සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පාපන්දු ශූරතාවය මරදානට රැගෙන යති

662

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ 2018 අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ (16) සවස කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ හමීඩ් අල් හුසේනි විද්‍යාලය අතර පැවති අතර එහි දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව සම්පූර්ණ කාලය අවසානයේ ගෝල 1-1ක් ලෙස සම තත්වයේ පසුවෙමින් තරගය නිමා වීමෙන් පසුව දඩුවම් පහර වටයේ දී දඩුවම් පහර 6-5ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කරගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් අභිනව ‘ThePapare’ පාපන්දු කිරුළ සමඟින් අඛණ්ඩව 3 වන වසරටත් වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා පාපන්දු ශූරතාවය දිනාගන්නට සමත් විය.

සාන්ත පැට්‍රික් ක්‍රීඩකයෝ දඩුවම් පහරවලින් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පරදති

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත…

සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටයේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජයට පත්කරමින් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කරගත් අතර අනෙක් අවසන් මහා තරගයේ දී යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය ගෝල 0-1ක් ලෙස පරාජයට පත්කළ හමීඩ් අල් හුසේනි කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සිය සුදුසුකම සපුරා ගන්නට සමත් විය.

තරගයට හොඳ ආරම්භයක් ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ පළමු මිනිත්තුවේ දී ම ගෝලයක් වාර්තා කරගන්නට ඉතා ආසන්නයට පැමිණීමට සමත් විය. කෙසේ නමුත් එහි දී චලන ප්‍රමන්ත ගෝල රාමු කලාපය තුළ සිට එල්ල කළ පහර ඉතා විශිෂ්ට ලෙස ගෝල රාමුවෙන් ඉවතට ඇද දමන්නට හමීඩ් අල් හුසේනි ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් සෆ්රින් සමත් විය.

තරගය ඉදිරියට යත්ම හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වූ අතර ඒ අනුව තරගයේ 13 වන මිනිත්තුවේ දී මොහොමඩ් සහාන් ගෝල රාමුව දෙසට වේගවත් පහරක් එල්ල කරනු ලැබුවත් එය ඉතා දක්‍ෂ ලෙස රැකගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක මාෂල් කොඩිකාර සමත් විය.

අනතුරුව තරගයේ 18 වැනි මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ක්‍රීඩක සෙනාල් සන්දේශ් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකර ගෝල රාමු කලාපය තුළට යමින් පහරක් එල්ල කරමින් ගෝලයක් රැස්කර ගැනීමට උත්සාහ දැරුවත් එහි දී ඔහු එල්ල කළ පහර සාර්ථකව වළකාලන්නට හමීඩ් අල් හුසේනි පසුපෙළ ක්‍රීඩකයින් සමත් විය.

ඉන් අනතුරුව හමීඩ් අල් හුසේනි නායක අමාන් ෆයිසර් ගෝල රාමු කලාපය පිටත සිට වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් රැස්කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කරදමන්නට නැවතත් කොඩිකාර සමත් විය.

මීගමු අභියෝග නොතකා සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ අවසන් සංග්‍රාමයට

පසුව දෙපිළේම ක්‍රීඩකයින් ගෝල රැස්කර ගැනීමට පැහැදිලි අවස්ථාවන් නිර්මාණය කරගන්නට අපොහොසත් වූ අතර ඒ අනුව පළමු අර්ධයේ මැද භාගයේ පමණ සිට තරගය තරමක් උදාසීන ස්වරූපයක් ගන්නට විය. කෙසේ නමුත් පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම ගෝල රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගැනීමට සමත් වුවත් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 00 – 00 හමීඩ් අල් හුසේනි විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයට ආක්‍රමණශීලී ආරම්භයක් ලබාගත් හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් ගෝල රාමු කලාපය පිටත සිට වේගවත් පහරවල් එල්ල කරමින් ගෝල වාර්තා කිරීමට උත්සාහ දරන සේයාවක් දිස්වන්නට විය. ඒ අනුව සහාන් මෙන්ම අමාන් ද ගෝල රාමු කලාපය පිටත සිට පහරවල් එල්ල කරනු ලැබුවත් ඒවා ගෝල රාමුවට ඉහතින් ඇදී ගියේය.

කෙසේ නමුත් 56 වන මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් වූයේ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් ය. එහි දී චමත් රශ්මිත ගෝල රාමු කලාපයෙන් පිටත පිටියේ දකුණු අන්තයේ සිට ගෝල රාමුව තුළට එල්ල කළ පහර නිසි පරිදි කළමනාකරණය කොට රැකගන්නට සෆ්රින් අසමත් වූ අතර ඒ අනුව පන්දුව ගෝල රාමුව තුළට යොමු වූයේ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගයේ ඉදිරියට රැගෙන යමිනි.

පාපන්දු ලෝකය සරසන්නට එක්වන අලුත් හැඩකාරිය

මෙම වසරේ රුසියාවේ දී නිමාව දුටු පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ….

ඊට පිළිතුරු ලෙස හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් නැවතත් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට යොමුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගැනීමට ඔවුන් සමත් වුවත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

කෙසේ නමුත් තරගයේ 70 වන මිනිත්තුවේ දී හමීඩ් අල් හුසේනි ක්‍රීඩක මොහොමඩ් අෆ්කාර්ට එරෙහිව ගෝල රාමු කලාපය තුළදී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සිදුකළ ‘foul’ කිරීමක් හේතුවෙන් හමීඩ් අල් හුසේනි කණ්ඩායමට දඩුවම් පහරක් පිරිනමන්නට විනිසුරුවරයා සංඥා කළේය. එම දඩුවම් පහර අවස්ථාව සාර්ථකව ලබාගත් ටුආන් නදීර් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමින් කණ්ඩායම් දෙකේ ලකුණු තත්වය සමකර ගන්නට සමත් විය.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට ඉතා පහසු අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ තරගය ජය-පරාජයෙන් තොරව නිමවීම නිසා තරගයේ තීරණය දඬුවම් පහර වටයට යොමුවිය.  

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 01 – 01 හමීඩ් අල් හුසේනි විද්‍යාලය

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් සෙනාල් සන්දේශ් පළමු දඩුවම් පහර අවස්ථාව සාර්ථක කරගැනීමෙන් අනතුරුව නිමේෂ් කුරේ, සචිත් සත්සර, චලන ප්‍රමන්ත සහ තිෂාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ද සිය දඩුවම් පහර අවස්ථා සාර්ථක කරගැනීමට සමත් වූහ. අනෙක් පසින් හමීඩ් අල් හුසේනි විද්‍යාලයේ අජිත් ප්‍රීසන් ලබාගත් පළමු දඬුවම් පහර අවස්ථාව අසාර්ථක වීමෙන් අනතුරුව මොහොමඩ් සුල්ෆර්, අමාන්, මොහොමඩ් සර්ෆආන් සහ අබ්දුල් බාසිත් සිය දඬුවම් පහර අවස්ථාවන් සාර්ථක කරගනු ලැබූහ.

එහි දී සාන්ත ජෝසප් නායක කොඩිකාරගේ ගෝල රැකීම කැපී පෙනෙන්නට වූ අතර අනෙක් පසින් හමීඩ් අල් හුසේනි ගෝල රකින ක්‍රීඩක සෆ්රින් ද විශිෂ්ට ගෝල රැකීමක නිරත වෙමින් සිය කණ්ඩායම තරගයේ රඳවා ගන්නට සමත් විය. කෙසේ නමුත් සෆ්රින් ලබාගත් දඬුවම් පහර අසාර්ථක වීමත් සමඟ තරගයේ ජයග්‍රහණය සාන්ත ජෝසප් විද්‍යාලයට හිමි වූ අතර ඒත් සමඟම ඔවුන් අභිනව ‘ThePapare’පාපන්දු කිරුළත් සමඟින් අඛණ්ඩව තෙවැනි වසරටත් වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය

දඩුවම් පහර වටය: සාන්ත ජෝසප් විද්‍යාලය 6 – 5 හමීඩ් අල් හුසේනි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – මාෂල් කොඩිකාර (සාන්ත ජෝසප් විද්‍යාලය)

ගෝල ලාභීන්

  • සාන්ත ජෝසප් විද්‍යාලය – චමත් රශ්මිත 56’
  • හමීඩ් අල් හුසේනි විද්‍යාලය – ටුආන් නදීර් 70’

විශේෂ සම්මාන

  • අවසන් මහා තරගයේ වටිනාම ක්‍රීඩකයා – මාෂල් කොඩිකාර (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • රන් අත්වැස්ම – මොහොමඩ් සෆ්රින් (හමීඩ් අල් හුසේනි විද්‍යාලය)
  • රන් සපත්තුව – තරින්ද සිල්වා (මාරිස් ස්ටෙලා විද්‍යාලය)
  • රන් පන්දුව – චමත් රශ්මිත (සාන්ත ජෝසප් විද්‍යාලය)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<