සෙරන්ඩිබ් පරදා සුපර් සන් කුසලානයට ලං වෙයි

473

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරග මාලාවේ අවසන් 32 අතර පැවති සිව්වන වටයේ තරගයෙන් සුපර් සන් ක්‍රීඩා සමාජය ගෝල 2-1 ක් ලෙස සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජය වාර්තා කිරීමට සමත්විය. තරගය කළුතර වර්නන් ෆර්නැන්ඩු ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ජාවා ලේන් අඩපණ කළ සර්වාන් කොළඹට ජය ගෙනෙයි

ජාවා ලේන් පාපන්දු කණ්ඩායම පරාජය කළ කොළඹ පාපන්දු සමාජය මෙවර සිටි ලීග් සභාපති කුසලාන ශූරතාවය දිනා ගැනීමට ඊයේ (8) සමත්විය. සිටි ලීග්…

මිට පෙර පැවති සුපිරි 64 දෙනාගේ වටයේ දී සුපර් සන් ක්‍රීඩා සමාජය ගෝල 3-0ක් ලෙස ඔලිම්පික් ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් 32 අතරට එක්වූ අතර, සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය සාන්ත ජෝසප් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ දී දෙපිලම එක ගෝලය බැගින් වාර්තා කිරීම නිසා, තරගයේ ජය තීරණය වූයේ දඩුවම් පහර මගිනි. ඒ අනුව 4-2ක් ලෙස දඩුවම් පහර මගින් තරගය ජය ගත් සෙරන්ඩිබ් ක්‍රීඩකයන්ට අවසන් 32 අතර තමාගේ ස්ථානය තහවුරු කර ගැනීමට අවස්ථාව උදාවිය.

තරගය ආරම්භයේ දී දෙපිලෙන්ම මන්දගාමී ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණු අතර, තරමක් වෙලාවක් ගතවීමෙන් පසු කණ්ඩායම් දෙකම පිටියේ හොඳින් ස්ථාවර වී තම සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ බව දැක ගත හැකි විය. සුපර් සන් ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියේ  සිය අණසක පැතිරවීමට උත්සහ ගත්ත ද, ඔවුන්ගේ වැරදි ආරක්ෂක ක්‍රියා මාර්ග නිසාවෙන් සෙරන්ඩිබ් ක්‍රීඩකයන් අවස්ථා කිහිපයකදීම සුපර් සන් කණ්ඩායමට අභියෝග කිරීමට සමත් විය.

සුපර් සන් කණ්ඩායම තරගයේ 19 වන මිනිත්තුවේ දී සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් විය. මනාව පන්දුව පාලනය කරමින් නුවන් ප්‍රියංකර විසින් එම ගෝලය ලබා ගන්නා ලදි. ඒ සමඟම තරගය ඔවුන්ගේ අණසකට යටත්විය.

ඉන් උද්දාමයට පත් සුපර් සන්  ක්‍රීඩකයන් හැකි සෑම අවස්ථාවකදීම තමාට ලකුණු ලබා ගත හැකි අවස්ථාවන් නිර්මාණය කර ගැනීමට උත්සහ කළේය. ෆාරුඩ් පාහිඩ්  සිය කණ්ඩායමේ ගෝල ගණන දෙගුණ කර ගැනීමට නිතරම උත්සහ කළ ද, එම අවස්ථාවන් ඔහුට මගහැරී ගියේය.

තරගයේ ප්‍රථම අර්ධය අවසාන වනවාත් සමඟම දඩුවම් පහරක් මගින් තරගයේ වැඩි වාසිය සෙරන්ඩිබ් කණ්ඩායමට ලබා ගැනීමට අනගි අවස්ථාවක් උදාවිය. සුපර් සන් නායක මොහොමඩ් හෆීල් පන්දුව පාලනය කිරීමේ දී දුර්වල ක්‍රීඩා විලාශයක් අනුගමනය කළේය. එය ප්‍රතිවාදීන්ට අමතර වාසියක් ගෙන දීමට සමත් විය.

ප්‍රථම අර්ධය නිමා වීමට පෙර සෙරන්ඩිබ් කණ්ඩායමේ අමීර් අලි එල්ල කළ දුර්වල ප්‍රහාරයක් සාර්ථක ලෙස වළක්වා, පන්දුව ඉවතට යොමු කිරීමට සුපර් සන් කණ්ඩායමේ ගෝල රකින්නාට හැකි විය.

පළමු අර්ධය : සුපර් සන් 1 – 0 සෙරන්ඩිබ්

දෙවන අර්ධය ආරම්භයේ දී ම සෙරන්ඩිබ් ක්‍රීඩකයන්ගේ අභිප්‍රාය වූයේ තරගය සම තත්වයට ගෙන ඒමයි. සෙරන්ඩිබ් කණ්ඩායමේ රියාස් මොහොමඩ් 55 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමත් සමඟ තරගයේ උණුසුම යලිත් වැඩි විය. ඒ සමඟම තරගයේ ජය තමා සතු කර ගැනීමට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පෙර නොතිබූ උද්යෝගයකින් ක්‍රීඩා කරන්නට විය.

ඉන් අනතුරුව තරගයේ අවසන් මිනිත්තු 30 තුල දී කණ්ඩායම් දෙකේම ආක්‍රමණය ඉතා දැඩි විය. ගෙවෙන සෑම මොහොතක්ම තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් යොදා ගන්නට සෑම ක්‍රීඩකයෙක්ම උත්සුක විය.

සෙරන්ඩිබ් කණ්ඩායමේ ගෝල රකින්නා ආබාධයකට ලක්වීම නිසා තරගය මොහොතක් නතර කිරීමට ද සිදු විය. සුපර් සන් ක්‍රීඩකයන්ට තරගයේ වාසිය සියතට ගැනීම සඳහා අනගි අවස්ථාවන් කිහිපයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණ ද, ඉන් නිසි ප්‍රයෝජන ලබා ගත් බවක් දක්නට නොවීය. සෙරන්ඩිබ් ක්‍රීඩකයන් ඉතා සාර්ථකව එම සියලු උත්සාහයන් වළක්වන ලදි.

මොහොතින් මොහොත උණුසුම් වෙමින් පැවති තරගය අතරතුර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගයට නොගැලපෙන ලෙස හා ප්‍රචන්ඩකාරීව හැසිරීම නිසා ඒ සඳහා විනිසුරුට මැදිහත්වීමට සිදුවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩකයන් හත් දෙනෙකුට කහ කාඩ්පත් නිකුත් කෙරින.

සුපර් සන් ක්‍රීඩා සමාජය 85 වන මිනිත්තුවේ දී යලිත් තරගයට අවතීර්ණ විය. මොහොමඩ් හෆීල්ස් විසින් ලබා දුන් පන්දුව, සෆ්රාස් කයිෆ් විසින් ලබා ගැනීමෙන් අනතුරුව දැල් රකින්නාට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් පහසුවෙන්ම දැල තුලට පන්දුව යොමු කරමින් තවත් ගෝලයක් සිය කණ්ඩායමට එකතු කිරීමට සමත් විය.

සම්පුර්ණ කාලයසුපර් සන් 2 – 1 සෙරන්ඩිබ්

ThePapare.com තරගයේ විරයා– ෆාරුඩ් ෆයිස් (සුපර් සන් ක්‍රීඩා සමාජය)

සුපර් සන් පුහුණුකරු තරගයෙන් පසුව  මෙසේ අදහස් දක්විය

“සෙරන්ඩිබ් කණ්ඩායම ඉතා හොඳ කණ්ඩායමක්. ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩා හැකියාවන් හොඳ හෝ නරක ලෙස අපිට වර්ග කරන්න බැහැ. එමෙන්ම අද දිනය තුල ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා අප ප්‍රශ්නයක් කර ගත යුතු නැත. අප විසින් අවස්ථාවන් කිහිපයක් ඔවුන්ට ලබා දුන්නා. ඔවුන් ගෝල ලබා ගැනීමත් සමඟ යම් ගෞරවාන්විත තැනකට පත්වුණා. නමුත් අපිට අවසානයේ ජය ගන්නට අවස්ථාව ලැබුණා. මේ ජයත් සමඟින් ලැබූ උත්තේජය අපේ ඊලඟ තරගය ජය ගැනීමට උදව්වක් වේවි.”

සෙරන්ඩිබ්  කණ්ඩායම් කළමනාකරු මොහොමඩ් නව්සිල් අදහස් දක්වූයේ මෙසේය,

“අපි ක්‍රීඩා කරපු ආකාරය ගැන අපිට ගොඩක් අඩම්බරයි. ඔවුන් තමයි චැම්පියන්ස් ලීග් ශූරයෝ. ඊට අමතරව තරගය පැවැත්වුනේ ඔවුන්ගේම ක්‍රීඩාංගණයේ. එනමුත් අපේ කණ්ඩායම ගැන විශ්වාසයෙන් තමයි අපි තරග කළේ. අපිට හොඳ අවස්ථාවන් කිහිපයක් සහ දඩුවම් පහර කිහිපයකින් ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථා ගිලිහුනා. කොහොමහරි අපි අවසන් 32 පිවිසුනා.”

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්

  • සුපර් සන් ක්‍රීඩා සමාජය – නුවන් ප්‍රියංකර 19’, කයිස් සෆ්රාස් 85’
  • සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය – රියාස් මොහොමඩ් 55’

කහ කාඩ්පත් ලැබූ ක්‍රීඩකයින්

  • සුපර් සන් ක්‍රීඩා සමාජය– මොහොමඩ් හාෆිල්, කයිස් සෆ්රාස්, නුවන් ප්‍රියංකර, මොහොමඩ් අබ්දුල්ලා
  • සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය – මොහොමඩ් මුෆීඩ්, මොහොමඩ් බාසිත්, මොහොමඩ් මුන්සිෆ්

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට