වෙන්දේසි වන ඔලිම්පික් පදක්කම

395

සුසන්තිකා ජයසිංහ යනු කවුරුන්දැයි හඳුන්වා දීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඇය ශ්‍රී ලාංකේය නාමය ලොව තුළ ඉහළින්ම ඔසවා තැබූ ඔලිම්පික් පදක්කම් ලාභී ශ්‍රී ලාංකික එකම ක්‍රීඩිකාව වේ.

මේ දිනවල ඇය මාධ්‍ය තුළ වැඩිපුර කතා බහට ලක් වී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රීතී ඝෝෂා මැද ඇය හිමි කර ගත් රිදී පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කිරීමයි.

“පොල් අතු පැලෙන් ලෝකය ජය ගත්තා” – සුසන්තිකා ජයසිංහ

“ආසියාවේ කළු කෙල්ල” යන විරුදාවලිය ලත් සුසන්තිකා ජයසිංහ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පසුගිය..

තමන්ට හිමිව තිබූ ක්‍රීඩා උපදේශක තනතුරෙන් තමන්ව ඉවත් කිරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇති නිසා තමා මුහුණ පා ඇති දැඩි ආර්ථික ගැටලු හේතුවෙන් සිය පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කළ බවත්, එම ලබා දුන් රැකියාවට අදාළව වැඩ පැවරීමක් සිදු කර නැති බවත් ඇය පවසා සිටියාය.

කෙසේ වෙතත් සුසන්තිකා ජයසිංහ, සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත දරමින් සිටියත්, අද (06) ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදු කර නොමැති බවත්, ඇය හට අප්‍රේල් මාසයට අදාළව ගෙවීම් හි යම් තාවකාලික ප්‍රමාදයක් සිදුව ඇති බවත්ය.

Susanthika-Jayasinghe-appointed-as-a-consultantමීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර 2015 වසරේ දී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන් වී තිබුණු බවත්, නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා වැඩ භාර ගැනීමෙන් පසු මෙම තත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවාන්විතව ලබා ගැනීම‍ට අවශ්‍ය පියවර ගත් බවත් ව‍ැඩ බලන ලේකම්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරුව ද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60ක් වන තුරු රුපියල් 60,000ක මාසික දීමනාවක් සහ රුපියල් 15,000ක ඉන්ධන දීමනාවක් ලබා දීමට අපේක්ෂිත අනුමැතිය ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක්‍රීඩා අමාත්‍යතුමන් විසින් සංදේශයක් ඉදිරිපත් කළ අතර එම සංදේශය ප්‍රකාරව කැබිනට් අනුමැතිය හිමි වූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමකට යටත්ව 2020 වසර දක්වා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත්කිරීම බව එම මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන්ව තිබුණි.

පහතින් දැක්වෙන්නේ සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් භාර දුන් පත්වීමේ ලිපියෙහි අඩංගු කරුණු කිහිපයකි.

“පත්වීම් ලිපිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇත.

එහි,

08 වන ඡේදය යටතේ – ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරි ඔබ විසින් ඉටු කළ යුතුය. සෑම මසකම පළමු සතියේ දී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කර ගත යුතු අතර මාසය අවසානයේ දී කළ වැඩසටහන පිළිබඳව ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.

09 වන ඡේදය යටතේ –  තවද සෑම වසරක් අවසානයේ දී එම වර්ෂය තුළ ඔබ විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේ දී සිදු කිරීමට අපේක්ෂිත කාර්ය භාරය පිළිබඳ වාර්තාවක් ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය.”

තවද අද (06) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්තුමන් දක්වා ඇත්තේ 2016 ජුලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදු කර ඇති බවත් ඇයගෙන් බලාපොරොත්තු වූ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අපොහොසත් වී තිබෙන බවත්ය.

2017 ජනවාරි, මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර සානුකම්පිතව සලකා එම කාල සීමාවට අදාළ වැටුප් ගෙවීමට ද සිය අමාත්‍යාංශය ක‍ටයුතු කළ බවත්, එවන් තත්වයක් තුළ පවා ඉහත 08 වන ඡේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදු කිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26 වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුවත් කර ඇති බවත් එම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

අවසන් වශයෙන් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත්තේ “තමන් යම් ආර්ථික අපහසුතාවයක පසු වේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ, තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබා දුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවාන්විත වැටුපක් ද ලබමින් ක්‍රීඩාවටත් මව්බිමටත් ලබා දිය යුතු සේවය නොපැකිළිව ලබා දීම බවයි.

පහතින් දැක්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය වේ.

ක්‍රීඩා අමාත්‍යාංශය
Ministry of Sports
விளையாட்டுத்துறை அமைச்ச

2017.06.06

ප්‍රධාන කර්තෘ – පුවත්පත්
අධ්‍යක්ෂ ප්‍රවෘත්ති – රුපවාහිනී / ගුවන්විදුලි
සංස්කාරක – වෙබ් පුවත්

මහත්මයාණෙනි/ මහත්මියනි,

සුසන්තිකා ජයසිංහ මහත්මියගේ වැටුප් නොගෙවීම පිළිබඳ පළවී ඇති
මාධ්‍ය වාර්තා සම්බන්ධවයි

මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව මෙසේ කරුණු පැහැදිලි කරමි. 2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනාගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්තිය පළමුව ගෞරවන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප‍්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ඇයගේ චරිතා ප‍්‍රදානය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ගරු ක‍්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ එකොලාහක මුදල් ප‍්‍රදානයක් ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳව ද කණගාටු වෙමි.

ප‍්‍රථමව සඳහන් කළ යුත්තේ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අප්‍රේල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවකාලික පමාවක් සිදුව ඇති අතර ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.

මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන් වී තිබිණි. නව රජයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාරගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවන්විතව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැණිනි. ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරුව ද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු.60,000ක මාසික දීමනාවක් සහ රු.15,000ක ඉන්ධන දීමනාවක් ලබාදීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක‍්‍රීඩා අමාත්‍යතුමන් විසින් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. එම සංදේශය ප‍්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත්කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි.

මීට අදාළ පත්වීම් ලිපිය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර එහි
08 වන ෙඡ්දය යටතේ ”ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටුකළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාව ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”.

09 වන ෙඡ්දය යටතේ ”තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳ වාර්තාවක් ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”. බවට සඳහන්ව ඇත.

මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක‍්‍රීඩා පිටියේ පිහිටි ක‍්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැඟිල්ලේ 03 වන මහළෙහි 08 වන කාමරය ද ඇයට වෙන්කර ලබාදුණි.

සුසන්තිකා ජයසිංහ මෙන්ම දක්ෂ තවත් මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකර ගැනීමේ අරමුණු පෙරදැරිව ගරු අමාත්‍යතුමන් විසින් මළල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒවන විට පැවති මළළ ක‍්‍රීඩා සංචිත 3හි පුහුණුකිරීම් හා උපදේශන සහය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මළල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත ලබාදී නැත.

2016 ජුලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ඡේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අපොහොසත් වී ඇත. 2017 ජනවාරි මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර සානුකම්පිතව සළකා එම කාල සීමාවට අදාළ වැටුප් ගෙවීමට ද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08වන ජේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26 වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.

රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත නිසි පරිදි ලබාදීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව තැකීමක් නොකර, අමාත්‍ය මණ්ඩල තීරණ ප‍්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසිඳු නෛතික හෝ සදාචාර හිමිකමක් නොමැත.

තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අතිදක්ෂ ක‍්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැන්මට, ක‍්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවන්විතව ඉල්ලා සිටිමි.

සෝමරත්න විදානපතිරණ
වැඩබලන ලේකම්
ක‍්‍රීඩා අමාත්‍යාංශය

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<