“පසුගිය මාස 4 මට දැනුණේ හරියට අවුරුදු 2ක් වගේ” – අසේල ගුණරත්න

1956

Dharamsala’ සිට රෙක්ස් ක්ලෙමන්ටයින් වාර්තා කරයි.

ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දී මහපටැඟිල්ලේ ආබාධයකට ලක්වීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමේ දී ඔහු මුහුණ දුන් අපහසුතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න අදහස් පළකර ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියට පෙර සූදානම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරයේ තරග 3කින් සමන්විත එක්දින…

මෙම වසරේ පෙබරවාරි මාසයේ දී පැවති ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු පන්දුවාර 20 තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙයවමින් කරළියට පැමිණි අසේල ඉන් අනතුරුව ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඉන්දියානු කණ්ඩායම හමුවේ නොදැවී වේගවත් ලකුණු 34ක් ලබා ගනිමින් එහි දී ද ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමත් සමඟ ඔහු වටා ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් විශාල වශයෙන් එක්රැස් වන්නට විය.

එම තරගයේ දී ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් සාර්ථකව හඹායන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහි දී අසේල, ජස්ප්‍රීත් බූම්රා හමුවේ ‘fine-leg’ කලාපයෙන් ‘sweep’පහරක් හරහා එල්ල කරනු ලැබූ 6 පහර ඔහුගේ නිර්භය පිතිහරඹයට කදිම නිදසුනක් ලෙස බොහෝ ක්‍රීඩාලෝලීන් ඔහුව පැසසුමට ලක් කරන්නට විය.

ඉන් මාසයක පමණ කාලයකින් අනතුරුව ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටිය ද ආක්‍රමණය කරන්නට සමත් විය. එහි දී සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 388ක වාර්තාගත ඉලක්කයක් පිරිනැමූ අතර එහි දී ඔහු නොදැවී ලකුණු 80ක් වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක ජයග්‍රහණයක් කරා මෙහෙයවන්නට සමත් විය.

හලාවත මේරියන්ස්ට විශිෂ්ට ජයක්; ශතක වැස්සක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” තෙදින ක්‍රිකට් තරගාවලියේ A කොටසේ තරග අද…

කෙසේ නමුත් ඉන් සති දෙකක් ඉක්ම යන්නටත් මත්තෙන් ඔහුව ආබාධයකට ලක්විය.

“පසුගිය මාස 4 මට දැනුණේ හරියට අවුරුදු 2ක් වගේ. ඒක ගොඩක් අමාරු කාලයක්. එහි දී මට ගොඩක් අපහසුතා වලට මුහුණ දෙන්න සිදු වුනා. මම වේදනාව තියෙද්දී පුහුණුවීම් කටයුතු පටන් ගත්තා. සාමාන්‍යයෙන් මේ වගේ ආබාධයක් සුව වෙන්න අවුරුද්දක් වගේ යනවා. ඒ වුනාට මම වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ආබාධය සුව කරගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ නිසා මට හිතුවට වඩා කලින් සුවය ලබාගන්න පුළුවන් වුනා. මම වාහනයේ යනකොට පවා පන්දුවක් රැගෙන ගියා. ඒ නිසා මට ගොඩක් සතුටුයි හිතුවට වඩා ඉක්මණින් සුවය ලබාගන්න පුළුවන් වුන එක ගැන.”

31 හැවිරිදි අසේල ThePapare.com සමඟින් සජීවීව අදහස් දක්වමින් පැවසීය.

“නමුත් ආරක්ෂාව සඳහා තාම මගේ මහපටැඟිල්ල ‘plaster’ කරන්න ඕනේ. මහපටැඟිල්ලට පහළින් කැඩීම් 6ක් වගේ සිදුවෙලා තිබුණා. ඒක නැවතත් සුව අතර ගන්න වෛද්‍යවරුන් ගොඩක් මහන්සි වුනා. ඒ වුනත් මාස 4ක් වගේ ඇඟිල්ල ‘plaster’ කරලා තිබුණ නිසා තාම දැඩි බවක් දැනෙනවා.”

අසේල පැවසීය.

“මම ‘tv’ එකේ තරග නැරඹුවා. එතකොට ලොකු දුකක් දැනුණා. ඒ නිසා මම සූදානමින් ඉන්නේ නැවතත් ක්‍රිකට් පිටියට පැමිණෙන්න. ‘Dharamsala’ ක්‍රීඩාංගණය ගොඩක් ලස්සනයි. හරියට දැනෙන්නේ එංගලන්තය වගේ. ඇත්තටම එංගලන්තයටත් වඩා සීතලයි. මේ වගේ පසුබිමක් තුළ තමයි එංගලන්තයේ දී අපි ඉන්දියාව පරාජය කළේ.”

ඉන්දියානු කණ්ඩායම හමුවේ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී වාර්තා කරගත් ජයග්‍රහණය සිහි කරමින් අසේල පැවසීය.

“මම මීට කලිනුත් ආබාධවලට මුහුණ දුන්නා. ඒත් මේ වගේ ආබාධයකට මුහුණ දීලා තිබුණේ නැහැ. කලින් ආබාධවලට ලක්වුණ අවස්ථාවල දී සති දෙකක් හෝ මාසයකින් වගේ මම සුවය ලැබුවා. නමුත් මේක ඊට වඩා අපහසු වුනා. ඒක ගොඩක් වේදනාකාරීයි.”

වැඩිදුරටත් අදහස් දක්වමින් අසේල පැවසීය.

අසේල, ඇන්ජෙලෝ මැතිව්ස් සහ නිරෝෂන් දික්වැල්ලගෙන් පසුව අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි අතර ඒ අනුව අවසන් පන්දුවාර කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වේගවත් ඉනිමක දායකත්වය සැපයීමට ඔහු සමත් වනු ඇත.

“මෙහේ තණතිල්ල වේගපන්දු යවන්නන්ට වාසි දායක වෙයි. සාමාන්‍යයෙන් මම දඟපන්දු යවන්නන් හමුවේ හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් අභියෝගය තමයි ඔවුන්ගේ වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන එක. කෙසේ නමුත් මේ වන විට අපේ සූදානම හොඳ මට්ටමක තියෙනවා. අපි බලමු තරගයේ දී අපි කොහොම ක්‍රීඩා කරයි ද කියලා.”

එමෙන්ම අසේල පිටදඟ පන්දු යවන්නෙක් ලෙස ලබාදෙන දායකත්වය ද ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත. පසුගිය මාස කිහිපය තුළ එහි අඩුව හොඳින් දැකගත හැකි විය.

“මම පන්දු යැවීම ආරම්භ කළේ පිතිකරණය ආරම්භ කරන්න ගොඩක් කලින්. ආබාධය ඇතිවුණේ මගේ වම් අතේ නිසා දකුණු අතින් පන්දු යවන එක ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි පසුගිය කාලයේ දී ගොඩක් තරග පරාජයට පත්වුණා. අපි ඒ තත්වයෙන් ඉදිරියට පැමිණිය යුතුයි. දැන් අපිට අලුත් නායකයෙක් සිටිනවා. හැමෝම හැකි උපරිමයෙන් ඔහුට සහයෝගය ලබා දෙනවා. කොහොම වුනත් අනිවාර්යයෙන් ඉන්දියාව අපිට ලොකු අභියෝගයක්. ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් හැමවෙලේම ඔවුන් පසුපස සිටියි වගේම ලොකු ඝෝෂාවකුත් ක්‍රීඩාංගණයේ තියෙයි. ඒ නිසා ඉරිදා තරගයේ දී හොඳ වාතාවරණයක් තියේවි.”

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<