මලින්ද හා නවිෂ්කගෙන් සුපිරි දස්කම්; තවත් හතරක් ඉදිරියට

2019 යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය

171

තෙවැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද (15) හොංකොං හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට ආරම්භ විය. ඔලිම්පික් සිහිනය සිතේ දරාගෙන එන බොහෝමයක් තරුණ ක්‍රීඩකයන්ට මෙය ඉතාමත් වැදගත් අවස්ථාවකි.

යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ආරම්භක දිනයේ තරග 32ක් ක්‍රියාත්මක විය. එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරන තරග 4ක් පැවැත්විය. කෙසේ නමුත් තරගය ආරම්භ වූයේ අයහපත් කාලගුණ තත්වයක් මධ්‍යයේයි.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සිංහයින්ගේ කාලසටහන

යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (15) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30ට හොංකොං හිදී…

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී වූ ප්‍රථම තරගය පෙරවරු 9.10ට ආරම්භ වූයේ සදීපා හෙන්ඩසන්  ක්‍රීඩිකාව සහභාගී වූ 100M ප්‍රථම වටයේ තරගයෙනි. සදීපා 100M ප්‍රථම වටයේ තරගයෙන් සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. එහි දී ඇය විසින් තරගය නිමා කිරීමට ගත් කාලය තත්පර 12.38කි. නමුත් ඇයගේ හොඳම දක්ෂතාවය ලෙස සැලකෙන්නේ තත්පර 12.26ක කාලයකි.

අයහපත් කාලගුණ තත්වය නිසා ක්‍රීඩාංගණය තෙත ස්වභාවයක් ගෙන තිබීම බොහෝ ක්‍රීඩකයන්ට තම සුපුරුදු ක්‍රීඩා විලාශයට පැමිණීමට බාධාවක් විය. සදීපා මෙම තරගයෙන් පසු හෙට (16) පැවැත්වීමට නියමිත 100M අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.

>> සම්පූර්ණ තරග කාලසටහන සඳහා පිවිසෙන්න <<

හලාවත සාන්ත මරියා විද්‍යාලයෙන් තේරී පත්වූ නැගීඑන ධාවකයෙක් වන මලින්ද පෙරේරා සහභාගී වූ 100m ප්‍රථම වටයේ තරගයෙන් තත්පර 10.90ක කාලයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නට ඔහු සමත් විය. ඔහුගේ තරග ආරම්භය තරමක් මන්දගාමී ස්වභාවයක් ගත් නමුත් ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔහු සමත් විය.

​බාලක අංශයේ පෙරමුණ ගිනිගත්හේනට, බාලිකා අංශයේ පෙරමුණ මහනුවරට

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය අදත් (10) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී…

මධ්‍යහන කාලයේ පැවති තරග ඉසව්වල දී නාවල ජනාධිපති විද්‍යාලය නියෝජනය කරමින් තරග කළ කාවින්දි සංජනා 400m ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ තත්පර 59.17ක කාලයක් වාර්තා කරමිනි. ඇයගේ හොඳම දක්ෂතාවය ලෙස සැලකෙන්නේ තත්පර 56.88කි. කෙසේ නමුත් කාවින්දි ඇයගේ සුපුරුදු දක්ෂතා අතර නොසිටියත් හොඳම පරාජිතයා ලෙස ඊළඟ වටයට සුදුසුකම් ලබා ගත්තා ය.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නවිෂ්ක සන්දේශ් හා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු අබේවර්ධන පිරිමි 400m මූලික වටයේ තරගයට සහභාගී වූ අතර නවිෂ්ක එහි දී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.  මෙම ජයග්‍රහණයත් සමඟ නවිෂ්ක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර එම තරගය හෙට (16) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.25ට පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<