සුසන්තිකාගේ තත්වය සුව අතට?

1017
Susanthika Jayasinghe

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ, ඊයේ (27) හදිසියේ ඇති වු රෝගාබාධ තත්ත්වයත් හේතුවෙන් දියතලාව මූලික  රෝහලට ඇතුළත් කරනු ලැබීය.

දියතලාව මලල ක්‍රීඩා පුහුණු වැඩසටහනකට උපදේශිකාවක් ලෙස සහභාගී වීම සදහා ඇය පෙරේදා (26) දියතලාවට පැමිණි අවස්ථාවේදී මෙලෙස රෝගාතුර වී ඇති අතර එහිදී ඇයට ඇති වු උණ රෝගී තත්වය උත්සන්නවීම හේතුවෙන් රෝහල්ගත කරන්නට සිදුවිය.

ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට මූලික වෛද්‍ය පරීක්ෂණ වලදී සනාථ කර ගෙන ඇති නමුත් අද උදෑසන වන තෙක්ම රෝගය නිශ්චය කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටියා.

27 වැනිදා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ජයසිංහ මහත්මිය බරපතළ තත්ත්වයේ සිටි බවත් දැන් තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවත් දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී රංජිත් අමරකෝන් මහතා ThePapare.com වෙත පැවසීය.

“උණ සෑදීම නිසා සුසන්තිකා ජයසිංහ මහත්මිය අපේ රෝහලට ඊයේ ඇතුළත් කළා. රෝහලට ඇතුළත් කරන කොට ඇයගේ  තත්ත්වය ටිකක් බරපතළ නිසා, අපි ඇයව දැඩිසත්කාර ඒකකයට යොමු කරලා ප්‍රතිකාර කරන්න ගත්තේ.  එතනදී වෛද්‍ය පරීක්ෂණ වලින් හරියටම සනාථ කරගන්න පුලුවන් වුණා ඇයට හැදිලා තියෙන්නේ ඩෙංගු රෝගය කියලා. නමුත් ඇය තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. තව දවස් 5ක් පමණ රෝහල් ප්‍රතිකාර සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි වෛද්‍ය අධිකාරී රංජිත් අමරකෝන් මහතා ThePapare.com සමඟින් වැඩිදුරටත් සදහන් කලේය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට