ටෙස්ට් නිල ජර්සි වෙනස සමඟ අළු බඳුන අලුත් වෙයි

1330
©Sportstar - The Hindu

ටෙස්ට් ක්‍රිකට් රටාවේ දී භාවිත කෙරෙන නිල ඇඳුම්වලට ක්‍රීඩකයන්ගේ නම් සහ අංක ඇතුළත් කිරීමේ තීරණය යථාර්ථයක් වී ඇති බව වාර්තා වනවා. එය එළඹෙන අගෝස්තු පළමු වැනිදා ඇරඹෙන අළු බඳුන තරගාවලියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

එංගලන්ත ටෙස්ට් වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ්, තමන්ගේ නම සහ අංකය සඳහන් නිල ජර්සිය ප්‍රසිද්ධියට පත්කොට තිබුණා. ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය තරග වදින සම්භාවනීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වන අළු බඳුන තරගාවලියේ දී මෙම වෙනස ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකිවනවා.

ස්ටුවර්ට් බ්‍රෝඩ් තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඡායාරූපයක් පළකරමින් මෙසේ සඳහන් කොට තිබුණා.

“ලෝඩ්ස්හිදී ටෙස්ට් ක්‍රිකට් තේජාන්විත වනු ඇති”

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩා ජනප්‍රිය කරවීම සඳහා ICCය විසින් ගනු ලබන පියවරක් ලෙස මෙය සඳහන් කළ හැකියි. ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදීත් නව පන්නයේ නිල ඇඳුම් භාවිත කිරීමට සූදානම්.

මේ අතර එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ජෝ රූට් තම නව නිල ජර්සිය පැලඳ සිටින ඡායාරූපයක් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල ට්විටර් ගිණුමෙන් ප්‍රසිද්ධ කොට තිබුණා. මෙම වසරේ මුල් භාගයේ සිටම මේ නිල ජර්සි වෙනස ගැන කතාබහක් නිර්මාණය වී තිබුණා.

ක්ෂණික නූඩ්ල්ස් මෙන් වූ T-20 තරග රටාව අතිශය ජනප්‍රිය වීමත් සමඟ සැබෑ ක්‍රිකට් ක්‍රීඩාව ලෙස සැලකිය හැකි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව යම් පසුබෑමකට ලක්වුනත්, මෙවැනි ජනප්‍රිය වෙනස්කම් මඟින් එය තවත් ජනප්‍රිය කිරීමට ICCය දරන වෑයම බැරෑරුම් ක්‍රිකට්ලෝලීන්ට නම් සතුටුදායක පුවතක් වනු නොඅනුමානයි.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<