෙවන ඉනිමට ලකුණු 239ක් එකතු කළේ පන්දුවාර 90ක් සඳහා අතිසාර්ථකව මුහුණ දෙමිනි. එදින ක්‍රීඩා කළ පන්දුවාර 90 සහ තරගයේ තීරණාත්මක පස්වැනි හා අවසාන දිනයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම දක්වා ක්‍රීඩා කළ පන්දුවාර 13 ද ඇතුළත් කළ විට පන්දුවාර 103ක් පුරාවට ඔවුන් දෙදෙනා පිතිකරණයේ නිරත වුනේ එම පන්දුවාර ප්‍රමාණය තුල සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 274*ක නොදැවුණු සබඳතාවයක් ද ශ්‍රී ලංකා ලකුණු සටහනට එකතු කරගනිමිනි.

මැතිව්ස් සහ මෙන්ඩිස්ගේ ඉනිම්වලට නවසීලන්ත වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (19) වෙලින්ටන් පිටියට ඇද වැටුණ……

නවසීලන්ත නායක කේන් විලියම්සන්, මෙන්ඩිස් – මැතිව්ස් සබඳතාවය බිඳ දැමීම වෙනුවෙන් නොයෙකුත් ක්‍රම අත්හදා බලමින් සිටි අවස්ථාවක ඊට නොසැලී ක්‍රීඩා කිරීමට මෙන්ඩිස් හා මැතිව්ස් සමත් විය. මොවුන් දෙදෙනාගේ අධිෂ්ඨානයට එක් අන්තයක සිටි ක්‍රීඩක මැතිව්ස්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ඇති අත්දැකීම් සම්භාරය හා අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ මෙන්ඩිස්ගේ පිතිකරණ තාක්ෂණය බෙහෙවින් ඉවහල් විය. දෙදෙනාම සෑම පන්දුවාරයක්  අවසානයේ කතාබහ කොට දෙදෙනාගේ සන්නිවේදනය ඉතාමත් ඉහළ මට්ටමක තබා ගැනීමට ද සමත් විය.

එහි අවසන් ප්‍රතිඵලය වුනේ මැතිව්ස් (120*) හා මෙන්ඩිස් (141*) පිළිවෙළින් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 9 වැනි හා 6 වැනි ටෙස්ට් ශතක වාර්තා කරමින් ලෝක ක්‍රිකට් පොතේ වාර්තා කිහිපයක් ඇතුළු නව ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අලුත් කිරීමට සමත් වීමයි.

මැතිව්ස් හා මෙන්ඩිස් බිඳ දැමූ වාර්තා

  • ශ්‍රී ලංකාවෙන් පිට පැවති ටෙස්ට් තරගයක දී දිනයක් පුරාවට කඩුලු ලබා නොදී පන්දුවට පහර දුන් පළමු ශ්‍රී ලාංකික පිතිකරුවන් යුගලය
  • අවසන් වසර 10 තුල  එක් දිනයක දී කිසිදු කඩුල්ලක් නොදැවී  ක්‍රීඩා කළ එකම පිතිකරුවන් යුගලය
  • නවසීලන්තයට එරෙහිව ඕනෑම ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් අතරේ ගොඩනැංවුනු හොඳම සබඳතාවය
  • වෙලින්ගටන් හි බේසින් රිවර්ස් ක්‍රිකට් පිටියේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවය
  • දෙවන ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් අතරේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැංවුණු හොඳම සබඳතාවය

මෙන්ඩිස් හා මැතිව්ස් ලබා ගත් මෙම ටෙස්ට් ශතක දෙක අතරින් වැඩි අවධානයට හා කතාබහට ලක්වූයේ මැතිව්ස් ලබාගත් ටෙස්ට් ශතකයයි. ඒ සඳහා හේතු කාරණා කිහිපයක්ම තිබෙන අතර ඒ අතර සිය ශතකය සම්පූර්ණ කර ගැනීමෙන් පසුව මැතිව්ස් විසින් push ups කිහිපයක් කර පෙන්වා ඔහු තවමත් ශක්තිමත්ව සිටින බව පෙන්වීම සමාජ මාධ්‍ය ඉදිරියේ ද කතාබහට ලක්වූ කරුණක් විය.

“මේක තමා නියම හා ලස්සනම ටෙස්ට් ක්‍රිකට් තරගයක් කියන්නේ, දෙදෙනෙක් එකතු වෙලා ඔවුන්ගේ තරගය ඉතාමත් හොඳින් දියත් කළා. දිනය පුරාවටම සත්කාරක අපිට කිසිම ලබා අවස්ථාවක් දුන්නේ නැහැ.” යැයි නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමු ටෙස්ට් තරගය අවසන් වීමට පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

කුසල් මෙන්ඩිස් සිය ශතකය ලබාගත් අවස්ථාවේ සතුට සමරමින්

“මේ සබඳතාවය එන්න එන්නම ලොකු වෙනකොට අපේ කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් එකතු වෙලා පිටිය මැද්දේ ඉඳන් කතාබහ කළා, සැලසුම් හැදුවා. නමුත් ඒවා එතරම් දුරට සාර්ථක වුනේ නැහැ. අපේ ක්‍රීඩකයින් උපරිම ලෙස සටන් වැදුණා. ඔවුන් අපිට වඩා හුඟක් උපක්‍රමශීලී ලෙස තමයි සෙල්ලම් කළේ. “ වැඩිදුරටත් අදහස් දැක්වූ විලියම්සන් පැවසීය.

නවසීලන්ත පන්දු යවන්නන්ගේ දුර්වලතාවයක් තිබේ නම් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 282කට සීමා කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔවුන් එම තණතීරුවේ සවියත් අරගෙන ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවීම සිදු කළා.

“අපේ පන්දු යවන්නන් බවුන්සර් පන්දු, කෙටි වේගවත් පන්දු, වේගය අඩාල කළ පන්දු වගේ පන්දු සංකලනයක් කරමින් තමා පන්දු යැවුවේ. අපි එහෙම කළේ මැතිව්ස් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන්ව පීඩනයට හසුකරගන්නයි. නමුත් ඔවුන් දෙදෙනා ඒ අපි දුන්න පීඩනය අපේ පැත්තටම කැරකෙව්වා. එක නිසා අපේ වෑයම අසාර්ථක වුනා.” යැයි නායක විලියම්සන් පැවසීය.

ලකුණු 274*ක නොබිදුනු සබඳතාවයක් එක් කළ මැතිව්ස් හා මෙන්ඩිස්

අවසාන වශයෙන් මැතිව්ස් හා මෙන්ඩිස් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 274* නොදැවුණු සබඳතාවය පිළිබඳව විලියම්සන් පැවසුවේ මෙවැන්නක්.

“ඔවුන් දෙදෙනා එම සබඳතාවය ගොඩනැංවූයේ ඉතාමත් ඉවසිලිවන්තව හා විනයානුකූල ලෙස වගේම ඉතාමත් ක්‍රමානුකූල ලෙසයි. ඒවගේම ඔවුන් විටෙක ආක්‍රමණශීලී පිතිකරණයකත් නිරත වුනා. කොහොම නමුත් මට නැවතත් කියන්න තියෙන්නේ ඔවුන් දෙදෙනා ඉතාමත් දක්ෂ ලෙස අපේ පන්දු යවන්නට අපේ තණතීරුවල දී ඉතාමත් හොඳින් මුහුණ දුන්නා කියලයි.”

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් තීරණාත්මක ටෙස්ට් ක්‍රිකට් තරගය හෙවත් Boxing day තරගය මේ මස 26 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වෙන අතර එහි තොරතුරු ද ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<