වසර නවයකට පසු දසප්‍රයාම ඉසව්වෙන් පදක්කමක්

196
Thailan Athletic Meet

දසප්‍රයාම ඉසව්ව ශ්‍රී ලංකාවේ විධිමත්ව ආරම්භ කර වසර නවයකට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පළමුවරට එම ඉසව්වෙන් ජාත්‍යන්තර පදක්කමක් දිනා ගැනීමට ඊයේ (15) සමත් විය.

ඒ මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ අජිත් කුමාර කරුණාතිලක විසිනි. එහි දී ඔහු විසින් ලකුණු 6919ක් සමඟින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

තායිලන්තයේ දී අයේෂාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්‌

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්‌…

තවද දසප්‍රයාම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ද ඔහු සමත් විය. එම ඉසව්වේ මින්පෙර පැවති ශ්‍රී ලංකා වාර්තාවේ ද හිමිකාරිත්වය ලබා සිටි ඔහු එහි දී රැස් කර තිබුණේ ලකුණු 6837ක් පමණි.

කෙසේ වෙතත් ඔහුගේ පුහුණුකරු වූ රිටි පැනීමේ ශූරයෙකු වන රෝහිත ප්‍රනාන්දු මහතා හරහා අජිත් කරුණාතිලක රිටි පැනීම ද ප්‍රගුණ කළ අතර, මීටර් 4.70ක් ලෙස තම හොඳම උස වාර්තා කිරීමට සමත් වීම ද දසප්‍රයාම ඉසව්වේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය වැඩි කර ගැනීමට හේතු විය.

අජිත් කරුණාතිලක, අප්‍රේල් මස දියගම දී පැවති ජාතික තේරීම් තරගාවලියේ දී මෙම ඉසව්වට සහභාගී වෙමින් වාර්තා කළ ලකුණු ප්‍රමාණය 6884ක්.

දසප්‍රයාම ඉසව්වේ ඉතිහාසය වර්ෂ 1960 තෙක් විහිදී ගිය ද, විවිධ හේතූන් නිසා එම ඉසව්ව 1970 වසරේ සිට ශ්‍රී ලංකාවෙන් අභාවයට ගොස් තිබුණි. 1980 අගභාගයේ දී නැවතත් එම ඉසව්ව ශ්‍රී ලංකාවේ විධිමත්ව ආරම්භ කළ අතර ඉන් වසර නවයකට පසුව මෙම පදක්කම ශ්‍රී ලංකාවට හිමි වීම කැපී පෙනෙන සිදු වීමකි.

අජිත්ගේ මෙම වාර්තාවට පෙර තුන්පිම්ම කාන්තා ඉසව්වට සහභාගී වූ විදූෂා ලක්ෂානි මීටර් 13.43ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඇය දියගම දී පැවති පළමු ජාතික තේරීම් තරගාවලියේ දී මීටර් 13.64ක දුරක් වාර්තා කරමින් ඇගේම ශ්‍රී ලංකා වාර්තාව යළිත් අලුත් කරන්නට ද සමත් විය.

මෙවර තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කම් දිනා ගැනීමට නිලානි රත්නායක හා ධනුක ලියනපතිරණ සමත් විය. ඒ මීටර් 3000 බාධක දිවීම ඉසව්ව හා දුර පැනීම ඉසව්ව තුළිනි.

මෙම තරගාවලියේ දී දිනා ගත් එකම රන් පදක්කම මීටර් 400 ඉසව්ව ජය ගත් කාලිංග කුමාර විසින් දිනා ගත් අතර සමස්ත තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විසින් රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<