යාපනය ක්‍රීඩකයින්ගේ සිහින හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් බිඳ දමයි

425

ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටය යටතේ අද (14) සවස කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය කණ්ඩායම ගෝල 0-1ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය හිමිකරගත් හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

මීගමු අභියෝග නොතකා සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ අවසන් සංග්‍රාමයට

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ …

හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී ගම්පොළ සහිරා විද්‍යාලයීය කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජයට පත්කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් වූ අතර අනෙක් පසින් සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගනු ලැබුවේ ප්‍රබල මරදාන සහිරා විද්‍යාලයීය කණ්ඩායම සමග පැවති තරගය ගෝල 3-3ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් වීමෙන් අනතුරුව දඬුවම් පහර වටයේ දී තරගයේ ජයග්‍රහණය තහවුරු කරගනිමිනි.

සාන්ත පැට්‍රික් විද්‍යාලයේ රජිකුමාර් සාන්තන් තරගයේ 4 වන මිනිත්තුවේ දී පන්දුව ගෝල රාමුව කලාපය තුළට රැගෙන යමින් වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දැරුවත් එය පහසුවෙන් රැකගන්නට හමීඩ් අල් හුසේනි ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් සෆ්‍රින් සමත් විය.

ඊට වහාම පිළිතුරු දැක්වූ හමීඩ් අල් හුසේනි විද්‍යාලයේ මොහොමඩ් රිෂාන් පන්දුව ප්‍රතිවාදී ගෝල රාමුව තුළට රැගෙන යමින් එහි වම් අන්තයේ සිට පන්දුව ගෝල රාමුව තුළට යොමුකිරීමට උත්සාහ දැරුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් ඉවතට ඇදී ගියේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් පන්දුව ඉදිරියට රැගෙන යාමට සමත් වුවත් එහි දී ගෝලයක් වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත.

කෙසේ නමුත් තරගයේ 29 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් සිය පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ පෙරමුණට එන්නට සමත් විය. එහි දී අමාන් ෆයිසර් විසින් ප්‍රතිවාදී ගෝල රාමුවේ වම් අන්තයේ සිට ලබා දුන් පන්දුවක් ඉතා පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් ගෝලය වාර්තා කර ගනු ලැබුවේ මොහොමඩ් අෆ්කාර් විසිනි.

අනතුරුව තරගයේ 38 වන මිනිත්තුවේ දී සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපයට ඉතා ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එහි දී එය ලබාගත් සාන්තන් එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී යාම නිසා එම අවස්ථාව ඔවුන්ට ගිලිහී ගියේය.

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට සමත් වූයේ නැත.

පළමු අර්ධය: හමීඩ් අල් හුසේනි විද්‍යාලය 01 – 00 සාන්ත පැට්‍රික් විද්‍යාලය

සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් තරගයේ දෙවන අර්ධයට අවතීර්ණ වූයේ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් සමඟයි. ඒ අනුව ඒ හරහා ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වුවත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

තරගයේ 53 වන මිනිත්තුවේ දී ඔවුන්ට ගෝල රාමු කලාපය පිටත වම් අන්තයේ සිට නිදහස් පහර අවස්ථාවක් හිමි වූ අතර එහි දී ගෝල රාමුව තුළට යොමු කළ පන්දුව හරහා සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් හට ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් හිමිවුවත් එහි දී ක්‍රියාත්මක වූ හමීඩ් අල් හුසේනි ආරක්ෂක ක්‍රීඩකයින් සාර්ථකව පන්දුව ගෝල රාමු කලාපයෙන් ඉවතට යොමුකරන්නට සමත් විය.

විශිෂ්ට හඹා යාමක් නමුත් දඬුවම් පහරෙන් ජය යාපනයට

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ …

අනතුරුව හමීඩ් අල් හුසේනි විද්‍යාලයේ මොහොමඩ් සෆ්‍රාන් පන්දුව ඉදිරියට රැගෙන යමින් ගෝල රාමු කලාපය පිටත සිට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දැරුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් ඉහළින් ඇදී ගියේය.

පසුව ක්‍රියාත්මක වූ හමීඩ් අල් හුසේනි විද්‍යාලයේම අමාන් පන්දුව ඉතා හොඳින් ඉදිරියට රැගෙන යමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙදෙනෙක් පසුකරමින් ගෝල රාමුව පිටත සිට පහරක් එල්ල කරනු ලැබුවත් එහි දී එය ද ගෝල රාමුවට ඉහතින් ඇදී ගියේය.

ඉන් අනතුරුව ද හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට රැගෙන යමින් ගෝලයක් රැස්කර ගන්නට පහසු අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගනු ලැබුවත් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පසුව මොහොමඩ් රිෂාන් විසින් ගෝල රාමු කලාපයේ දකුණු අන්තයේ සිට ගෝල රාමුව ඉදිරිපිටට යොමු කළ පන්දුවකට සෆ්‍රාන් විසින් හිසින් පහරක් එල්ල කරනු ලැබුවත් එය විශිෂ්ට ලෙස රැකගන්නට සාන්ත පැට්‍රික් ගෝල රකින ක්‍රීඩක කිජුමන් සමත් විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් හිමි වූ නමුත් ඔවුන් ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත.

පසුපසින් හඹා ආ ජෝසප්වරුන්ට සාන්ත පීතරයින් පරදා තියුණු ජයක්

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ …

ඒ අනුව තරගය පුරාවට ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: හමීඩ් අල් හුසේනි විද්‍යාලය 01 – 00 සාන්ත පැට්‍රික් විද්‍යාලය

ThePapare තරගයේ වීරයා – අමාන් ෆයිසර් (හමීඩ් අල් හුසේනි විද්‍යාලය)

ගෝල ලාභීන්

  • හමීඩ් අල් හුසේනි විද්‍යාලය – මොහොමඩ් අෆ්කාර් 38’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<