රාජකීය ක්‍රීඩකයන් පළමු ජය වාර්තා කරයි

452
Mahinda College v Royal College
Mahinda College v Royal College – Group A – ThePapare Football Championship 2018

ඇල්බට් එදිරිසිංහ කුසලානය වෙනුවෙන් දිවයින පුරා කණ්ඩායම් 20ක් තරග වදින 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අද (28) පැවති තරගයකින් ගෝල 1-0ක ජයක් ලැබීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

ගාල්ල මහින්ද විදුහල සමඟින් පැවති මෙම තරගය කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

මරදාන සහිරා ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරති

පළමු වරට සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ ඊයේ (19) පැවති…

තරගයේ පළමු මිනිත්තු 10 තුළ දී මහින්ද විදුහලට ගෝල වාර්තා කිරීම සඳහා අවස්ථා දෙකක් ලැබුණි. පළමුවැනි අවස්ථාව 7 වැනි මිනිත්තුවේ දී මුහුණට මුහුණ අවස්ථාවක් වූ අතර එහි දී මහින්ද විදුහලේ ක්‍රීඩකයා විසින් එල්ල කරන ලද වොලී පහර (පන්දුව ගුවනේ තිබෙන අවස්ථාවේ දී එල්ල කරන පා පහර) ගෝල සීමාවෙන් ඉවතට යන ලදි.

ඉන්පසු 8 වැනි මිනිත්තුවේ දී නැවතත් මුහුණට මුහුණ අවස්ථාවක් මහින්දයට ලැබුනත් එම අවස්ථාවෙන් ද ප්‍රයෝජනයක් ලබා ගැනීමට මහින්ද කණ්ඩායමට නොහැකි වූයේ S. H. ලියනගේ විසින් එල්ල කරන ලද පහර රාජකීය විදුහලේ ගෝල කණුවේ වැදී ඉවතට යාම නිසාය. එම අවස්ථාවේ දී රාජකීය විදුහලේ දැල රකින්නා ඔහුගේ සීමාවෙන් මදක් ඔබ්බට පැමිණ තිබෙනු දැක ගත හැකි විය.

රාජකීය විදුහලට, මහින්ද විදුහලේ ගෝල සීමාව දෙසට පහරක් එල්ල කිරීමට මිනිත්තු 31ක කාලයක් ගත වූ අතර තරගයේ 31 වැනි මිනිත්තුවේ දී රාජකීය ක්‍රීඩක ශිෂාන් ප්‍රබුද්ධ විසින් මදක් දුර සිට ගෝල සීමාව දෙසට පහරක් එල්ල කළත්, පන්දුව නතර වූයේ මහින්ද කණ්ඩායමේ ගෝල රකින්නාගේ සුරතෙහිය.

තරගයේ 41 වැනි මිනිත්තුවේ දී රාජකීය දඬුවම් සීමාව තුල දී මහින්ද ක්‍රීඩකයෙකු හොඳින් පන්දුව යොමු කළ ද එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට තවත් මහින්ද ක්‍රීඩකයෙකු ස්ථානගත වී සිටියේ නැත.

පළමු අර්ධයේ දී දෙපිලෙහිම ක්‍රීඩකයෙකුට බැගින් කහ කාඩ්පත් හිමි වූ අතර ඊට අමතරව වෙනත් සුවිශේෂී යමක් සිදු නොවීම ද කැපී පෙනුණි.

පළමු අර්ධයේ ප්‍රහාරයෙන් රිනවුන් ජයගනී

2018 ඩයලොග් ශුරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් එක් තරගයක්…

නීරස පළමු අර්ධයේ දී පන්දුව තමා සතුකර ගැනීමට රාජකීය ක්‍රීඩකයන්ට හැකි වූ නමුත් ආක්‍රමණයේ දී මහින්ද විදුහල කැපී පෙනුණි. තවද තම කණ්ඩායම සතුව කෙතෙක් පන්දුවේ පාලනය තිබුණ ද මහින්ද දඬුවම් සීමාව තුළට වැඩි වශයෙන් පන්දුව රැගෙන යාමට ද රාජකීය ක්‍රීඩකයන්ට නොහැකි විය.

පළමු අර්ධය: කොළඹ රාජකීය විද්‍යාලය 00 – 00 ගාල්ල මහින්ද විද්‍යාලය

රාජකීය විදුහල සහ මහින්ද විදුහල A කාණ්ඩයේ පිළිවෙළින් 4 සහ 5 වැනි ස්ථාන ලබාගෙන සිටි බැවින් මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වීම මහින්ද විදුහලට වාසියක් ලෙස දිස්වුනි.

ඒ මහින්ද විදුහල ක්‍රීඩා කර තිබුණේ (මෙම තරගයට පෙර) එක් තරගයක් පමණක් නිසා බැවින් සහ ඔවුන් එම තරගයට ක්‍රීඩා කරන ලද්දේ සාන්ත ජෝසප් විදුහලට එරෙහිව වීම නිසාය. එහෙත් රාජකීය කණ්ඩායම් තරග දෙකකට මුහුණ දී සිටි අතර ඔවුන්ට ජෝශප් විදුහල සමගින් තරගය ද ඉතිරි වී තිබුණි.

ඒ පිළිබඳව ඉතා හොඳින් වටහා ගෙන සිටි රාජකීය කණ්ඩායම දෙවැනි අර්ධයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ලෙසින් ක්‍රීඩා කළ අතර 48, 49 සහ 52 වැනි මිනිත්තුවල දී ගෝල ලබා ගැනීමට තෙවරක් උත්සාහ ගනු ලැබීය. ඉන් පළමු සහ දෙවැනි උත්සාහයක් සාර්ථක නොවූවත් තෙවැනි උත්සාහයේ දී රාජකීය කණ්ඩායම සාර්ථක විය.

ප්‍රමුදිතගේ ප්‍රහාරයෙන් මැසනොද් කණ්ඩායමට ජය

ප්‍රමුදිත ගුණසේකරගේ සුපිරි ක්‍රීඩා විලාසයෙන් කොටහේන සාන්ත බෙනඩික්ට්…

ගෝලයේ හිමිකරු වූයේ රාජකීය කණ්ඩායමේ නායක සකුන් දිව්‍යාංගයි. මහින්ද කණ්ඩායමේ දඬුවම් සීමාවේ අද්දර සිට සකුන් විසින් වාර්තා කරන ලද එම ගෝලයෙන් පසු තරගයෙන් 1-0ක් ලෙස පෙරමුණ ලැබීමට රාජකීය විදුහලට හැකි විය.

71 වැනි මිනිත්තුවේ දී රාජකීය විදුහලේ ශිෂාන් ප්‍රබුද්ධ විසින් ඉතා හොඳ මට්ටමේ නිදහස් පහරක් එල්ල කළ ද පන්දුව ගෝල සීමාවට මදක් ඔබ්බෙන් ගමන් කළ බැවින් රාජකීය කණ්ඩායමට දෙවැනි ගෝලය වාර්තා කළ නොහැකි විය.

දෙවැනි අර්ධයේ දී ගෝල සීමාව දෙසට පන්දුව යොමු කිරීමට මහින්ද විදුහලට මිනිත්තු 30ක් ගතවිය. තරගයේ 75 වැනි මිනිත්තුවේ දී මහින්ද කණ්ඩායමෙන්, රාජකීය ගෝල සීමාව දෙසට පන්දුව යොමු වූවත් වේගයෙන් සහ ඉලක්ක ගත කිරීමෙන් ඉතා දුර්වල වූ එම පන්දුව ඉතා පහසුවෙන් රැක ගැනීමට රාජකීය කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක අසාද් හට හැකි විය.

ඉන්පසු 77 වැනි මිනිත්තුවේ දී ද මහින්ද කණ්ඩායමේ ක්‍රීඩකයෙකු නිදහස් පහරක් මාර්ගයෙන් ඉතා වේගවත් පහරක් රාජකීය දැල වෙත යොමු කළ ද එම පන්දුව ද රැක ගැනීමට අසාද් සමත් විය.

තරගයේ 80 වැනි මිනිත්තුවේ දී මහින්ද විදුහලේ ක්‍රීඩකයෙකු රතු කාඩ්පතක් ලැබූයෙන් තරගයේ අවසාන මිනිත්තු 10 ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට මහින්ද විදුහලට සිදු වූ අතර 90 වැනි මිනිත්තුවේ දී මහින්ද විදුහලේ ෂෙහාන් යශ්මිල විසින් ද රතු කාඩ්පතක් ලද හෙයින් තරගයේ අවසාන මිනිත්තු කිහිපය මහින්ද කණ්ඩායම ක්‍රීඩා කරන්නට සිදුවූයේ ක්‍රීඩකයන් නව දෙනෙකුගෙන්ය.

ඒ අනුව ගෝලයක් වාර්තා කරමින් තරගය සම මට්ටමින් හෝ අවසන් කිරීමට මහින්ද විදුහලට තිබූ අවස්ථාවන් සියල්ල ඇහිරී ගිය අතර ගෝල 1-0ක් ලෙසින් තරගයේ ජය කොළඹ රාජකීය විදුහලට හිමි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් A කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රාජකීයයන්ට හැකි විය. මහින්ද විදුහලට අවසාන ස්ථානයේම රැඳී සිටීමට සිදු විය.

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ මීළඟ සජීවී තරගය මෙම මස 31 වැනිදා (බදාදා) සවස 3.20සිට ThePapare.com තුලින් නරඹන්නට ඔබට හැකිය.

තරගයේ අවසාන ප්‍රතිඵලය: කොළඹ රාජකීය විදුහල 01 – 00 ගාල්ල මහින්ද විදුහල

ගෝල වාර්තා කරන ලද ක්‍රීඩකයන්:

  • කොළඹ රාජකීය විදුහල – සකුන් දිව්‍යාංග 52’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<