2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල සංචිතයක්

385

ආසියානු කලාපය තුළ වයස අවුරුදු 18ට අඩු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන 2019 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය මෙම මස 15 වන දින සිට 17 වන දින දක්වා හොංකොං හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ඊයේ (12) දිවයිනෙන් පිටත්ව ගියේය.

ගිනිගත්හේනේ හා කොට්ටාවේ පොඩ්ඩෝ ශූරතා දිනති

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවලිය……

තරගාවලියේ සංවිධායකයින් තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉල්ලුම්පත් බාර ගැනීමේ අවසන් දිනය ඉදිරියට රැගෙන ඒමත් සමඟ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට (AASL) ඒ සඳහා පැවැත්වීමට නියමිතව තිබූ තේරීමේ තරග නියමිත දිනයට පෙර පැවැත්වීමට සිදු වූ අතර ඒ අනුව පසුගිය ජනවාරි මස 19 වැනිදා පැවති තේරීමේ තරග හරහා මෙම තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගන්නා ලදි.

එම තේරීමේ තරග නියමිත දිනයට පෙර පවත්වනු ලැබුවත් ඒ සඳහා සහභාගී වූ යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලාපොරොත්තු අභිබවමින් දක්‍ෂතා දැක්වීමට සමත් වූ අතර ඒ අනුව ආරම්භයේ දී මේ සඳහා වෙන්කර තිබූ ක්‍රීඩක 7ක කෝටාව වෙනුවට ක්‍රීඩකයින් 13 දෙනෙක් මේ සඳහා තෝරාගන්නට මලල ක්‍රීඩා සංගමයට සිදු විය.

මෙහි දී පැවැත්වෙන කේවල ඉසව්වලට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්තා හා පිරිමි තරග අංශ දෙකේම මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට ද සහභාගී වීමට නියමිත අතර එහි දී ඔවුන්ට පිළිවෙළින් මීටර 400, මීටර 300, මීටර 200 සහ මීටර 100 බැගින් සම්පූර්ණ කිරීමට සිදු වනු ඇත.

මලල ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ මැදි දුර ධාවන ශූර ශානිකා ලක්ෂානි හටයි. තරගාවලියේ දී මීටර 800 ඉසව්ව සඳහා සහභාගී වන ඇය තේරීමේ තරගවල දී එම ඉසව්ව මිනිත්තු 2:12.23ක කාලයක් වාර්තා කරගනිමින් අවසන් කරමින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර එම කාලය මේ වනවිට එම ඉසව්ව සඳහා ඇති ආසියානු යොවුන් වාර්තාවට ඉහළින් පැවතීම හේතුවෙන් ඇය මෙම තරගාවලියේ දී පදක්කමක් දිනා ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවනු ඇති බව නොඅනුමාන ය.   

​බාලක අංශයේ පෙරමුණ ගිනිගත්හේනට, බාලිකා අංශයේ පෙරමුණ මහනුවරට

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවලියේ …..

තේරීමේ තරගවල දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ලබා දී තිබූ අසීරු සුදුසුකම් ලබාගැනීමේ සීමාවන් එහි දී අභිබවා ගිය එකම ක්‍රීඩකයා වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව වේ. තේරීමේ තරගවල කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ දක්ෂතාවය මීටර 51.00ක් ලෙස සටහන්ව තිබිය දී මීටර 51.90ක දක්ෂතාවයක් දක්වමින් එය අභිබවා යන්නට මොහු සමත් විය.

කෙසේ නමුත් තේරීමේ තරගවල දී හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ලබා දී තිබූ සුදුසුකම් ලබා ගැනීමේ සීමාව අභිබවා යන්නට රුමේෂ් අසමත් වුවත් ඔහු මෙම තරගාවලියේ දී කවපෙත්ත විසිකිරීම සහ හෙල්ල විසිකිරීම යන ඉසව් දෙක සඳහාම සහභාගී වනු ඇත.

සදීපා හෙන්ඩර්සන් සහ මිලින්ද පෙරේරා මෙම තරගාවලියේ දී කාන්තා හා පිරිමි තරග අංශවල මීටර 100 සහ මීටර 200 ඉසව් වලට මෙන්ම එහි මිශ්‍ර සහාය දිවීමේ ඉසව් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇති බැවින් ඔවුන් දෙදෙනා මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කාර්යබහුලම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා වනු ඇත. මෙම සංචිතයේ සිටින අනෙක් කෙටි දුර ධාවන ඉසව් සඳහා ක්‍රීඩිකාව වන දිල්මි දහනායක මීටර 100 ඉසව්ව සහ මිශ්‍ර සහාය දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වනු ඇත.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂේන් පසුගිය කාලය පුරාවට කෙටි දුර ධාවන ඉසව් වලදී ඉහළ දක්‍ෂතා දැක්වීමට සමත් වුවත් ඔහුගේ කැපී පෙනෙන දක්‍ෂතා වාර්තා වූයේ දුර පැනීමේ ඉසව්වේ දී ය. ඒ අනුව තේරීමේ තරගවල දී මීටර 7.19ක දුරක් වාර්තා කර ගත් හිරුෂ මෙම තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වට අමතරව මිශ්‍ර සහාය දිවීමේ ඉසව්ව සඳහා ද සහභාගී වනු ඇත.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ඉසුරු අබේවර්ධන සහ නවිෂ්ක සන්දේශ් අතර මීටර 400 ධාවන ඉසව්ව සඳහා ඉතා උණුසුම් තරගයක් දැකබලා ගැනීමට හැකි වූ අතර එහි මූලික වටයේ තරගවල දී තත්පර 48.77ක හොඳ කාලයක් වාර්තා කරගන්නට ඉසුරු සමත් වුවත් එහි අවසන් තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ නවිෂ්ක විසිනි. කෙසේ නමුත් මොවුන් දෙදෙනාම මෙම තරගාවලියේ අවසන් තරගයට සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් තරගාවලියට එක්වනු ඇති අතර තවදුරටත් ඔවුන් දෙදෙනා මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට ද අතිශය වැදගත් වනු ඇත.

වයස් කාණ්ඩ පුරාවට කාවින්දි එදිරිසිංහ විසින් මීටර 400 ධාවන ඉසව්වේ දී අඛණ්ඩව දක්වා ඇති දක්‍ෂතා හේතුවෙන් ඇය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ නැඟී එන තරුවක් ලෙස සිය නම ස්ථාපිත කරගන්නට මේ වන  විට සමත් වී ඇත. තේරීමේ තරගවල දී තත්පර 56.88ක කාලයක් වාර්තා කර ගත් ඇය මෙම තරගාවලියේ දී මීටර 400 ඉසව්ව නියෝජනය කරන ඒක ක්‍රීඩිකාව වන අතර තවදුරටත් මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමට ද ඇගේ දායකත්වය අතිශය වැදගත් වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<