සොයුරන්ගෙන් ගුටි කා මුළු ඉන්දියාවටම පහර දුන් නාවික සෙබළා

3830

ලෝක ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක වීරයා වීමේ සිහිනය වසර ගණනක ජාත්‍යන්තර ක්‍රීඩා අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකුගේද සිහිනයක් විය හැකිය. ඉදින් තම ප්‍රථම ජාත්‍යන්තර තරගාවලියේදීම එවන් දස්කමක් කළහැකි නම් එය ක්‍රීඩකයෙකුගේ දැවැන්ත සිහිනයක් පහසුවෙන් සැබෑවීමකි.

ICC ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේදී තම පරම එදිරිවාදීන් වූ ඉන්දියාව පරදවා ජයගැනීමට පාකිස්තානයට පාර කැපූ ෆඛාර් සමාන් ඒ දැවැන්ත සිහිනය සැබෑකරගත් ක්‍රීඩකයන් අතලොස්සෙන් කෙනෙක් වූවත් එය කරා ඔහු ගිය ගමන එතරම් පහසු එකක් නොවේ.

ශ්‍රී ලංකාවේ මෙන්ම පාකිස්තානයේ නව යෞවනයන් අතරද ප්‍රචලිත කරුණක් නම් ගමේ ගොඩේ තැන තැන එක්රොක් වී ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි. එහෙත් ලාංකික ගම් දනව් වල ටෙනිස් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කෙරෙද්දී ඊට වඩා තද ටේප් පන්දුවෙන් ක්‍රීඩා කරන පාකිස්තාන පිරිමි දරුවන් වේග පන්දු යැවීමේ රුසියන් වීම ජාත්‍යන්තරය දෙස බැලීමේදීද හොඳින් දැකිය හැකිය. පාකිස්තානයේ දුෂ්කර ගමක් වන ඛට්ලන්ග් හි උපත ලද ෆඛාර් සමාන්, මෙම අභියෝගය සාර්ථකව ජයගනිමින් තම අසල්වැසි මිතුරන් සහ තම සොයුරන් එවන පන්දු, පිටිය සිසාරා එලවා දැමූ හේතුව මත බොහෝවිට ඔවුන්ගෙන් පහරකන්නට ඔහුට සිදුවිය.

වයසින් වැඩෙත්ම සොයුරන්ගේ පහරදීම් උග්‍ර වූ අතර ඔවුන් සමාන්ට කියාසිටියේ ක්‍රිකට් ක්‍රීඩා නොකරන ලෙසයි.

“ඒත් ඔහු කවදාවත් ඒක නැවැත්තුවේ නැහැ. අද ඔහු අපට දෙවියෙක් වගේ.” ඔහුගේ සොයුරු ආසිෆ් ඒ.එෆ්.පී. මාධ්‍යය සමඟින් අද එසේ සතුටු වූවත් කුඩා අවධියේදී ෆඛාර් දෙස එලෙසින් බැලිය හැකි අසල්වාසියෙකුවත් නොවීය.

“මම පාසල් තරග දෙකක් විතර ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කරලා ලකුණු රැස්කළා. මං මුළු පළාතේම ප්‍රසිද්ධ වුනා. මං යන යන තැන මිනිස්සු කියන්න ගත්තා, ‘මෙයා ලෙදර් ගහන ක්‍රීඩකයෙක්. මෙයත් එක්ක සෙල්ලම් කරන්න එපාකියලා.” ෆඛාර් තම අතීතය විනෝදයෙන් සිහිපත් කළේ එසේයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන්ගේ පාසල් අවධියෙන් වැඩි කාලයක් තමන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපකළත් අන්තර් සමාජ මට්ටමෙන් එපිටට යෑමේ අවශ්‍යතාවයක් තමන්ට නොතිබූ බවයි. ඔහුගේ සිත තුළ වූයේ නාවික හමුදා කොමාන්ඩෝ භටයෙකු වීමේ සිහිනයයි.

courtesy - cricket.com.au
courtesy – cricket.com.au

කෙසේවුවත් ෆඛාර්ගේ ක්‍රිකට් දිවියේ අලුත් පිටුවක් පෙරළන්නට ඔහුට හැකිවන්නේ නාවික හමුදාවට එක්වීමෙන් පසුවයි. නාවික සෙබළෙකු වීමෙන් පසුව ඔහුගේ දක්ෂතාවයන් හඳුනාගත් පාකිස්තාන නාවික හමුදා ක්‍රිකට් පුහුණුකරු නසීම් ඛාන් විසින් ඔහුට කියන ලද්දේ නාවික හමුදාවෙන් ඉවත් වී ක්‍රිකට් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසටයි.

එයින් ඇරඹි ඔහුගේ දේශීය ක්‍රිකට් දිවිය වසර 5ක් පුරාවට ඇදීගියත් පාකිස්තාන ජාතික ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය තමන් වෙත නතුකරගන්නට ෆඛාර් සමත්වන්නේ පාකිස්තාන දේශීය විස්සයි-විස්ස තරගාවලියේදී ලාහෝර් ඛලන්දර්ස් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දක්ෂතා වලින් අනතුරුවයි. මේ වසර මුලදී පැවති බටහිර ඉන්දියානුවන්ට එරෙහි විස්සයි-විස්ස තරග කිහිපයක් සඳහා ඔහු පාකිස්තාන ජාතික කණ්ඩායමට තේරීපත්වුවත් එහිදී වැඩි දස්කම් දක්වන්නට ඔහුට නොහැකි විය. එනමුත් ශූරයන්ගේ කුසලාන සංචිතයට ඔහුව එක්කිරීමට ප්‍රමාණවත් දක්ෂතා පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුගෙන් දැක තිබිණි.

ඉන්දියාවට එරෙහිව පැවති පළමු වටයේ තරගයේදී නිත්‍ය ආරම්භක පිතිකරු අහමඩ් ෂෙසාඩ් අසාර්ථක වීමත් සමඟින් ශූරයන්ගේ කුසලාන තරග පිටියට පිවිසීමේ වරම ෆඛාර්ට ලැබිණි. තවත් අවස්ථාවක් ලැබෙන තෙක් අලස නොවූ ෆඛාර්, පළමු තරගයේදී ලකුණු 31කුත්, මීළඟ තරග දෙකේදී අර්ධ ශතක දෙකකුත් ලබාගනිමින් නොනැවතී අවසන් මහා තරගයේදී පාකිස්තානයට ඓතිහාසික ජයක් ලබාදීමට මඟ ද හෙළිකළේ ශතකයක් වාර්තා කරමිනි.

courtesy - cricketcb.com
courtesy – cricketcb.com

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල 8 වන ස්ථානයේ සිටි පාකිස්තානය ICC ශූරයන්ගේ කුසලානය තමන් සතු කරගත්තේ මෙවන් නවකයන්ගේ දක්ෂතා වලිනි. ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායම් තුළ සදා රැඳෙන්නේ නැත. එබැවින් ක්‍රිකට් ක්‍රීඩා කරන නවකයන්ගේ වගකීම වන්නේ තම උපරිම දස්කම් පිටිය මතදී දිගහැරීමයි.

කටුක අතීතයක් සහිත වුවද ඔබ ක්‍රීඩකයෙකු නම් ෆඛාර්ගේ කතාවෙන් ඔබට බොහෝ දෑ උගත හැකිය. කිසිදු අභියෝගයක් හමුවේ ඔබ නොසැලෙන්නේ නම් ඔබගේ ඉරණම මෙරට ඉක්මවා ලොව ජයගැනීමේ ශක්‍යතාවයෙන්ද යුක්ත බැව් සිහිතබා ගන්න. ලකුණු 180කින් ඉන්දියාව පරදවා පුංචි ලෝක කුසලානය පාකිස්තානයට රැගෙන යාමට උරදුන් ෆඛාර් සමාන්, අද ඔහුගේ ගමට පමණක් නොව මුළු රටටම වීරයෙකි.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න