AK-47 සහ තලෙයිබාන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ

558
assettype.com

‘සටන්කරුවන් විසින් සතුටින් විඳින එකම දෙය ක්‍රීඩාව විය හැකි’ යැයි යුධ ප්‍රධානීන් කියයි. ඒ සටන් නොමැති කාලවල දී ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන්වරුන් විසින් පාලිත ගම්මානවල ප්‍රේක්ෂකයන් සිය ගණනින් ක්‍රිකට් තරග නැරඹීමට පැමිණීම හේතු කොටගෙන ය. එමෙන්ම ශීඝ්‍ර දියුණුවක් පෙන්වන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බවට ඔවුන් පත්වෙමින් තිබේ.

මම ක්‍රිකට්වලට ගොඩක් ප්‍රිය කරනවා” මෙසේ කියන මුල්ලා බදෘදීන්, නංගර්හාර් දිස්ත්‍රික්කයේ කොග්යානි නගරයේ තලෙයිබාන් කැරලි හමුදා ප්‍රධානියා ය. එම නගරය පාකිස්තාන දේශ සීමාවේ පිහිටා ඇත. එය පසුගිය ශීත ඍතුවේ දී කැරලිකරුවන් විසින් සාර්ථක ක්‍රිකට් තරගාවලියක් පවා සංවිධානය කෙරුණු ප්‍රදේශයකි.

ඇෆ්ගනිස්තානය වෙනත් කණ්ඩායම්වලට එරෙහිව ක්‍රීඩා කරද්දී අපි හරිම ආසාවෙන් රේඩියෝවට සවන් දෙනවා. අපි සමාජ ජාලා ඔස්සේ ලකුණු පරික්ෂා කරනවා වගේම තොරතුරු දාන අයව followත් කරනවා.” ඔහු රොයිටර් හමුවේ එසේ කියා ඇත්තේ දුරකථනයෙනි.

Video – දල ලකුණු වේගයට කලාව එක්කළ Youhana – Mohammad Yousuf 

19 වැනි ශතවර්ෂයේ ඇෆ්ගනිස්තානයේ රාජකාරි කළ බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් විසින් ක්‍රීඩා කරන්නට යෙදුණු ක්‍රිකට් ක්‍රීඩාව, 1980 සහ 90 දශක තුළ සිදු වූ සෝවියට් ආක්‍රමණයෙන් පසු පාකිස්තානයට සංක්‍රමණය වූ මිලියන 3කට අධික ඇෆ්ගනිස්තාන සරණාගතයන් විසින් පාකිස්තානයේ දී වැළඳ ගත් අතර නැගෙනහිර පළාත්වල වෙසෙන පෂ්ටූන් ජාතිකයන් අතර ද ජනප්‍රිය විය.

1980 දශකයේ දී පාකිස්තානයේ පේෂාවර් නගරයට තරමක් එපිටින් පිහිටි කාචාගරී නම් සරණාගත කඳවුර තුළ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් සමාජය ආරම්භ කිරීමට දායක වූ ටාජ් මලූක් ඛාන්, 1990 තලෙයිබාන් පාලන සමයේ දී ඇෆ්ගනිස්තානයට නැවත ගොස් එහි ක්‍රිකට් ජනප්‍රිය කරවීමට සමත් විය.

මුල් කාලීනව තලෙයිබාන් පාලනය විසින් ක්‍රිකට්, පාපන්දු වැනි ක්‍රීඩාවන් තහනම් කර තිබුණේ ක්‍රීඩාව නිසා මුස්ලිම්වරුන්ට යාච්ඤා මඟ හැරෙන බව පවසමිනි. හිටපු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හස්ති ගුල් විසින් මෙය පවසන නමුත් මෑත කාලීනව තලෙයිබාන්වරුන්ගේ එම නීති ලිහිල් වී තිබේ.

chinadailyhk.com – ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඇෆ්ගනිස්තානු දරුවෙක්.

එතැන් පටන් ඉස්ලාමීය අන්තවාදීන් වන IS ත්‍රස්තයන් විසින් ක්‍රිකට් තරග දෙකකට ප්‍රහාර එල්ල කළ අතර ජනතාවගෙන් යම් කාලයක් ඈත්ව තිබූ ඇෆ්ගනිස්තානයේ පාපන්දු ක්‍රීඩාව ත්‍රස්තයන්ගේ නවතම සතුරා වී තිබේ.

තරු වල බැබළීම

2017 දී ICCයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව තමන් සහභාගී වූ ටෙස්ට් තරගය ජයග්‍රහණය කරන්නට ද සමත් විය. නමුත් ඒ සියල්ලට වඩා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉදිරියට පැමිණ ඇත්තේ සීමිත පන්දුවාර තරගවල දී ය. රෂිඩ් ඛාන් සහ මොහොමඩ් නබි වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් IPL, Big Bash League වැනි තරගාවලිවල දී ද තම නම සටහන් කිරීමට සමත් වූ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් වේ.

2001 දී ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය පාලනය අවසන් වූ පසු කැරලිකරුවන් බවට පත්වූවන් ද මේ වන විට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වී තිබේ. ප්‍රධාන වශයෙන්ම පෂ්ටූන් කැරලිකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛ ප්‍රේක්ෂකයන් ය. ඊට තවත් හේතුවක් ඇත.

පාපන්දු ක්‍රීඩාව කොට කලිසම් හැඳ ක්‍රීඩා කෙරෙන ක්‍රීඩාවක් නිසා ඇතැම් මුස්ලිම් ජාතිකයන් ඊට එතරම් කැමැත්තක් නොදැක්වුවද, ක්‍රිකට් ක්‍රීඩාව දිග කලිසම් හා අත්දිග ජර්සි පැලඳ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාවක් නිසා එය ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම්වලට තරමක් සමාන කර ගත හැකිය. එය කෝටු කැබලි සහ පොලු ගෙන පන්දු හෝ කුඩා කෝටු කැබලි වලට පහර දෙන ඇෆ්ගනිස්තාන දරුවන් තුළින් ද මෙය දැකිය හැකිය.

espncdn.com – රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නබි.

හිටපු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩක කරීම් සාදික් පසුගිය වසරේ දී නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලන ප්‍රදේශවල සංචාරයක නිරත විය. ඔහු කියා සිටියේ සටන්කාමීන් තමන්ට වධ හිංසා පැමිණවූයේ ක්‍රිකට් ගැන සහ ඔවුන් කැමති ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන විමසීමෙන් බවයි. ඔහු විසින් ජංගම දුරකථනයෙන් රූගත කරන ලද දර්ශන වල තිබෙන පරිදි කැලෂ්නිකොව් රයිෆල් උර දරා ගත් තලෙයිබාන් සටන්කාමීන් උනන්දුවෙන් ක්‍රිකට් කණ්ඩායමේ ගුණාත්මක බව ගැන කතා බහ වන බවයි.

මම හැම ක්‍රීඩකයටම කැමතියි. ඒත් මගේ කැමතිම කෙනා රෂීඩ් ඛාන්.” එක් සටන්කරුවෙකු එසේ කියනු වීඩියෝවේ ඇත. IPL තරගාවලියේ දී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වන රෂීඩ් ඛාන් අද ලොවටම වීරයෙකි. “ඔහුගේ පන්දු යැවීම පුදුමාකාරයි” සටන්කරුවා කියයි.

thedailybeast.com – AK-47 රයිෆල් අතැති තලෙයිබාන් සටන්කරුවන්.

ලෝක කුසලාන සිහිනය

එළඹෙන මැයි 30 වැනිදා එංගලන්තයේ දී ඇරඹෙන ක්‍රිකට් ලෝක කුසලානය තුළ තම කණ්ඩායම දස්කම් දක්වනු ඇතැයි කෙදිනකටවත් වඩා ඔවුන්ට විශ්වාසයක් ඇත. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය නම් දැවැන්තයන් ඊට සහභාගී වුවද එය ගැටලුවක් නොවේ.

අපට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. මගෙ හීනය තමයි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලෝක කුසලානය අපේ රටට ගෙන ඒම.” නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් හි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හස්රාත් ගුල්, සුහද ක්‍රිකට් තරගයකට සූදානම් වන අතර කීවේය.

ඇමරිකානු බලධාරීන් සහ තලෙයිබාන් බලධාරීන් අතර සාම සාකච්ඡා නොකඩවා පැවැත්වේ. වසර 40කට වැඩි අර්බුදකාරී තත්වයන් පසෙකලා ඉදිරියට යෑම ගැන උනන්දුවෙන් සිටින ඇෆ්ගනිස්තාන රජයේ පැතුම් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම හා පවතියි. ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිට අනුව ඔවුන් “ජාතික වීරයන්”ය.

අර්බුදය තුළ අප්‍රකට වන ආදරණීය පුවත් ගැන සැලකුවහොත්, ක්‍රිකට් ක්‍රීඩකයන් පවසන්නේ තලෙයිබාන් සටන්කරුවන් විසින් දුරකථනයෙන් සහ සමාජ මාධ්‍යවලින් නොකඩවා තමන්ට සුබ පැතුම් එක්කරන බවයි. ඉන් පැහැදිලි වන්නේ ක්‍රීඩාව යනු බහුවිධ රාජ්‍යයක් වන ඇෆ්ගනිස්තානයේ ජනතාව ඒකරාශී කරන දැවැන්ත බලවේගයක් බවයි. කෙසේ නමුත් සියලු දෙනාම ක්‍රිකට් සහජීවනයට එකඟ නැත.

washingtonpost.com – ඇෆ්ගනිස්තානයේ මුර සංචාරවල නිරත වන ඇමරිකානු සෙබළු.

එක රටෙහි බෙදීම්

සුපරික්ෂාකාරීව බැලීමේ දී ඔවුන්ගේ රට තුළ ක්‍රීඩාවට ප්‍රචණ්ඩත්වය එක්වී ඇති බව කිව හැකිය. එය රටේ ජනතාවගේ මානසිකත්වය සහ ස්වභාවය පිළිබිඹු වන කැඩපතකි. ක්‍රිකට් තරග අතරතුර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර ද, තරග අතරතුර ඇතිවූ ගැටුම් ද තිබේ. දේශපාලකයන් විසින් අවුල් කරනු ලැබූ ආගමික මතවාද සහ ජාතිකත්වය ඔවුන්ගේ ජීවිතයේ සෑම ඉසව්වකටම උඩු දුවා ඇත.

උර්දු බස කතා කරන ටාජික් සහ හසාරාවරුන්ට අනුව ක්‍රිකට් යනු පෂ්ටූන්වරුන්ට අයත් ක්‍රීඩාවකි. පෂ්ටූන්වරුන් යනු ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ සෑම රජෙකුම බිහි කළ බහුතර ජාතියයි.

මට කිසි ආසාවකුත් නෑ, මං මොකුත් දන්නෙත් නෑ ක්‍රිකට් ගැන.” පර්වාන් නගරයේ වෙළඳ සේවකයෙකු වන අහමඩ් ජවාඩ් කියයි. ඔහු ටාජික්වරයෙකි. “ඒක පෂ්ටූන්ලා ගහන පෂ්ටූන්ලගේ ගේම් එකක්. ඉතින් එයාලම රස වින්දාවේ” ඔහු කියයි.

ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හිතවාදී පාලනය ඇරඹුණු කාලයේ දී උතුරු ප්‍රදේශය පාලනය කළ ටාජික් හමුදා ප්‍රධානීන්ගේ ක්‍රිකට් අකමැත්ත නිසා එම පළාතේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ක්‍රිකට් උගත්තේ පාකිස්තානයේ දී ය. “බලධාරීන් අපිට කිව්වා ක්‍රිකට් අමතක කරලා හමුදාවට එකතු වෙන්න කියලා.” එම පළාතේ ක්‍රීඩකයෙකු වූ හස්ති ගුල් එසේ කියයි. මුෂ්ටි සටනක් හේතුවෙන් 2005 වසරේ දී කාබුල් හිදී පැවැත්වෙන්නට නියමිතව තිබූ පළාත් ක්‍රිකට් තරගාවලිය අවලංගු වීම ගැන ද ඔහු සිහි කළේය.

සොයුරන්ගෙන් ගුටි කා මුළු ඉන්දියාවටම පහර දුන් නාවික සෙබළා

ලෝක ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක ………

එහෙත් IPL තරගාවලිය නැරඹීමට අවස්ථාව ලැබීමත්, ලෝක කුසලානය අත ළඟට පැමිණීමත් නිසා ජනතාව අතර ක්‍රිකට් පිළිබඳ තිබෙන උනන්දුව වර්ධනය වෙමින් තිබෙන බව ද ඔහු කියයි. ඇෆ්ගනිස්තානය නැංවීම වෙනුවෙන් වෙනත් කිසිදු දෙයකට වඩා ක්‍රීඩාවට කළ හැකි දේ බොහෝ ඇති බව ද ඔහුගේ මතයයි.

ඇත්තටම අපට ලොකු කාලයක් යනකම් රජයෙන් සහයක් ලැබුණේ නැහැ. නමුත් ඔවුන්ට අවබෝධ වෙලා තියෙනවා අපට රට වෙනුවෙන් ජයග්‍රහණ ගෙන ආ හැකි බව. ක්‍රිකට් වලට හැමෝම ආදරේ නැති වුනත් ලෝක කරළියේ දී අපේ ජාතික ධජය ඔසවන්නට ලැබීම අපට ලොකු ආඩම්බරයක්.” ඔහු කීවේය.

රොයිටර් ඇසුරිනි

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<