ThePapare.com සහ පාසල් පැසිපන්දු සම්මේලනය එක්ව අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ A කාණ්ඩයේ (බාලක සහ බාලිකා) පැසිපන්දු ශූරතාවලිය සැප්තැම්බර් මස 2 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ’ThePapare පැසිපන්දු ශූරතාවලිය 2017’ සැප්තැම්බර් මස 02 වන දින පෙ.ව. 7.00ට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල් පැසිපන්දු ක්‍රීඩා පිටියේ දී තරගාවලියේ බාලිකා අංශයේ තරග සමඟ ආරම්භ වේ. අනතුරුව තරගාවලියේ බාලක අංශයේ තරග ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 05 වන දින පෙ.ව. 7.00ට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ දී ය. සහභාගී වන කණ්ඩායම් කාණ්ඩ 04කට බෙදා දක්වා ඇති අතර එහි දී ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. ඉන් අනතුරුව අවසන් පූර්ව තරග වටය පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් මහා තරග සැප්තැම්බර් මස 17 වන දින විදුලි ආලෝකය මධ්‍යයේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ThePapare පැසිපන්දු අභියෝගයට එන වත්තල ලයිසියම් බල ඇණිය

පාසල් පැසිපන්දු පිටියේ විශිෂ්ටයන් සොයන “ThePapare පැසිපන්දු ශූරතාවලිය (TPBC)”…

පාසල් පැසිපන්දු ක්‍රීඩාව දිවයින පුරා ප්‍රචලිත කර වීමේ අරමුණින් 2016 වසරේ දී මෙම තරගාවලිය ආරම්භ කරන ලදි. එහි දී තරගාවලිය සඳහා පාසල් 26ක් සහභාගී විය. පසුගිය තරගාවලියේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය බාලක අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර එහි අනුශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි. තරගාවලියේ බාලිකා අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය යි. නුගේගොඩ සාන්ත ජෝසප් විද්‍යාලය විසින් බාලිකා අංශයේ අනුශූරතාවය දිනා ගන්නා ලදි. එම තරගාවලියේ ද අර්ධ අවසන් පූර්ව වටයේ සිට සියලු තරග ThePapare.com, ඩයලොග් TV නාලිකා අංක 1 සහ My TV ඔස්සේ සජීව ලෙස විකාශනය කරන ලදි.

“ශ්‍රී ලංකාවේ දේශීය සහ ජාත්‍යන්තර පාසල් එකට එකතු කර ගනිමින් පැවැත්වෙන මෙම අද්විතීය තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සමඟින් ThePapare.com එකතු වන්නේ ඉමහත් ප්‍රීතියෙනි. අපේ අරමුණ වන්නේ ක්‍රීඩාව බලගැන්වීම, ශ්‍රී ලංකාවේ පැසිපන්දු ක්‍රීඩාව තවත් ඔප්නැංවීමයි සහ පාසල් අතර සහයෝගිතාව ගොඩනැංවීමයි. අපි කණ්ඩායම් සියල්ලටම සුභාශිංසන එකතු කරන අතරම ඊළඟ සති කිහිපය පුරාවට විශිෂ්ට තරගාවලියක් බලාපොරොත්තු වන්නෙමු.” Dialog Axiata PLC සමාගමේ ගෝලීය ව්‍යාපාර සහ අන්තර්ගත සේවා අංශයේ ව්‍යාපාර ප්‍රධානී මංගල හෙට්ටිආරච්චි මහතා මෙහි දී අදහස් දක්වමින් පවසා සිටියේය.

එමෙන්ම පාසල් පැසිපන්දු සංගමයේ සභාපති සනත් ජයලත් මහතා ද මෙහි දී තරගාවලිය පිළිබඳව අදහස් දැක්වීය.

“අඛණ්ඩව දෙවන වසරටත් ThePapare.com අපත් සමඟ අත්වැල් බැඳ ගැනීම ගැන අපි සතුටු වෙනවා. පසුගිය වසරේ තරගාවලිය ආරම්භ වීමෙන් පසුව තරගාවලිය ගැන ප්‍රජාව අතර විශාල කතාබහක් ඇතිවුණා. ඒ වගේම තරගාවලිය සජීවව විකාශය කිරීම නිසා ක්‍රීඩකයන්ගේ උත්තේජනය තවත් ඉහළ ගියා. මෙවර තරගාවලියට කොළඹින් පිට පාසල් ද එක්වන නිසා තරගාවලියේ තරගකාරීත්වය තවත් ඉහළ යැයි. ඒ වගේම අපි හැමෝටම ආරාධනා කරනවා මේ තරගාවලියට සහභාගී වෙන්න කියලා.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට