සාන්ත ජෝසප් විදුහල තවදුරටත් A කාණ්ඩයේ පෙරමුණ රැක ගනියි

368

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ A කාණ්ඩය යටතේ අද (01) දින බැද්දගාන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුනු කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වූඩ් විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනා. මෙම තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු නිසාම් පකීර් අලි මහතා ද පැමිණ සිටීම විශේෂ කරුණක් විය.

රාජකීය ක්‍රීඩකයන් පළමු ජය වාර්තා කරයි

ඇල්බට් එදිරිසිංහ කුසලානය වෙනුවෙන් දිවයින පුරා කණ්ඩායම් 20ක් තරග වදින 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අද (28)…..

තරගයේ පාලනය මුල සිටම සාන්ත ජෝසප් කණ්ඩායම විසින් සියතට ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටිය ද තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දීම ජෝසප් කණ්ඩායමට දැඩි පීඩනයක් ලබා දීමට කිංග්ස්වූඩ් විද්‍යාලයට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 5වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට කිංග්ස්වූඩ් පිළේ අහමඩ් අර්ශාඩ් සමත් වූයේ ජෝසප් ක්‍රීඩකයෙකු විසින් පන්දුව අතින් ඇල්ලීමේ වරදට කිංග්ස්වූඩ් කණ්ඩායමට හිමි වූ නිදහස් පහර ප්‍රයෝජනයට ගනිමිනි.

ඉන්පසුව සාන්ත ජෝසප් කණ්ඩායම එම ගෝලයට පිළිතුරු සැපයීමට නොකඩවා උත්සාහ ගත් අතර තරගයේ 10වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ක්‍රීඩක අසේල මධුෂාන් විසින් කෝනර් පහරකට හිසෙන් ගෝලය වෙත ප්‍රහාරයක් එල්ල කළ ද එය කල් මැනීමෙන් දුබල එකක් වූ නිසා එම උත්සාහය අසාර්ථක විය.

කෙසේ හෝ 15වන මිනිත්තුවේ දී නැවතත් සාන්ත ජෝසප් විද්‍යාලයේ සහස් රෙනුජ විසින් එල්ල කළ ගෝලය කිංග්ස්වූඩ් කණ්ඩායමේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකු විසින් විශිෂ්ට ලෙස බයිසිකල් පහරක් මඟින් වළක්වනු ලැබූ අතර 20වන මිනිත්තුවේ දී නැවත වරක් රෙනුජ විසින් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහය කිංග්ස්වූඩ් දැල් රකින්නා වූ ජනිත් රත්නායක විසින් මැනවින් ව්‍යර්ථ කළේය.

මරදාන සහිරා ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරති

පළමු වරට සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ ඊයේ (19) පැවති තරගයකින් කින්නියා අල් අක්සා…

සාන්ත ජෝසප් කණ්ඩායම වෙත අවාසි සහගත ලෙස තරගය හැරෙන විට 27වන මිනිත්තුවේ දී ජෝසප් පිළේ අසේල මධුෂාන් ආබාධයකට ලක්වීම නිසා ඔහුට තරගයෙන් ඉවත් වන්නට සිදු වූ අතර එම අවස්ථාවේදී  කිංග්ස්වූඩ් කණ්ඩායමේ දැල් රකින්නා හට විනිසුරු විසින් කහ කාඩ් පතක් නිකුත් කරන ලදී. කෙසේ නමුත් තරගයේ 42වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් කණ්ඩායමේ චමත් රශ්මිතගේ පාදයෙන් ප්‍රතිවාදී පිළේ ලකුණු සම කිරීමේ ගෝලය වාර්තා වූ අතර ඔහුට විශිෂ්ට ලෙසින් පන්දුව පිරිනැමුවේ අසේලගේ ආදේශනය වූ රූපසිංහ විසිනි.

ඉන් නොනැවතුන ජෝසප් ක්‍රීඩකයින් පළමු අර්ධයේ අවසාන මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර එය චලන ප්‍රවන්තගේ පාදයෙන් වාර්තා විය.

පළමු අර්ධය : කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය  2 1 මහනුවර කිංග්ස්වූඩ් විද්‍යාලය

දෙවැනි අර්ධය ආරම්භ වූයේ කිංග්ස්වූඩ් කණ්ඩායමේ ප්‍රහාර කිහිපයකිනි. තරගයේ 51වන මිනිත්තුවේ දී කිංග්ස්වූඩ් විදුහලේ දේශාන් කෝරළගේ විසින් ගෝලයක් ලබාගනිමින් දෙපිළේ ලකුණු තත්වය නැවත වරක් සම කිරීමට සමත් වූ අතර ඒ අනුව තරගයේ ලකුණු තත්වය දැක්වුණේ 2-2 ක් වශයෙනි.

තරගයේ වාර්තා වූ 2, 3 සහ 4වන ගෝල වාර්තා කරන ලද්දේ ඉතා මනරම් පන්දු යොමු කිරීම් (passes) කිහිපයකින් වූ අතර දඬුවම් සීමාවේ දී පවා ආත්මාර්කාමී නොවන පන්දු යොමු කිරීම් රාශියක් දක්නට ලැබුණි. තරගයේ 55 සහ 62 යන මිනිත්තු වල දී ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ නැවත වරක් තම පාසල සතුකරගැනීමට ජෝශප් කණ්ඩායම උත්සාහ කළත් කිංග්ස්වූඩ් කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩක ජනිත් රත්නායක ඊට අවසර නොදුන්නේය.

ප්‍රමුදිතගේ ප්‍රහාරයෙන් මැසනොද් කණ්ඩායමට ජය

ප්‍රමුදිත ගුණසේකරගේ සුපිරි ක්‍රීඩා විලාසයෙන් කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කර නිහාල් මෙන්ඩිස් අනුස්මරණ….

මෙහි 69වන සහ 70වන මිනිත්තු වල දීද නැවත නැවතත් ගෝල වාර්තා කිරීමට ජෝසප් ක්‍රීඩකයින් විටෙන් විට ප්‍රයත්න දැරුවත් එම අවස්ථා ද ගෝල බවට පරිවර්තනය කර ගැනීමට ඉඩකඩ ලැබුණේ නැත. තරගයේ 87වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් කණ්ඩායමේ ෂෙනාල් සන්දේශ් විසින් එල්ල කරන ලද පහර ගෝල කණුවේ ගෑවී නොගෑවී ඉවතට ගිය අතර 89වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට ජෝසප් කණ්ඩායම ලද ස්වර්ණමය අවස්ථාව ඔවුන්ට උපයෝගී කරගැනීමට නොහැකිවිය.

එහි දී කිංග්ස්වූඩ් ක්‍රීඩකයන් අනිසි බලපෑමක් (foul) වූවා යැයි දක්වමින් පන්දුව වෙත දිව නොගිය ද විනිසුරු විසින් අනිසි බලපෑමක් වූවා යයි තීරණය නොකළ නිසා ජෝසප් ක්‍රීඩකයන් හට පන්දුව නිදහසේ කිංග්ස්වූඩ් ගෝල සීමාව වෙත ගෙන යාමට හැකිවිය. එහෙත් මෙම අවස්ථාවේ ජෝසප් කණ්ඩායම විසින් එල්ල කරන ලද පහර ගෝල කණුවේ දැවටුන අතර ඒ අනුව ඔවුන්ට එක් ප්‍රසාද ලකුණකින් පමණක් සෑහීමට පත්වීමට සිදු විය.

කෙසේ හෝ දෙපිළටම දෙවැනි අර්ධයේ දී ලකුණු ලබා ගැනීමට තිබු අවස්ථාවන් බොහොමයක් මග හැරී ගිය නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

අවසාන ප්‍රතිඵලය : කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය 2-2 මහනුවර කිංග්ස්වූඩ් විද්‍යාලය

ඒ අනුව තවදුරටත් A කාණ්ඩයේ පෙරමුණ හිමිකරගැනීමට සාන්ත ජෝසප් කණ්ඩායමට හැකි වූව ද කොළඹ රාජකීය විද්‍යාලය සහ ගම්පොල සහිරා විද්‍යාලයීය කණ්ඩායම් වලින් ජෝසප් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල වී තිබේ. මේ අතර මහනුවර කිංග්ස්වූඩ් විද්‍යාලය පසුවන්නේ A කාණ්ඩයේ සිව්වැනි ස්ථානයේය.

දිනෙන් දින උණුසුම් වන 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ මීළඟ තරග මෙම මස 8 වැනි දා සවස 03.30ට පැවැත්වෙන අතර එම තරග ඔබට සජීවීව නරඹන්නට හැකියාව පවතියි. කොළඹ සාන්ත බෙනඩික් විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය, හමීඩ් අල් හුසේනි විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරග මෙසේ පැවැත්වීමට නියමිතය.

ගෝල වාර්තා කරන ලද ක්‍රීඩකයින් :

කොළඹ සාන්ත ජෝශප් විදුහල: 2 – චමත් රශ්මිත 42′, චලන ප්‍රවන්ත 45′

මහනුවර කිංග්ස්වූඩ් විදුහල: 2 – අහමඩ් අර්ශාඩ් 5′, දේශාන් කෝරළගේ 52′

                            >> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<