මරදාන සහිරා ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරති

455

පළමු වරට සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ ඊයේ (19) පැවති තරගයකින් කින්නියා අල් අක්සා විදුහල ගෝල 3-1ක් ලෙසින් පරාජය කිරීමට මරදාන සහිරා විදුහල සමත් විය. C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය පැවැත්වුණේ කැලණිය පාපන්දු සංකීර්ණ ක්‍රීඩාංගණයේ දී ය.

සාන්ත පීතර ක්‍රීඩකයන්ට දැවැන්ත ජයක්

2018 ThePapare පාපන්දු ශූරතාවයේ අද (18) පැවති තරගයකින් ගෝල 7-1ක දැවැන්ත ජයක්…

සහිරා විදුහල මීට පෙර මුහුණ දුන් තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ බැවින් ඔවුන්ට ජයග්‍රහණයක් අවශ්‍යම වී තිබූ අතර කින්නියා විදුහල මීට පෙර ඔවුන් මුහුණ දුන් තරගයෙන් ගෝල 6-4ක ජයක් වාර්තා කර ගැනීමට සමත් විය. ඒ කොළඹ සාන්ත බෙනඩික්ට් විදුහලට එරෙහිවයි. ඒ අනුව මෙම තරගය වඩාත් උද්වේගකර ලෙසින් පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව විය.

තරගයේ 2 වැනි මිනිත්තුවේ දී සහිරා විදුහලේ මොහොමඩ් මුර්ෂිඩ් හට ගෝලයක් වාර්තා කිරීමට අනගි අවස්තාවක් ලැබුණ ද ඔහු විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට වැඩි වෙලාවක් ලබා ගත් හෙයින් එම අවස්ථාව සහිරා විදුහලට අහිමි විය.

ඒත් සමඟින් සහිරා දැල ආක්‍රමණය කළ අල් අක්සා ක්‍රීඩකයන් ද ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ ගත්ත ද සහිරා විදුහලේ ගෝල රකින්නාගෙන් එයට අවසර ලැබුණේ නැත.

ඉන්පසු 7 වැනි සහ 11 වැනි මිනිත්තුවල දී ද සහිරා විදුහලට අවස්ථා ලැබුණ ද, එම අවස්ථා ද ගෝල බවට පරිවර්තනය නොවුනේ ප්‍රහාර එල්ල කිරීමට සහිරා ක්‍රීඩකයන් මැලිකමක් දැක්වීම නිසා සහ ඒ සඳහා වැඩි වශයෙන් කාල වේලාවක් ලබා ගැනීම නිසාය.

22 වැනි මිනිත්තුවේ දී සහිරා ක්‍රීඩක මොහොමඩ් අකීබ් ඉතා අලංකාර ලෙසින් පන්දුව ඉදිරියට ගෙන ගිය ද ගෝලයක් වාර්තා කිරීමට ඔහුට ඉඩ නොලැබුණි. ඉන් මිනිත්තු දෙකකට පසු නැවතත් ගෝලයක් වාර්තා කිරීමට අකීබ් ගත් උත්සාහය, අල් අක්සා විදුහලේ ගෝල රකින ක්‍රීඩක අෂ්කාන් විසින් වළක්වන ලදි. අෂ්කාන් අල් අක්සා කණ්ඩායමේ නිත්‍ය ගෝල රකින්නා නොවූවත් ඔහු තරගය පුරාම හොඳින් ක්‍රීඩා කරනු දැකගත හැකි විය.

‘New Youngs’ සහ ‘Super Sun’ ගැටුමෙන් ශූරයින්ගේ සටන ඇරඹේ

13 වන වරට පැවැත්වෙන ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය එළඹෙන…

32 වැනි මිනිත්තුවේ දී සහිරා විදුහලේ සහීල් අහමඩ් හට අක්සා විදුහලේ ගෝල රකින අෂ්කාන් සමඟ මුහුණට මුහුණ (1 on 1) අවස්ථාවක් ලැබුණ ද, සහීල් ද ප්‍රහාරයක් එල්ල නොකරමින් පන්දුව වෙනත් ක්‍රීඩකයෙකුට යොමු කළමුත් එය සාර්ථක නොවීය.

38 වැනි මිනිත්තුවේ දී සහිරා විදුහල ගෝලයක් වාර්තා කළ ද එය offside යැයි විනිසුරු විසින් සංඥා කිරීමත් සමගින් තරගයේ ප්‍රතිඵලය 0-0ක් ලෙසින්ම පැවතුනි.

දිනයේ දී දිගින් දිගටම මුහුණට මුහුණ අවස්ථා මඟහැරී සහිරා ක්‍රීඩකයන් 40 වැනි මිනිත්තුවේ දී ද එවැනි වටිනා අවස්ථාවක් මඟහැර ගන්නා ලදි. ප්‍රහාරයක් එල්ල කිරීමට අවස්ථාව හොඳින්ම තිබිය දී සහිරා ක්‍රීඩකයෙකු විසින් පන්දුව වෙනත් ක්‍රීඩකයෙකු වෙත යොමු කළ අතර ඔහුට සාර්ථක වීමට ඉඩකඩ ලැබුණේ නැත.

44 වැනි මිනිත්තුවේ දී තවත් පිට පිට අවස්ථා ද්විත්වයක් සහිරා කණ්ඩායමට මඟහරුණි. හසන් රාසා විසින් එල්ල කළ පහර ගෝල කණුවේ වැදුණ අතර සහීල් අහමඩ් විසින් සිය හිස ආධාරයෙන් එල්ල කළ ප්‍රහාරය ද ගෝලයක් බවට පත් නොවුනි.

කෙසේ වෙතත් පළමු අර්ධයේ අතිරේක කාලයේ දී ගෝල වාර්තා කළ නොහැකි ශාපය බිඳහෙලන ලද සහිරා ක්‍රීඩක මොහොමඩ් අකීබ් විසින් පළමු ගෝලය වාර්තා කරමින් 1-0ක් ලෙසින් සහිරා විදුහලට පෙරමුණ ගෙන දෙමින් පළමු අර්ධය නිමා කිරීමට සමත් විය.

පළමු අර්ධය: සහිරා විදුහල 01 – 00 අල් අක්සා විදුහල

දෙවැනි අර්ධයේ දී අල් අක්සා විදුහල වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ද 51 වැනි මිනිත්තුවේ දී සහිරා විදුහලේ සහීල් අහමඩ් විසින් සහිරා විදුහලට තවත් ගෝලයක් එක්කරන ලදි. එහි දී අල් අක්සා ගෝල රකින්නා ඉදිරියට පැමිණි අතර සහීල් විසින් පන්දුවට එල්ල කරන ලද වැරෙන් අඩු පහර හේතුවෙන් අවසානයේ දී සහීල් සහ දැල අතරෙහි කිසිදු අල් අක්සා ක්‍රීඩකයෙකු නොසිටියහ. ඒ අනුව සහීල් විසින් පන්දුවට ලබා දුන් ස්පර්ශයෙන් පන්දුව අල් අක්සා දැල තුළට යන ලදි.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

59 වැනි සහ 62 වැනි මිනිත්තුවල දී අල් අක්සා ක්‍රීඩකයන් ද, 63 වැනි සහ 65 වැනි මිනිත්තුවල දී සහිරා ක්‍රීඩකයන් ද ප්‍රහාර එල්ල කළමුත් දෙපිලෙහිම ගෝල රකින්නන්ගේ දක්ෂතාවය හේතුවෙන් කිසිදු කණ්ඩායමකට ගෝල හිමි නොවීය.

75 වැනි මිනිත්තුවේ දී අල් අක්සා කණ්ඩායමට දඬුවම් පහරක් හිමි විය. ඒ අනුව මොහොමඩ් රොහාන් විසින් එම දඬුවම් පහර සාර්ථක කරගනිමින් 2-1ක් ලෙසින් ගෝල පරතරය අඩු කිරීමට සමත් විය.

ඉන්පසු අල් අක්සා ක්‍රීඩකයන් ගෝල ලබා ගැනීමට උත්සාහයන් කිහිපයකම යෙදුනත් ඔවුන්ට සහිරා දැල තුළට පන්දුව එල්ල කිරීමට නොහැකි වූ අතර 83 වැනි මිනිත්තුවේ දී අල් අක්සා ක්‍රීඩකයෙකුගේ ශරීරයේ දැවටී පන්දුව ඔවුන්ගේම දැල තුළට යාම නිසා සහිරා විදුහලට 3-1ක් ලෙසින් තරගයේ පෙරමුණ හිමි විය.

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ දී 3-1ක් ලෙසින් ප්‍රතිඵලය දැක්වුන අතර සහිරා විදුහලට ප්‍රසාද ලකුණු ත්‍රිත්වය හිමිවුණි.

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ මීළඟ තරගය අද (20) සවස 3.30ට කින්නියා මධ්‍ය මහා විද්‍යාලය සහ ගිංතොට සහිරා විද්‍යාලය අතර කින්නියාහි අල් ඉර්ෆාන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

තරගයේ අවසාන ප්‍රතිඵලය: මරදාන සහිරා විදුහල 03 – 01 කින්නියා අල් අක්සා විදුහල

ගෝල වාර්තා කරන ලද ක්‍රීඩකයන්:

  • මරදාන සහිරා විදුහල – මොහොමඩ් අකීබ් 45+1’, සාහීල් අහමඩ් 52’, own goal 83’
  • කින්නියා අල් අක්සා විදුහල – මොහොමඩ් රොෂාන් 75’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<