තෙවන විනිසුරු තාක්ෂණය ලොවට දායාද කළ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රාඥයා

265
(ඡායාරූපය - යූ ටියුබ් ඇසුරිනි)

වසර ගණනාවක් පුරා මහත්වරුන්ගේ ක්‍රීඩාව විවිධ වෙනස්වීම් සහ දියුණු වීම් රැසකට භාජනය විය. ඒ සඳහා වඩාත්ම බලපෑ සාධකය ලෙස හඳුන්වා දිය හැක්කේ තාක්ෂණයේ දියුණුවයි. අද වන විට පන්දුව පිත්තේ වැදුණේ දැයි සොයා බලන හොට් ස්පොට් සිට පන්දුවේ ගමන් මාර්ගය ප්‍රක්ෂේපනය කරන හෝක් – අයි දක්වා තාක්ෂණික මෙවලම් ක්‍රීඩාවට යොදා ගෙන තිබෙන්නේ මිනිස් වැරදි අවම කර ගනිමින් සාධාරණ තරගයක් පැවැත්වීම සඳහායි.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව මෙවන් ඉහළ තාක්ෂණයෙන් සන්නද්ධ වීමේ සන්ධිස්ථානය ලෙස හඳුන්වා දිය හැක්කේ 90 දශකය මුල් භාගයේ දී රූපවාහිනී පුනරූපන විනිසුරු හෙවත් තෙවන විනිසුරුගේ ආගමනයයි. මෙම තීරණාත්මක සන්ධිස්ථානයේ පුරෝගාමියා ශ්‍රී ලාංකිකයෙකු බව මෙරට බොහෝ දෙනා පවා නොදන්නා කරුණක් විය හැකිය.  ඔහු අන් කවරෙකුත් නොව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ඉතිහාසඥයෙක්, නව නිපැයුම් කරුවෙකු මෙන්ම විශිෂ්ට ලේඛකයකු ද වන මහින්ද විජේසිංහ මහතායි.

පන්දු 4කින් කඩුලු 4ක්…

Royal College 1xi cricket team in 1957 (Image courtesy – www.quadrangle.lk)
රාජකීය විද්‍යාල ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම – 1957 (ඡායාරූපය – www.quadrangle.lk)

2007 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී ලසිත් මාලිංග නොතිබූ ජයග්‍රහණයක් අබියසටම ශ්‍රී ලංකාව ගෙන යද්දී ඔහු සම කළේ ඊට වසර 50කට පෙර ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිහිටවූ වාර්තාවක් බව බොහෝ දෙනා දැන සිටියේ නැත.

මහින්ද විජේසිංහ 1957 වසරේ දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් කැම්බල් පෙදෙසේ පැවති තරගයක දී කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩුලු 4ක් පන්දු 4ක් තුල බිඳ හෙලමින් මෙම වාර්තාව බිහි කළේ 16 හැවිරිදි පාසල් ක්‍රීඩකයෙකු ලෙසයි. පාසල් කරළිය තුල ඔහුගේ වාර්තා තවමත් නොබිඳී පවතින අතර පසුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමඟ එක්වුණු මහින්ද විජේසිංහ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලි තුල දී ‘ඒ’ ‘බී’ ‘සී’ සහ ‘ඩී’ යන සියලු කාණ්ඩවල හොඳම පිතිකරු ලෙස සම්මාන ලබා තිබේ. 1963/64 තරග වාරයේ සරා කුසලාන ශූරතාව දිනු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ උප නායක ලෙස කටයුතු කළේ ද මහින්දයි.

රූපවාහිනී පුනරූපන විනිසුරු පිළිබඳ අදහස

1981 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ විධායක ලේකම් ධූරයට පත්වූ මහින්ද විජේසිංහ පුහුණුවීම් සඳහා ගෘහස්ථ තණතීරු යොදා ගැනීම හඳුන්වා දීම සඳහා දැඩි වෙහසක් දරන අතරම නිදහස් පුවත්පත් කලාවේදියකු ලෙස ද සේවය කරන ලදි. 1982 වසරේදී ඔහු ‘ද අයිලන්ඩ්’  පුවත්පතට ලිපියක් ලියමින්  පෙන්වා දුන්නේ පිටියේ සිටින විනිසුරුවරයාට අපහසු තීරණයක්  සිදු වූ විට ක්‍රීඩාගාරයේ සිටින අතිරේක විනිසුරුගෙන් ‘වෝකි ටෝකි’ උපකරණ හරහා සහය  බවයි. ඒ සඳහා අතිරේක විනිසුරුවරයාට රූපවාහිනී පුනරූපන මගින් සහය  හැකි බවත් එම ලිපියෙන් ඔහු විස්තර කර තිබුණි.

ඔහුගේ අදහස සලකා බැලූ එවක ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ලෙස කටයුතු කළ දිවංගත ගාමිණි දිසානායක මහතා එම අදහස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කරන්නට පියවර ගන්නා ලදි. තනි පුද්ගලයෙකුට අයි. සී. සී. යට යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොපැවතී බැවින් මෙම අදහස සලකා බැලුණේ 1984 වසරේ පැවැත්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කමිටු වාර්ෂික මහා සභා රැස්වීමේ දීයි.

කෙසේ වෙතත් 1984 මහා සභා රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් වරයාගෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසනු ලදුව ඔහුට නිසි පිළිතුරක් දීමට නොහැකි වීමත් සමඟ රූපවාහිනී විනිසුරු තාක්ෂණය පිළිබඳ යෝජනාව හමස් පෙට්ටියට වැටුණි.

එසේ වුවත් දකුණු අප්‍රිකාව වැනි රටවල් වහාම මේ තාක්ෂණය පිළිබඳ අදහස සිය රටවල් වෙත ගෙන ගිය අතර බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකු සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන දිවංගත ක්‍රිස්ටෝපර් මාටින් ජෙන්කින්ස් විසින් මහින්ද විජේසිංහ ව හැඳින්වූයේ තෙවන විනිසුරු සංකල්පයේ පුරෝගාමියා ලෙසිනුයි. එසේ නොවන්නට ඔහුගේ වටිනා දායකත්වය ක්‍රිකට් කරළියේ සටහන් නොවීමට ද ඉඩ තිබුණි.

1986 වසරේ දී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්රැඩ්මන් විජේසිංහ මහතා වෙත ලිපියක් ලියමින් පවසා තිබුණේ ” ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඔබ පෙන්වා දී තිබෙන කරුණු මම පිලිගන්නවා මෙන්ම ඒ පිළිබඳ ඔබට ස්තූතිවන්ත වනවා” යනුවෙනුයි.

1992 වසරේ දී සිහිනය සැබෑ වූ මොහොත

ක්‍රිකට් ක්‍රීඩාවේ ඓතිහාසික අවස්ථාවක්  (Video courtesy – robelinda2)

මහින්ද ජයසිංහ දුටු සිහිනය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සැබෑවක් බවට පත්වුණේ 1992 වසරේ ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය තුළ දීයි. 1970 වසරෙන් පසු දකුණු අප්‍රිකාව සත්කාරකත්වය දැරූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වූ මෙම ඓතිහාසික තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් සුදු ජාතිකයකු නොවන පළමු ක්‍රීඩකයා ලෙස ඔමාර් හෙන්රි පිටියට පිවිසීම ද කැපී පෙනුණු සිදුවීමකි.

1992 වසරේ නොවැම්බර් මාසයේ ඩර්බන් නුවර පැවැත්වූ මෙම ටෙස්ට් තරගයේ දී ක්‍රිකට් ඉතිහාසයේ පළමු රූපවාහිනී පුනරූපන විනිසුරු බවට පත්වීමේ භාග්‍ය ලැබුවේ කාල් ලීඩන්බර්ග් විනිසුරුවරයා යි. තරගයේ දෙවන දිනය තුල 19 හැවිරිදි සචින් ටෙන්ඩුල්කාර් ඉක්මන් ලකුණක් කරා දිව යන අවස්ථාවේ පොයින්ට් කලාපයේ පන්දු රැකි ජෝන්ටි රෝඩ්ස් යොමු කළ පන්දුවකින් ඇන්ඩෘ හඩ්සන් කඩුල්ල බිඳ දැමුවේ ස්ක්වෙයාර් ලෙග් විනිසුරු සිරිල් මිචලි වෙත ඉල්ලීමක් කරමිනුයි. මිචලි එහි දී ලීඩන්බර්ග්ගේ සහය පතු අතර රූපවාහිනී පුනරූපන විමර්ශනය කළ ඔහු ටෙන්ඩුල්කාර් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස තීරණය කරන ලදි. නමුත් එම අවස්ථාවේ දී ලීඩන්බර්ග් පිතිකරු දැවී ගිය බවට සංඥා කිරීමට යොදා ගත්තේ කොළ පැහැති විදුලි ආලෝකයයි.

රටවල්  දෙකක් වෙනුවෙන් ශතක වාර්තා කළ ලොව පළමු පිතිකරු ලෙස ඩර්බන් ටෙස්ට් තරගයේ දී වාර්තාවක් තැබූ නායක කෙප්ලර් වෙසල්ස් මෙම සංචාරයේ එක්දින තරගාවලිය අතරතුර සීමිත පන්දුවාර තරගයක තෙවන විනිසුරු තීරණයකින් දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්වුණේ කේප් ටවුන්හී පැවති එක්දින තරගයක් අතරතුර අජේ ජඩේජා විසින් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීම පිළිබඳව තෙවන විනිසුරු රූඩි කර්ට්සන් ලබා දුන් තීරණයකින්.

ක්‍රිකට් මහගෙදරට අභියෝග කිරීම සහ මුරලිව ගලවා ගැනීම

Image courtesy – www.cricketique.wordpress.com
ඡායාරූපය – www.cricketique.wordpress.com

ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්පාදකයා වන මාලිබෝන් ක්‍රිකට් සමාජයට (MCC) අභියෝග කිරීමට කිසිවිට‍ෙක පසුබට නොවූ මහින්ද ජයසිංහ 1987 වසරේ දී ‘ක්‍රිකට් ඉන්ටනැෂනල්’ සඟරාවේ වාර්තාකරුවකු ලෙස වාර්තා කළේ කඩුලු රකිනාගේ අත් ආවරණයේ ඇඟිලි අතර ඇති ආවරණය වූ කොටස ප්‍රමාණයෙන් කුඩා විය යුතු බවයි. එමෙන්ම පිතිකරුවෙකු පන්දුව අතින් ඇල්ලීම (Handling the ball) හේතුවෙන් දැවී ගිය විට එම කඩුල්ලේ අයිතිය පන්දු යවන්නාට ලබා දිය යුතු බව ද මහින්දගේ තවත් යෝජනාවකි. ඔහු ඒ සඳහා ඉදිරිපත් කළ තර්කය වුනේ කඩුල්ල මුවා කිරීමේ වරදට ලබා දෙන දැවී යාමේ අයිතිය පන්දු යවන්නාට හිමිවන්නේ නම් පන්දුව කඩුල්ලට හෝ [ආ ආවරණයට වැදීම වළක්වා ගැනීම සඳහා වඩාත් බරපතළ වරදක් වන පන්දුව අතින් ඇල්ලීම සිදු කරන අවස්ථාවක දී එම කඩුල්ලේ අයිතිය පන්දු යවන්නා සතු බවයි.

එමෙන්ම ක්‍රිකට් නීති අතර තිබූ ගණිතමය දෝෂයක් හඳුනා ගත් මහින්ද ජයසිංහ ඒ පිළිබඳ අනාවරණය කිරීමත් සමඟ වසර 250ක් පමණ පැරණි ක්‍රිකට් නීතියක් වැරදි බව පිළිගැනීමට ද, එම නීතිය වෙනස් කිරීමට ද මාලිබෝන් ක්‍රිකට් සමාජයට සිදු විය.

1996 වසරේ දී ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩෙනිස් රිචර්ඩ්ස් මෙම වරද පිළිගනිමින් මහින්ද වෙත මෙසේ ලියා දන්වන ලදි. ”මම දැනුවත් වුනා පන්දුවේ බර පිළිබඳ ක්‍රිකට් නීති අතර තිබූ වරදක් ඔබ විසින් MCC වෙත පෙන්වා දුන් බව. එය ඉතා වැදගත් ක්‍රියාවක්.”

ක්‍රිකට් මහගෙදර වූ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලේකම්වරයා ද එම වසරේ දී ම මහින්ද ජයසිංහ වෙත ලිපියක් යොමු කරන ලදි. ”මෙම වරද MCC වෙත පෙන්වා දීම පිළිබඳ අප ඔබට ස්තුතිවන්ත වනවා. මීළඟ නැවත මුද්‍රණයේ දී එය නිවැරදි කරන බවට අපි සහතික වනවා.” එහි දැක්විණි.

මුත්තයියා මුරලිදරන් හට පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ල වූ අවස්ථාවේ මහින්ද ජයසිංහ ඔහුට උපදෙස් ලබා දුන්නේ පන්දු යවන අත නැවිය නොහැකි වන ලෙසට වෙළුමක් පැළඳ පන්දු යවන ලෙසයි. එමගින් වැලමිට නැමීමෙන් තොරව ‘දූස්රා’ පන්දුව යැවිය හැකි බවට ඔප්පු වන බව ඔහුගේ අදහස විය. මුරලිගේ කළමනාකරු වූ කුෂිල් ගුණසේකර සහ විශේෂඥ අස්ථි වෛද්‍යවරුන් සමඟ කරන ලද දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය ජාතික වෛද්‍යවරයෙකු විසින් පැරිස් බදාම (Plaster of Paris) යොදා ගනිමින් නිපදවූ විශේෂ අත් පළඳනාවක් යොදාගත් මුරලිට සියලු චෝදනා සාවද්‍ය බවට ඔප්පු කිරීමට හැකි වුනා පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙම මාතෘකාව පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කිරීමට ද එය හේතුවක් විය.

මහින්ද ජයසිංහ සතුවූ ක්‍රිකට් බහුශ්‍රැත භාවය, අසම සම අදහස් මෙන්ම නොසැලෙන පෞරුෂය හේතුවෙන් ක්‍රිකට් අද තිබෙන තත්ත්වයට ඔසවා තැබීමට විශාල දායකත්වයක් ලබා දී තිබේ. එබැවින් මහත්වරුන්ගේ ක්‍රීඩාවට ඉමහත් සේවයක් කළ මේ මහත්මාගේ වීර කාව්‍යය, කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ඉඩ නොදී රැකගත යුතු සැඟවුණු අගනා මිණි කැටයක්ම වන්නේය.

මෙම ලිපියට තොරතුරු ලබාගත් පහත ප්‍රකාශන ස්තූතිපූර්වකව සඳහන් කරමු. 

  • Quadrangle සඟරාව
  • අමරණීය ක්රිකට් අන්දර – පාලිත පෙරේරා.
  • Running between the cricket – 20 වන වෙළුම – Mahinda Wijesinghe – A Sri Lankan cricket innovator

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<