ලොව වේගය සම්බන්ධ පුරාවෘත්තයන් රාශියක් ඇත. ලැම්බෝගිනි, ෆෙරාරි මෝටර් රථ, කොන්කෝඩ් යානා, ජෙට්ස්කි, බුලට් ට්‍රේන් ආදී වේගවත් නිර්මාණ අතර උසේන් බෝල්ට් නම් පුරාවෘත්තයක්ද හමුවේ. උසේන් බෝල්ට් යනු කවුරුන්ද?

ඔහු මනුෂ්‍යයෙකුට ධාවනය කළ හැකි වේගවත්ම සීමාව පසුකළ පුදුමාකාර යන්ත්‍රයකි. වේගවත් ජාන උපතින්ම උරුම කරගත් ශක්තිමත් ජැමෙයිකානු ජාතිකයෙකු වූ බෝල්ට්, ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් දැක්වූවේ මලල ක්‍රීඩකයෙකු වන්නට පෙර සිටම යි.

ළමා අවධියේදීත් දඟයෙක්…

Photo Courtesy - Telegraph.co.uk
Photo Courtesy – Telegraph.co.uk

උසේන් සෙන්ට් ලියෝ බෝල්ට් 1986 වර්ෂයේදී උපත ලද්දේ වෙලෙස්ලි බෝල්ට් සහ ජෙනිෆර් බෝල්ට් යන දෙපලට දාව ය. අධ්‍යාපන දස්කම් ඉක්මවූ ශාරීරික ශක්තියෙන් හෙබි සෑම ජැමෙයිකානුවෙකු මෙන්ම ඔහුද වීදියේ ක්‍රීඩා කිරීම විනෝදාංශයක් ලෙස සැලකූ තවත් එක් සිහින මවන්නෙකි. එහෙත් ඒ සිහින කෙදිනක හෝ සැබෑවනු ඇතැයි ඔහු කුඩා කාලයේදී ඔහුගේ ප්‍රදේශවාසීන්, මිතුරන් තියා දෙමාපියන්වත්  නොසිතන්නට ඇත.

ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාවන් වූයේ ක්‍රිකට් සහ පාපන්දු යි. එහෙත් වයස අවුරුදු 12 ඉක්මවද්දී තම පාසලේ වේගවත්ම සිසුවා වන්නට බෝල්ට් සමත් වුනේ ජැමෙයිකානු ප්‍රාථමික ජාතික ක්‍රීඩා උළෙලවල්ද නියෝජනය කරමිනි.

ශ්‍රී ලාංකිකයන් මෙන්ම දූපත් වාසීන් පිරිසක් වන ජැමෙයිකානුවන් නිසඟයෙන්ම ඇදීයන ක්‍රිකට් ක්‍රීඩාව වැළඳගත් බෝල්ට් පසුව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය. එහෙත් ඔහු පන්දුව පසුපස හඹායන විටත් පිටිය පුරා දිවයන විටත් ඔහුගේ ක්‍රිකට් පුහුණුකරුට ඔහුගෙන් දිස්වූයේ වේගවත් මලල ක්‍රීඩකයෙකි. බෝල්ට් තුළ සැඟව සිටි මලල ක්‍රීඩකයාව මැනවින් හඳුනාගත් ඔහුගේ ක්‍රිකට් පුහුණුකරුවා ඉන්පසුව ඔහුව යොමු කළේ ඔලිම්පික් වර්ණලාභී ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වූ පැබ්ලෝ මැක්නීල් වෙතයි.

Photo Courtesy - yimg.com - පැබ්ලෝ මැක්නීල් (දකුණේ)
Photo Courtesy – yimg.com – පැබ්ලෝ මැක්නීල් (දකුණේ)

කුඩා කල සිටම බෝල්ට්ගෙන් දිස්වූයේ නිදහස් දරුවෙකි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වශයෙන් තම ජවය පෙන්වීමට අමතරව ප්‍රදර්ශනාත්මක දස්කම් දැක්වීමට ඔහුට හැකිවන්නේ කුඩා කල ඔහු සතුවූ ඒ “නිදහස් ළමාකම” හේතුවෙනුයි. පැබ්ලෝට අමතරව ඩ්වේන් ජැරට්ද බෝල්ට්ගේ මලල ක්‍රීඩා දස්කම් ඔප්නන්වන්නට ඔහුව උනන්දු කළේය.

පුහුණුකරුවන් දෙදෙනාගේම සහයෙන් උසේන් බෝල්ට් දිනාගත් පළමු දේශීය පදක්කම වූයේ ජැමෙයිකානු උසස් පාසල් ශූරතාවලියේ මීටර 200 රිදී පදක්කමයි. එහෙත් බෝල්ට්ගේ උනන්දුව සහ කැපවීම මඳකමත්, නිතර විහිළු තහළුවෙන් පසුවීමත් යන කරුණුවලට ඔහුගේ පුහුණුකරු පැබ්ලෝ එතරම් කැමැත්තක් පළකළේ නැත.

පියවරෙන් පියවර ජාත්‍යන්තර තලයට පියනැගුවත් පැබ්ලෝ දුටු පරිදිම බෝල්ට්ගේ උනන්දුව සහ කැපවීම මඳකම නිසා ජයග්‍රහණයේ බැම්ම ඉක්මවා යාම අපහසු විය. 2001 වසරේ යොවුන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කළ බෝල්ට් එහි අවසන් තරගයට පවා සුදුසුකම් නොලැබීය. එසේ තිබියදීත් බෝල්ට්ගේ සැහැල්ලු ජීවිතය නොවෙනස් වූ අතර කැරීබියානු දූපත් අතර මලල ක්‍රීඩා ශූරතාවලියේදී සිදුවූ රසවත් සිදුවීමකින් ඔහුගේ සැහැල්ලුභාවය තවදුරටත් පැහැදිලි වේ.

තම ධාවන ඉසව්වට (මීටර 200) සහභාගී වීම සඳහා සූදානම් විය යුතුව තිබියදී බෝල්ට් විසින් කරන ලද්දේ අනෙකකි. වෑන් රථයක පිටුපස සැඟවී කොලොප්පමක් සිදුකිරීමට ගොස් පොලිස් භාරයේ පසුවීමට උසේන් බෝල්ට් හට සිදුවිය. ඊට ජැමෙයිකානු මලල ක්‍රීඩා ප්‍රජාවගෙන්ම දොස් ලබන්නට සිදුවූයේ පුහුණුකරු මැක්නීල්ට යි.

Photo Courtesy - TIME dotCom
Photo Courtesy – TIME dotCom

එම සිද්ධියෙන් පසුව තම මනස ස්ථාවරව පවත්වා ගනිමින් මීටර 200 සහ මීටර 400 අවසන් මහා තරගවලට සහභාගී වූ බෝල්ට් විවේචකයන්ට නිසි පිළිතුරු ලබා දුන්නේ තරගාවලි වාර්තා දෙකම අලුත් කරමිනි. ඒ වන විටත් යොවුන් ක්‍රීඩකයෙකු වූ බෝල්ට්, මධ්‍යම ඇමරිකානු සහ කැරීබියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී නැවතත් තම මීටර 200 පෞද්ගලික වාර්තාව තත්පර 20.61ක් දක්වා කෙටිකරගත් අතර මීටර 400 වාර්තාව තත්පර 47.12ක් දක්වා කෙටි කරගත්තේය. ඒ 2002 වසරේදී යි.

යොවුන් බෝල්ට් ලෝක මට්ටමට…

Photo Courtesy - newsapi.com.au
Photo Courtesy – newsapi.com.au

2002 යොවුන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 15ක ක්‍රීඩකයෙකු වශයෙන් මීටර 200 ඉසව්ව ජය ගත් බෝල්ට්, යොවුන් ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනාගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය. 2003 කැරීබියානු මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් හතරක් දිනාගත් මේ යොවුන් ධාවකයා, “ඔස්ටින් සීලි”, එසේත් නැතිනම් “තරගාවලියේ වඩාත් කැපීපෙනෙන මලල ක්‍රීඩකයා”ට හිමි සම්මානයද දිනා ගැනීමට සමත් විය.

2003 ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී නැවතත් තත්පර 20.40ක තරගාවලි වාර්තාවක් සමඟින් තමන්ටම අභියෝග කරගනිමින් “වසරේ නැගී එන මලල ක්‍රීඩකයා”ට හිමි සම්මානයද ඔහු විසින් අත්පත් කරගත්තේය. එතැන් සිට ඔහුගේ ධාවනයේ නැවතීමක් දක්නට නොලැබුණි.

යොවුන් අවධියේදීම ලෝක ශූර මලල ක්‍රීඩකයෙකු වූ මයිකල් ජොන්සන් ආදී ක්‍රීඩකයන්ගේ අවධානයට ඔහු ලක්වූ අතර ජොන්සන් වරෙක පවසා තිබුණේ, “දැන් බලන්නට තිබෙන්නේ ඔහු මීළඟ අවුරුදු 3, 4, 5 දී කරන්නේ මොනවාද කියා”යි. වැටුණු තැනින් නැගිට ධාවනයේ යෙදෙන මේ තරුණ ධාවකයා කෙමෙන් වෘත්තීය මට්ටමට ළඟාවූයේ 2004 සහ 2005 වර්ෂවලදී යි.

ග්ලෙන් මිල්ස් සමඟින් වෘත්තීය මට්ටමට…

Photo Courtesy - iaaf.org - ග්ලෙන් මිල්ස් (වමේ)
Photo Courtesy – iaaf.org – ග්ලෙන් මිල්ස් (වමේ)

2004 වසර අවසානයේදී, ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලවල්වලදී පදක්කම් 71ක් සහ ඔලිම්පික් පදක්කම් 33ක් ලබා ගන්නට “කිංග්ස්ටන් නුවර ධාවකයන්ගේ සමාජයේ” ක්‍රීඩකයන් මෙහෙයවූ ග්ලෙන් මිල්ස් නම් දැවැන්ත පුහුණුකරුවා ඔහුට මුණගැසිනි. සියල්ල සිදුවූවාට වඩා වේගයෙන් සිදුවන්නට පටන්ගැනුණේ ඉන් පසුවයි.

මිල්ස්, කුඩා කල මලල ක්‍රීඩාවට ඇලුම් කළ අයෙක් වූවත් ඔහුගේ වේගය ඊට නුසුදුසු වීම නිසා මලල ක්‍රීඩකයෙකු වීමේ අවස්ථාව මඟහැරුණු අයෙකි. එහෙත් මලල ක්‍රීඩාව සම්බන්ධ සුළු රැකියාවන් පවා කරමින් මලල ක්‍රීඩාවෙන් ඈත් නොවූ ඔහුට දක්ෂ පුහුණුකරුවෙකු වන්නට අවශ්‍ය සෑම සුදුසුකමක්ම තිබිණි.

2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේදී සුදුසුකම් ලැබීමේ වටයෙන්ම ඉවත් වූ, හැකියාවෙන් පරිපූර්ණ, එහෙත් තරුණයෙකු ලෙස හොඳ – නරක දෙක අතර කරකැවෙමින් සිටි බෝල්ට් හට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ ධනාත්මක ආකල්ප ලබා දෙමින් මිල්ස් ඔහුව ලෝක මට්ටමට සූදානම් කළේය.  කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියකදී පරාජිත තවත් දරුවෙකු ලෝක මලල ක්‍රීඩාවේ ශූරයෙකු කරන්නට මිල්ස් සමත්ව තිබේ. ඒ අපට අලුත් නමක් නොවන ඔලිම්පික් පදක්කම්ලාභී අසාෆා පවෙල් ය.

ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක දුටු සැණින් ඔහුට හෝ ඇයට දියයුත්තේ කුමන අවවාද දැයි ඉක්මනින් වටහාගත හැකි මිල්ස්ට වේගය උපතින්ම උරුම කරගත් උසේන් බෝල්ට් හට ලබාදීමට තිබුණේ කැපවීම ගැන මානසික තල්ලුවක් පමණි. ඉහත සඳහන් කළ පදක්කම් 104න් 19ක්ම බෝල්ට් විසින් ලබාගත් පදක්කම් වන්නේ මිල්ස්ගෙන් ලැබුණු සාර්ථක උපදේශනය නිසයි. බෝල්ට්ගේ චරිතවත් බව රැකගැනීම සඳහා මිල්ස් විසින් ලැබුණු තල්ලුව ඔහුගේ පදක්කම් සියල්ලෙහිම ලියවී ඇත.

“ඔහු සෑමවිටකම මාව සූදානම් කිරීමට විදියක් සොයා ගත්තා. ඔහු ඒක කොහොම කරනවද කියලා මමවත් දන්නේ නැහැ.” බෝල්ට් තම පුහුණුකරු ගැන සිහිපත් කරන්නේ එලෙසින්.

ලෝක ශූරතාව ළඟට ගොස් අහිමි වීම…

(Photo by Alexander Hassenstein/Getty Images)
(Photo by Alexander Hassenstein/Getty Images)

කනිෂ්ඨ ක්‍රීඩකයෙකු වශයෙන් මීටර 200 ඉසව්ව තත්පර 20ට අඩුකාලයකින්  කළ ලොව පළමුවැන්නා බවට පත්වූ බෝල්ට් 2005 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ අවසන් තරගයේදී ආබාධයක් හේතුවෙන් අවසන් ස්ථානයට පත්විය. ඒ ලෝක ශූරතා මීටර 200 අවසන් තරගයකට සහභාගී වූ ළාබාලතම ක්‍රීඩකයා ලෙසයි. පරාජයෙන් පසුගාමී නොවූ ඔහු පුහුණුවීම්වල යෙදී සිටියදී රිය අනතුරකට මුහුණ පෑවේය. කෙසේ හෝ සුළු තුවාල සුව වීමෙන් පසුව යළිත් පුහුණුවීම් වල නිරත වූ බෝල්ට් 2005 වර්ෂයේදී මීටර 200 ඉසව්වේ ලොව පළමු පස්දෙනා අතරට පැමිණියේය.

2006 මෙල්බර්න් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහාද සහභාගී වීමේ අවස්ථාව ඔහුට මඟහැරී යන්නේ පාදයේ මාංශ පේශියක් ඉරීයාම හේතුවෙනුයි. ඔහුගේ තත්වය මැනවින් වටහාගත් පුහුණුකරු මිල්ස් නවීන සහ වෙනස් පුහුණු උපක්‍රම භාවිත කරමින් බෝල්ට්ව සවිමත් කළ අතර මිල්ස්ගේ අරමුණ වූයේ නැවතත් ඔහුව මීටර 400 තරගය සඳහාද සහභාගී කරවීමටයි. නමුත් ඊට අකමැති වූ බෝල්ට් මීටර 100 ඉසව්වට තමාගේ කැමැත්ත ප්‍රකාශ කළේය.

ඉන් පසු කෙටි කාලයක් ගතවූ නමුත් මීටර 200 ඉසව්වෙන් ලෝක මට්ටමේ රන් පදක්කමක් දිනා ගැනීම බෝල්ට් හට පහසු වූයේ නැත. මීටර 100 ඉසව්ව සඳහා සහභාගී වීමේ බෝල්ට්ගේ කැමැත්තට ග්ලෙන් මිල්ස් ඉඩ ලබා දෙන්නේ ඉන් පසුවයි.

වෙනසක් සමඟින් මුදුනටම…

Photo Courtesy - wpengine.netdna-cdn.com
Photo Courtesy – wpengine.netdna-cdn.com

තම පළමු මීටර 100 ප්‍රමුඛ පෙළ තරගයේදීම තත්පර 10.03ක පෞද්ගලික කාලයක් වාර්තා කරන්නට බෝල්ට් සමත් විය. 2007 ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේදී ඇමරිකානු ජාතික ටයිසන් ගේ හට පමණක් දෙවැනි වෙමින් මීටර් 100 රිදී පදක්කම දිනා ගැනීමට බෝල්ට් සමත් විය.

2008 මැයි 31 වැනිදා විශේෂ දිනයකි. එදින නිව්යෝක් හිදී පැවති ගෝන් ප්‍රී තරගාවලියේ මීටර 100 අවසන් තරගයේදී උසේන් බෝල්ට් විසින් එහි ලෝක වාර්තාව බිඳවැටුණි. ඉන් පෙර එම වාර්තාව සතුවූයේද ග්ලෙන් මිල්ස්ගේ ශිෂ්‍යයෙකු වූ අසාෆා පවෙල් සතුවයි. තත්පර 9.74ක වාර්තාව දශම දෙකකින් බිඳ හෙලූ බෝල්ට් හට ඉන්පසුව අභියෝගයකට තිබුණේ තමාවම පමණි. මීටර 200 ඉසව්වේදී බෝල්ට්ගේ පරම ප්‍රතිවාදියා වූ ටයිසන් ගේ මෙහිදී දෙවන ස්ථානය දිනාගත් අතර තරගයෙන් අනතුරුව ඔහු පවසා සිටියේ,

“ඔහුගේ (බෝල්ට්) දණහිස් මගේ හිස මට්ටම තෙක් එසවෙනවා වගෙයි මට පෙනුනේ” යනුවෙන්.

2008 ගිම්හාන ඔලිම්පික් උළෙලේදී තම මීටර 100 වාර්තාව යළි අලුත් කරන්නට ඔහු සමත් වූයේ තත්පර 9.69කින් එය අවසන් කරමිනි. එය එතෙක් ලෝකයා දැක තිබූ වේගවත්ම කෙටිදුර ධාවනයයි. බෝල්ට් ඉන් නැවතුණේ නැත. ඊට මීටර 200 රන් පදක්කමද එකතුකරගත් ඔහු මීටර 200 ලෝක වාර්තාවද තත්පර 19.30ක් ලෙසින් තමා සතුකරගත්තේය. ඒ ඔහුගේ 22 වන උපන් දිනයේදීයි.

ඔහු හා එක්වූ ජැමෙයිකානු මීටර 100 සහය දිවීමේ කණ්ඩායම (අසාෆා පවෙල්, නෙස්ටා කාටර්, මයිකල් ෆ්‍රේටර්) තත්පර 37.10ක ලෝක වාර්තාවකින් අවසන් තරගය අවසන් කළේ 2008 දී සැබෑ ඔලිම්පික් සැණකෙළියක අසිරිය නරඹන්නන් හමුවේ තබමින්. ඉන් උපයාගත් තරග මුදල් වලින් ඇමරිකානු ඩොලර් 50,000ක් චීනයේ සීචුආන් භූමිකම්පාවෙන් අනතුරට පත් දරුවන් වෙනුවෙන් පුදකළ බෝල්ට් තරගාවලිය අවසන් කළේ ස්ථාවර ක්‍රීඩා ප්‍රතිරූපයක අගයද ලොවට කියාපාමිනි.

තත්පර 9.58

2009 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී “ලොව මෙතෙක් පහළ වූ වේගවත්ම මිනිසා” නම් විරුදාවලිය තමන් සතු කරගන්නට බෝල්ට් සමත් වුණේ මීටර 100 ඉසව්ව තත්පර 9.58කින් නිම කරමින්. ඉන් නොනැවතී මීටර 200 ඉසව්වද තත්පර 19.19කින් අවසන් කරමින් කෙටිදුර ඉසව් දෙකේම ලෝක වාර්තාවන් අලුත් කිරීමට උසේන් බෝල්ට් සමත්වුණේ අමතක නොවන අත්දැකීමක් අප හමුවේ තබමින්. කුඩාකල සිටම ඔහුගේ සැමරුම් චාරිත්‍රය වූ “බෝල්ට් සැමරුම” එම අවස්ථාවේ ඔහු විසින් දක්වන විට ලොව පුරා නරඹන්නන් ප්‍රීතියෙන් උද්දාමයට පත්විය.

Photo Courtesy - newsapi.com.au - බෝල්ට් සැමරුම
Photo Courtesy – newsapi.com.au – බෝල්ට් සැමරුම

ආධිපත්‍යය…

පසුව පැවති සෑම ලෝක ශූරතා තරගාවලියකදීම මීටර 100 සහ 200 ඉසව් තමා නමට සටහන් කරගත් බෝල්ට් හට ප්‍රතිවාදියෙකු සෙවීම කළ නොහැක්කක් ලෙසයි දිස්වුණේ. එය ඇතැම් විට ඔහුටම අවාසියක් වූ බව සටහන් කළ හැක්කේ පැහැදිලි ප්‍රතිවාදියෙකු සමඟින් ධාවකයෙකුගේ හොඳම දස්කම් එළිවන බැවින්. එහෙත් ඖෂධයක් භාවිත කිරීම නිසා තහනම් උත්තේජක චෝදනාවට ලක්වූ ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින් ඒ වන විටත් නිශ්ශබ්දව පුහුණුවෙමින් සිටියේය.

2011 ලෝක ශූරතාවය ඔහුට ආරම්භය අසාර්ථක වීමෙන් අහිමි විය. එහෙත් බෝල්ට් සැලුණේ නැත. 2012 ඔලිම්පික් උළෙලට සහභාගී වෙමින් තම වේගය වැඩි මිස අඩු නොවන බව ඔහු ප්‍රදර්ශනය කළේ මීටර 100 ඉසව්ව තත්පර 9.63ක් තුළ අවසන් කරමිනි. සුපුරුදු පරිදි මීටර 200 ඉසව්වද ඔහු සතු විය. ඇමරිකානු ජාතික කාල් ලුවිස් 1988දී සිදුකළායින් පසුව ඔලිම්පික් මීටර 100 පදක්කමක් දෙවන වරටත් රැකගත් එකම ක්‍රීඩකයා උසේන් බෝල්ට් ය.

Photo Courtesy - japantimes.co.jp
Photo Courtesy – japantimes.co.jp

2013 වන විට වසර 6ක් තුළ 5 වැනි වතාවටත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් පිරිනමන “ලොව දක්ෂතම මලල ක්‍රීඩකයා”නම් සම්මානය දිනා ගැනීමට බෝල්ට් සමත්ව තිබුණි.

එහෙත් 2013 ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ගැට්ලින් තත්පර දශම 1කින් බෝල්ට් පසුකොට මීටර 100 ශූරතාවය තමන් සතුකරගත්තේය. ඒ තත්පර 9.94ක් ලෙසයි. 2015 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 අවසන් පූර්ව තරගය වන විටද ගැට්ලින්, බෝල්ට් හට ප්‍රබල අභියෝගයක්ව තිබිණි. එහෙත් සියලු සැකසංකා දුරලමින් මීටර 100 අවසන් තරගයේ ජය ලබා ගන්නට බෝල්ට් සමත් විය.

2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ 2015 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උළෙල අත්හරින්නට බෝල්ට් හට සිදුවූයේ වරින් වර පැනනැගෙන පාදයේ ආබාධ තත්වය හේතුවෙන්. 2016 රියෝ ඔලිම්පික් උළෙල ඇරඹෙන්නේ තත්වය මේ අයුරින් තිබියදීයි. එහිදීද තම සුපුරුදු දක්ෂතා සමඟින් මීටර 100 සහ 200 ඉසව් දෙකේම අයිතිය තහවුරු කරගන්නට බෝල්ට් සමත් වූයේ එවැන්නක් සිදු කළ ලොව පළමුවැන්නා වෙමිනි. කෙසේ වෙතත් කෙටිදුර ධාවකයෙකුගේ හොඳම කාලය අවසන් වෙමින් පැවති බව 29 හැවිරිදි ඔහුටම දැනෙන කාලය පැමිණ තිබිණි. ඒ වන විටත් 2017 ලෝක මලල ක්‍රීඩා උළෙලේදී තමන් ක්‍රීඩාවට සමුදෙන බව බෝල්ට් විසින් දැනුම් දී තිබිණි.

පුරාවෘත්තයේ අවසානයට…

2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය එළඹුණි. මීටර 100 ධාවන ඉසව්වේ මූලික තරගවලදී බෝල්ට්ගෙන් දිස්වූයේ සුපුරුදු ආධිපත්‍ය පතුරුවන ධාවනයන් නොවේ. අවසන් පූර්ව තරගයද එළඹිණි. එහිදී ඇමරිකානු තරුණ ධාවකයෙකු වූ ක්‍රිස්ටියන් කෝල්මන් අතින් තත්පර දශමයකින් පරාජය වීමට බෝල්ට් හට සිදුවුනත් අවසන් තරගයේදී ඔහු ජයගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය.

“ලොව වේගවත්ම මිනිසා” අවසන් වරට තම දස්කම් දක්වන ආකාරය නරඹන්නට ලන්ඩන් නුවරට රැස්වූ ප්‍රේක්ෂකයන් මෙන්ම ලොව පුරා සජීව ලෙස තරගය නරඹන්නටද ලක්ෂ ගණනින් ප්‍රේක්ෂකයන් එක්විය. ඒ 2017 ලෝක ශූරතා මීටර 100 අවසන් තරගය යි.

තරගය ඇරඹුණේ බෝල්ට්ගේ ආරම්භය මඳක් පමාවූ බව නරඹන්නන් සියලුදෙනාටම ප්‍රදර්ශනය වෙමින්. එහෙත් තත්පර 9.94ක් පුරාවටම ඔවුන්ගේ පැතුම වූයේ කුමන හෝ මොහොතක බෝල්ට් ඉදිරියට එනු ඇති බවයි. “ලොව වේගවත්ම මිනිසා” ආරම්භයේ පමාවෙන් මීටර 10ක් පමණ අත්හැරුණු පසුවත් රන් පදක්කම දිනාගනු ඇති බවයි නරඹන්නන් විශ්වාස කළේ. එහෙත් තරග ප්‍රතිඵල ලැබෙන විට ගැට්ලින් රන් පදක්කමත්, කෝල්මන් රිදී පදක්කමත්, බෝල්ට් ලෝකඩ පදක්කමත් දිනා තිබිණි.

REUTERS/Matthew Childs - RTS1AJUP
REUTERS/Matthew Childs – RTS1AJUP

ලෝක මලල ක්‍රීඩාව නැවතත් ගමින් ගම, දොරින් දොර කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්කළ මේ විදුලි වේග මිනිසා පැතූ අවසානය එය නොවේ. සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ පැතුම වූයේද එය නොවේ. එහෙත් සියල්ල අනෙක් අතට සිදුවිය.

ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු සියල්ල අත්හැර දැමීමට සූදානම් නොවීය. මීටර 100 සහාය දිවීමේ ඉසව්වට බෝල්ට් සහභාගී වන බව දැනගන්නට ලැබිණි. නැවතත් ප්‍රේක්ෂක උද්‍යෝගය බෝල්ට්ගේ වේගයෙන්ම ඉහළ නැගුණි.

මෙතෙක් ලොව කිසිවෙකු නොදුටු වේගයක් මලල ක්‍රීඩා වේදිකාවට ගෙන ආ බෝල්ට් රැඳී සිටියේ අවසන් යෂ්ටි හුවමාරුව සිදුකෙරෙන ස්ථානයේ යි. තරගය ආරම්භ විය. ජැමෙයිකානුවන්, මහා බ්‍රිතානුවන් සහ ඇමරිකානුවන් අතර දැඩි සටනක් පවතිද්දී අවසන් යෂ්ටි හුවමාරුව තෙක් තරගය ඇදී ආවේය.

බෝල්ට් හට යෂ්ටිය ලැබෙන විට ජැමෙයිකානුවන් රැඳුණේ තෙවන ස්ථානයේ යි. එහෙත් බෝල්ට් රැඳී සිටි අවසන් අදියර තරගයේ තීරණාත්මක අදියර විය. ලොව වේගවත්ම ධාවන වාර්තාවලින් තමාටම අභියෝග කළ ලෝක ශූරයා සියල්ලන්ම පැතූ අවසානය කරා ළඟාවෙනු ඇතැයි ප්‍රේක්ෂකයන් දෑස් දල්වා බලා සිටියේය.

එහෙත් සිදුවූයේ අනෙකකි. මීටර 30ක් පමණ තරග කළ බෝල්ට් එක්වරම තම කලව එක් අතකින් අල්ලා ගනිමින් බිම ඇදවැටිණි. ඔහුගේ ආබාධය යළි ඇතිවී තිබුණේ දැඩි වේදනාවක්ද සමඟයි. ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනයාට දරාගන්නට සිදුවූයේ ඊට වැඩි වේදනාවක් බව විශේෂයෙන් සටහන් කළ යුතු නැත.

ආචාරය…

මීටර 100ක කෙටිදුරක් තුළදී පසුපසින් එන ක්‍රීඩකයන් හා සිනාසෙමින්, නරඹන්නන් හටද සිනාසෙමින්, කාල ගණන යන්ත්‍රයද ඉලක්ක කරමින්, තමන්ටම අභියෝග කරමින් ධාවනයේ යෙදෙන බෝල්ට් නැවත අපට දක්නට නොලැබෙනු ඇත. ඔහුගේ විශේෂිත සැමරුම් යළි මලල ක්‍රීඩා පිටිය මත ප්‍රදර්ශනය නොවනු ඇත. අකුණක වේගයෙන් ආරම්භයේ සිට අවසානය තෙක් විද යන ඔහුව අපට නැවත දක්නට නොලැබෙනු ඇත.

එහෙත් බෝල්ට් වේදනාවෙන් බිම ඇදවැටෙන විට කඩාහැලුණු සිත් ඔහු ප්‍රේක්ෂකයන්ට ආචාර කරන විට නැගී සිටියේය. වසර 10කට වැඩි අතීත ධාවන මතක සටහන් සිත්තුළ දරාගෙන නැගී සිටි ලෝක වාසී ප්‍රේක්ෂකයන් මේ විදුලි වේග පුරාවෘත්තයට පිටියෙන් සමුදුන්නේ ගෞරවාන්විතවයි.

ඒ සියල්ලටම වඩා ඔහුගේ පරම ප්‍රතිවාදියා වූ ජස්ටින් ගැට්ලින් නම් වත්මන් ලෝක ශූරයා, තම සියලු මාන්නයන් අමතක කොට දමා බෝල්ට් හට දැක්විය යුතුව තිබූ උතුම්ම ගෞරවය දැක්වූයේ මෙලෙසින්.

Photo Courtesy - twimg.com - ලෝක ශූර ජස්ටින් ගැට්ලින් (දකුණේ) උසේන් බෝල්ට් හට ගෞරව දක්වමින්.
Photo Courtesy – twimg.com – ලෝක ශූර ජස්ටින් ගැට්ලින් (දකුණේ) උසේන් බෝල්ට් හට ගෞරව දක්වමින්.

ලෝක මලල ක්‍රීඩාව යළි නගා සිටවූ උසේන් බෝල්ට්! එවන් පුරාවෘත්තයක් යළි පහළ වේවිද?

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න