කලීෆා Track එක උණුසුම් කරන්නට සියල්ල සූදානමින්

307

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය මෙම මස 21 වැනිදා දෝහා කටාර් හිදී ආරම්භ වීමට නියමිතව ඇත්තේ කලීෆා ක්‍රීඩාංගණයේ දී ය. දෝහා රාජ්‍යයේ සිට දින 4ක් පුරාවටම පැවැත්වෙන මෙම තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් සිටී.

ආසියානු ශූරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එළඹෙන අප්‍රේල් මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත “23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය” සඳහා සහභාගී වීමට නියමිත සංචිතය ක්‍රීඩා අමාත්‍ය…

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය වර්ෂ 1973 දී පිලිපීනයේ දී ආරම්භ වූ අතර එහි ශූරයන් වීමට ජපානයට හැකි විය. ඔවුන් 1973 වසරේ සිට නොකඩවා සිව් වතාවක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය තමන් සතුකර ගැනීමට සමත් වූ අතර වර්ෂ 1983න් පසු එහි අයිතිය චීනය විසින් උදුරා ගන්නා ලදි. එතැන් පටන් 2017 වසර වන තෙක් චීනය සතුව තිබූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය කිසිවෙකුටත් උදුරා ගැනීමට නොහැකි විය. 2017 වසරේ දී ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඉන්දියාව විසින් හිමිකර ගැනීමට සමත් වූයේ සියල්ලන්වම පුදුමයට පත් කරමිනි.

ආසියානු ශූරයින්ට සෙවන සදන කලීෆා

ඛනිජතෙල් වලින් ලෝකයේම ඩොලර් උදුරා ගනිමින් මිලියන 2.4ක ජනගහනයක් පෝසත් කරන කටාර් රාජ්‍ය මෙවර 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා…

අවසන් වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයන්  22ක් තුළ දී ශ්‍රී ලංකාව පදක්කම් 52ක් දිනා ගෙන ඇති අතර එයට රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 19ක් ඇතුළත් වේ. 2019 වසරේ පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුතු සංචිතයක් නම් කර ඇති අතර ඔවුන් මෙම මස 19 වැනිදා දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.     

Photos: Asian Athletic Championship 2019 – Team Sri Lanka

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ආසියානු කලාපීය දක්ෂතා දැක්වූ තරගකරුවන් කිහිප දෙනෙකුම ඇතුළත්ව ඇති අතර ඔවුන්ගේ අත්දැකීම් තුළින් ශ්‍රී ලංකා සංචිතයේ ඇතුළත් අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම සහ දක්ෂතා වර්ධනයට මහඟු පිටිවහලක් වනු ඇත. හිමාෂ එශාන්, සුමේධ රණසිංහ, ගයන්තිකා අබේරත්න, නිමාලි ලියනාරච්චි සහ විදූෂා ලක්ෂානි මෙවර සංචිතයේ සිටින ප්‍රධාන තුරුම්පු කිහිපයයි.

දිවයිනේ සෑම තැනකම ක්‍රීඩාව ආවරණය කරමින් දෙවුන්දර තුඩුව සහ පේදුරු තුඩුව ක්‍රීඩාවෙන් යා කරමින් සිටින ThePapare.com අප, මෙවර ක්‍රීඩා මාධ්‍යකරණය ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරමින් ප්‍රථම වතාවට ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ආවරණය කිරීම සඳහා මෙම මස 19 වැනිදා දෝහා කටාර් බලා පිටත් වීමට නියමිතයි. දින 4ක් පුරා පැවැත්වෙන මෙම ශූරතාවයේ සියලු තරග ප්‍රතිඵල, ඡායාරූප සහ වීඩියෝ දසුන් එසැණින් ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වන්නෙමු.  රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<