තම 20 වන උපන් දිනයේ දී තම දෙමාපියන් ඉදිරියේ ලෝකයේ සිටින විශිෂ්ටතම වේගපන්දු යවන්නා හට ‘හුක්’ පහරක් එල්ල කරමින් තම පළමු ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීම සැබවින්ම සුරංගනා කතා පුවතක් බඳුය.

එවන් දේවල් කෙනෙකු දකින්නේ සිය සිහිනවල පමණි. නමුත් අරවින්ද ද දිල්වා හට නම් එය එසේ සිහිනයක් පමණක් නොවීය. 1985 වසරේ අද වගේ දිනයක ‘ෆයිසලාබාද්’ හිදී ඔහු ඒ අන් අයට සිහිනයක් පමණක් වන දෙය සැබෑවක් කර ගැනීමට සමත් විය. එහි දී ඔහු ඉම්රාන් කාන් හමුවේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය සිය දෙමාපියන් වන සෑම් සහ රාණි ද සිල්වා ඉදිරියේ වාර්තා කර ගැනීමට සමත් විය. අද ඔහුගේ 52වන උපන් දිනයයි.

තරංග තුන්වන පන්දුවාර 20 තරගයෙන් ඉවත් වේ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග සඳහා නායකත්වය දරන උපුල් තරංග ආරක්‍ෂක හේතූන් මත මෙම…

ජාතියක් ආදරය කරන්නේ එහි පළමු වීරවරුන්ටයි. කුමාර සංගක්කාර (ටෙස්ට් ලකුණු 12,400ක් සහ ශතක 38ක්), අරවින්ද ද සිල්වාට (ටෙස්ට් ලකුණු 6361ක් සහ ශතක 20ක්) වඩා ටෙස්ට් ලකුණු මෙන්ම ශතක ද දෙගුණයකට ඉතා ආසන්න ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇතත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙස අදටත් අරවින්ද නම් දරා සිටින්නේ ඒ නිසාවෙනි.

ඔහු සෑම විටම පිතිකරණයේ නියැලුණේ ධනාත්මක ස්වරූපයකිනි. එය ඔහු මුහුණ දෙන පළමු පන්දුව විය හැක, නැතහොත් එය ඔහුට ශතකයකට එක් ලකුණක් පමණක් අවශ්‍යව තිබිය දී ඔහු මුහුණ දෙන පන්දුවක් විය හැක, මේ කුමන අවස්ථාවක වුවද එම පන්දුවට වැරෙන් පහරක් එල්ල කළ හැකි නම් එය පහසුවෙන් හා අලංකාරව සිදු කිරීමට ඔහු දෙවරක් සිතා බැලුවේ නැත. ඔහුගෙන් ක්‍රිකට් ඥානය ලබාගැනීමට පැමිණෙන ක්‍රීඩකයින්ට පවා ඔහු උගන්වන්නේ එම සූත්‍රයම ය. නමුත් ඇති එකම ගැටලුව වන්නේ, ඔහු පිටිය තුළ කළ ඒ දේවල් කළ හැකි මනුෂ්‍යයෙක් සිටින්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.

ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ද ඔහු පරිපාලකයෙක් ලෙස මෙන්ම තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළේ සිය සුපුරුදු ධනාත්මක චින්තනය සහිතවය. ඔහුගේ එම සේවයෙන් ප්‍රයෝජන ලැබූ තරුණ ක්‍රීඩකයින් ගණන අපමණය.

ඔහු පළමු වරට ටෙස්ට් තරගයක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාව එංගලන්තයේ දී සහභාගී වූ පළමු ටෙස්ට් තරගයේ දී වීම ද විශේෂත්වයකි. එය ද එංගලන්තයේ ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගණයේ දී වීම තවත් විශේෂත්වයකි. වයස අවුරුදු 19ක තරුණයෙක් ලෙස ටෙස්ට් වරම් දිනාගත් ඔහු ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කරමින් ඉන් වසර 18කට පසුව විශ්‍රාම දිවියට පිවිසියේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවාට හිමි කිරුළ ද හිසේ දරමිනි.

ඔහු 1989 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ‘ගැබා’ හිදී ප්‍රබල ඕස්ට්‍රේලියානු වේගපන්දු බලඇණිය හමුවේ වාර්තා කරගත් ලකුණු 167 සහ ටෙස්ට් ක්‍රිකට් ඉනිමක ඔහු වාර්තා කරගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන 1991 වසරේ දී නවසීලන්තයේ ‘වෙලින්ග්ටන්’ හිදී ඔහු වාර්තා කරගත් ලකුණු 267, ඔහු ටෙස්ට් ක්‍රිකට් දිවියේ දී ක්‍රීඩා කරනු ලැබූ විශිෂ්ටතම ඉනිම් ද්විත්වය යි. නමුත් ඔහු කණ්ඩායමට වඩාත් ප්‍රබල බලපෑමක් සිදු කිරීමට සමත් වූයේ 1995 වසරේ දී එංගලන්තයේ ‘කෙන්ට්’ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි. එහි දී ඔහු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවති ‘බෙන්ස් සහ හෙජස්’ කුසලාන අවසන් මහා තරගයේ දී වසීම් අක්රම් ප්‍රමුඛ ප්‍රබල ‘ලැන්කෂයර්’ පන්දු යැවීමේ බලඇණිය හමුවේ ශතකයක් වාර්තා කර ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට ඉතා ආසන්නයට රැගෙන ඒමට සමත් විය. ඔවුන් එම තරගය පරාජයට පත්වුවත් තරගයේ වීරයාට හිමි සම්මානය පිරිනැමුණේ අරවින්ද හටයි.

ඔහුගේ වාර්තාව ද සැබවින්ම විශිෂ්ටය. ‘කෙන්ට්’ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පෙර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 37ක් ලෙස දැක්වුණු නමුත් එහි ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 50ක් තරම් ඉහළ අගයක් දක්වා වර්ධනය විය.

එම තරග සමයෙන් අනතුරුව ඔහු ‘ලන්ඩන්’ නුවර සිට ‘ෆයිසලාබාද්’ නුවර දක්වා ගියේය. ඔහු එහි ගොස් කණ්ඩායම සමඟ එක්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේ දී දැවැන්ත පරාජයකට මුහුණ දී සිටියේ ය. අනතුරුව ඔහු දෙවන ටෙස්ට් තරගයේ දී අගනා ශතකයක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙයවා තරගාවලිය සම කිරීමට සමත් වූ අතර අනතුරුව ‘සියැල්කෝට්’ හිදී පැවති තරගාවලියේ අවසන් තරගය ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ද හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම 1998 වසරේ දී එංගලන්තයේ දී ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණය පිළිබඳව කතා කරන විට බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන්නේ සනත් ජයසූරිය වාර්තා කරගත් ද්විත්ව ශතකය හා මුත්තයියා මුරලිදරන් එම තරගයේ දී වාර්තා කර ගත් කඩුලු 17 යි. නමුත් එහි දී අරවින්ද වාර්තා කර ගත් ලකුණු 152 ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට අතිශය වැදගත් විය.

1990 දශකයේ මුල භාගයේ දී සර් ගැරී සෝබර්ස් ගෙන්, ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවකට හිමි ඔහුගේ ලෝක වාර්තාව බිඳ දැමිය හැකි ක්‍රීඩකයින් පිළිබඳව විමසා සිටි විට ඔහු නම් 4ක් ඉදිරිපත් කළේය. ඒ මාක් වෝ, සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා සහ අරවින්ද ද සිල්වා යි. ඒ වන විට 1980 දශකයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරූ සර් ගැරී සෝබර්ස්, අරවින්දගේ හැකියාවන් හොඳින් දැක තිබුණි.

අරවින්දගේ හොඳම කාලයේ දී වසර 5ක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර තරග ඉතා සුළු වශයෙන් පැවැත්වීම සැබවින්ම කනගාටුවට කරුණකි. ඔහුගේ වයස අවුරුදු 22 සිට 27 දක්වා කාලය තුළ ඔහු ශ්‍රී ලංකාව තුළ එකඳු ටෙස්ට් තරගයකට හෝ සහභාගී වී නොමැති අතර ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබුණේ නම් ඔහු වාර්තා කර ගත් 6361ක මුළු ලකුණු සංඛ්‍යාව අභිබවමින් ඊට ඉතා ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට ඔහුට හැකියාව තිබූ බව නොඅනුමානය.

ඉන් අනතුරුව නැවතත් 2001 වසරේ සිට 2002 වසර දක්වා තේරීම් කමිටුව තරුණ ක්‍රීඩකයින් කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඔහුට නැවත වරක් වසර දෙකකට ආසන්න කාලයක් සඳහා අවස්ථාව අහිමිව ගියේය. අනතුරුව මයිකල් තිසේරා මහතා තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව ඔහු නැවතත් අරවින්දව කණ්ඩායමට ඇතුළත් කරනු ලැබූ අතර ඒ අනුව ඔහුට 2003 වසරේ දී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි විය.

එම ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ‘සෙන්චූරියන්’ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා වන බ්‍රෙට් ලී හට පිටිය සිසාරා පහරවල් එල්ල කරමින්, ඔහුට එරෙහිව පන්දුව පිට පිට ‘flick’ කරමින් ‘deep fine-leg’ හා ‘deep square-leg’ කලාප අතරින් 6 පහරවල් දෙකක් එල්ල කරමින් ඔහු ලබාගත් ලකුණු 92ක ඉනිම සැබවින්ම ඉතා මනරම් ඉනිමක් විය. 1987 වසරේ සිට 2003 වසර දක්වා ලෝක කුසලාන තරගාවලි 5ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහු එම තරගාවලියේ දී ලෝක කුසලාන තරගාවලි තුළ ලකුණු 1000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සමත් විය.

ගෘහස්ථ තරගාවලිවල දී එල්ල වන තරගය ඔහුගේ මට්ටමට නොමැති අවස්ථාවල දී ඔහුගේ උනන්දුව අඩු මට්ටමක පැවතිණි. ප්‍රතිවාදී නායක අර්ජුණ රණතුංග හෙළිකළ අන්දමට අරවින්දව දවා ගැනීම සඳහා SSC ක්‍රීඩා සමාජය අනුගමනය කළ හොඳම කූටෝපාය වූයේ ඔහු පන්දුවට පහර දීමට පැමිණි විගස කඩින් කඩ පන්දු යවන්නෙක් වෙත පන්දුව බාර කිරීමයි. එහි දී ඔහුට තරගය එපාවී දැවී යනු ඇත. කෙසේ නමුත් පන්දුව ඉලිප්පීමකට ලක් කළහොත් එය කතාවේ අවසානය විය. ‘බ්ලූම්ෆීල්ඩ්’ කණ්ඩායම සහ NCC කණ්ඩායම අතර රීඩ් මාවතේ දී පැවති තරගයක දී අරවින්ද හමුවේ රුචිර පෙරේරා හට අත්වූ ඉරණම ක්‍රිකට්ලෝලීන් හොඳින් දන්නා කරුණකි.

2010 සිට 2011 වසර දක්වා කාලය තුළ අරවින්ද තේරීම් කමිටුවේ සභාපති ලෙසත්, කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළ අතර එහි දී ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය මෑත ඉතිහාසය තුළ පැවති සාර්ථකම සබඳතා අතරින් එකක් විය. ක්‍රීඩාව තුළ සිටි විශිෂ්ටතමයින් දෙපළක් වන මොවුන් දෙදෙනා පැය ගණන් තරග සැලසුම් පිළිබඳව සාකච්ඡා වල නිරත වූ අතර එය කණ්ඩායමේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය.

කෙසේ නමුත් විවිධ අත පෙවීම් නිසා එම ධූරයේ කටයුතු කිරීම ඔහුට පහසු කාර්යයක් නොවූ අතර කෙසේ නමුත් ඔහු එහි දී අගනා සේවයක් ඉටු කිරීමට සමත් විය. අනතුරව 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියානු කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුව ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

අරවින්දගේ ප්‍රවීණත්වය සංගක්කාර හට පිතිකරුවෙක් ලෙස දැඩි දියුණුවක් අත්කර ගැනීමට බෙහෙවින් ඉවහල් විය. සංගක්කාර පළමු වරට එංගලන්තයේ සංචාරය කළ 2002 වසරේ දී පැවති තරගාවලිය අරවින්ද ශ්‍රී ලංකාවෙන් පිටත දී සහභාගී වූ අවසන් තරගාවලිය විය. සංගක්කාර ඉදිරියට ‘drive’ පහරවල් එල්ල කිරීමේ දී අපහසුතාවයකට මුහුණ දුන් අතර එහි දී අරවින්ද විසින් යෝජනා කළ පරිදි මහපටැඟිල්ල සහ දබර ඇඟිල්ල ස්ථාන ගතකිරීමේ දී සිදු කළ සුළු වෙනසක් හරහා සංගක්කාර හට ‘mid-on’ සහ ‘mid-off’ කලාප හරහා පහසුවෙන් ‘drive’ පහරවල් එල්ල කිරීමට හැකියාව ලැබුණි.

අරවින්දගේ ගුරුහරුකම් හරහා ප්‍රයෝජන ලබාගත් තවත් ක්‍රීඩකයෙක් වන්නේ ඇන්ජෙලෝ මැතිව්ස් ය. 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ඔහුගේ පළමු එංගලන්ත සංචාරය වූ අතර එහි දී ඔහු ග්‍රීෂ්ම සෘතුවේ පවත්නා තත්වයට අනුකූලව කටයුතු කරන ආකාරය පිළිබඳව අරවින්දගෙන් උපදෙස් ලබාගන්නා ලදි.

එහි දී ‘ක්‍රිකට් ක්‍රීඩාවේ නිවහන’ ලෙස හැඳින්වෙන ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී මැතිව්ස් ශතකයක් වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙය වන්නට සමත් වූ අතර අනතුරුව ‘ලීඩ්ස්’ හිදී පැවති දෙවන තරගයේ දී ද ලකුණු 160ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට සමත් විය. එහි දී දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් තරගාවලියේ වීරයාට හිමි සම්මානයෙන් මැතිව්ස් පිදුම් ලබන ලදි.

තවදුරටත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ 1996 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු දැක්වූ දක්‍ෂතා වලට පාදක වූ රහසිගත තොරතුරු ද ඇත. එහි දී ඔහු පිත්ත ඇල්ලීම සඳහා උපක්‍රම 3ක් භාවිත කර ඇති අතර පන්දුව යොමුකරන පන්දු යවන්නාට අනුකූලව එය වෙනස් කිරීමට ඔහු කටයුතු කර ඇත. එමෙන්ම සිය බර අඩුකර ගැනීම සඳහා ඔහු ලෝක කුසලානයට මාස 6ක කාලයකට පෙර නිර්මාංශ වී ඇත. තවදුරටත් පිත්තේ බර ඔහුට ‘හුක්’ පහරවල් සාර්ථකව එල්ල කිරීමට ඇති අවස්ථාව අවහිර කර ඇති බැවින් එම තරගාවලිය තුළ බරින් වැඩි පිත්තක් භාවිතා කිරීමට ද ඔහු කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරු අරවින්ද ද සිල්වා හට, ThePapare.com සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කර සිටින අතර තවත් වසර ගණනාවකට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ලෝකය තුළ වැජඹවීමට සේවය සැලසීමට අවස්ථාව ලැබේවායි යන්න අපගේ ප්‍රාර්ථනයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<