අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයත්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයත් එකට ගැටෙන “සුනිල සංග්‍රාමයේ” 50 වැනි පරිච්ඡේදය, එළඹෙන 20 වැනිදා දිගහැරීමට නියමිතව ඇත්තේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී යි. වසර ගණනාවක් මුළුල්ලේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට ක්‍රිකට් අංකුර බිහිකර ඇති මේ පාසල් දෙක, කොළඹින්  පිට පිහිටා ඇතත් ක්‍රිකට් පිළිබඳ ඇති උනන්දුවෙන් නම් කිසිදු අඩුවකින් තොර ය.

ශූරයින්ගේ කුසලානය උණුසුම් කෙරූ ආරංචිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අට වන වරටත් සංවිධානය කරනු ලබන ශූරයින්ගේ කුසලානය සඳහා..

එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන තරගයට පෙර මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ දී පැවැත්විය. ඊට විද්‍යාල දෙකේ විදුහල්පතිවරුන්, කණ්ඩායම් නායකයන් සහ ප්‍රධාන සංවිධායකවරුන් සහභාගී විය.

මෙවර ධර්මාශෝක විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ උෂාන් ඉමන්ත ය. ඔහුගේ ප්‍රතිවාදී කණ්ඩායම වන ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ නායකත්වය අමිඳු මෙන්ඩිස් හට හිමිව ඇති අතර දින දෙකක් පුරා තරගය පැවැත්වෙන්නේ ඩයලොග් ආසිආටා අනුග්‍රහයෙනි.

ඉතිහාසය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙහි ආරම්භය සනිටුහන්ව ඇත්තේ 1913 වර්ෂයේ දී යි. 1963 වසරේ දී ආරම්භ වූ “සුනිල සංග්‍රාමය” පළමුව ජයග්‍රහණය කොට ඇත්තේ ද ධර්මාශෝකය වන අතර පැවති තරග 49න් 10ක් ජයගෙන ඇත්තේ ද ඔවුන් ය.

1887 වර්ෂයේ ඇරඹි අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූයේ 1963 වර්ෂයේ දී යි. ඉන් වසර තුනක් ඉක්ම යද්දී, 1966 වසරේ දේවානන්ද විද්‍යාලයට මහා ක්‍රිකට් තරගය ජය ගත හැකි විය.

පාසල් දෙකෙන් බිහි වූ ප්‍රබලයන්

කොළඹත් ගාල්ලත් අතර පිහිටි අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රමුඛතම පාසල් දෙක වන උක්ත විද්‍යාල දෙක මඟින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සහ දේශීය ක්‍රිකට් තලයට සරිලන ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක්ම බිහිව ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් බිහිව ඇත්තේ ධර්මාශෝක විද්‍යාලයෙන් වන අතර දේවානන්දයෙන් ද දේශීය මට්ටමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම නිර්මාණය වී ඇත.

ධර්මාශෝක විද්‍යාලය තුළින් බිහි වූ ඉහළ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නම් අජිත් ද සිල්වා, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් (පසුව ආනන්ද විද්‍යාලයට සංක්‍රමණය විය), සමන් ජයන්ත වේ.

දේවානන්දයෙන් දේශීය ක්‍රිකට් පිටිය තරණය කළ ක්‍රීඩකයන් ලෙස සම්මු අශාන් (පසුව ආනන්ද විද්‍යාලයට සංක්‍රමණය විය), පුලින තරංග, ධම්මික නිරෝෂන් (2002 වසරේ 19න් පහළ නායක), උෂාන් මනෝහර නම් කළ හැකිය.

මහා ක්‍රිකට් තරගය ගැන විවිධ පාර්ශවයන් දැක්වූ අදහස්.

D v D pressThePapare.com සමඟින් විශේෂයෙන් අදහස් දැක්වූ ධර්මාශෝක විද්‍යාලයේ නායක උෂාන් ඉමන්ත මෙසේ පැවසුවේය.

“50 වෙනි මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන්න ලැබීම ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. එහි නායකත්වය දරන්නට ලැබීම සතුටක් වගේම වාසනාවක්.”

ඔහුගේ කණ්ඩායම ගැන ඔහු පසුවන්නේ දැඩි විශ්වාසයෙනි.

කණ්ඩායම ගැන ප්‍රබල විශ්වාසයක් තියෙනවා. පුහුණුකරුවන්, අපේ දෙමාපියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් යන හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා අපට ලබා දෙන සහය ගැන. ඒ වගේම ප්‍රේමසිරි හැලබගේ මහතාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.”

ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ නායක අමිඳු මෙන්ඩිස්ගෙන් අදහස් විමසීමට ThePapare.com අපි කාලය වෙන්කර ගත්තෙමු.

අපි තරග වාරය පුරාම හොඳට ක්‍රීඩා කළා. පූර්ණ ජයග්‍රහණ 3ක් ලැබුවා. එක්දින තරගාවලියේ අවසන් තරගයටත් සුදුසුකම් ලැබුවා. ගොඩක් සතුටුයි 50 වැනි තරගයේ සාමාජිකයෙක් වීම ගැන. මේකේ ශූරතාවය පාසලට රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ධර්මාශෝක විද්‍යාලයීය විදුහල්පති හසිත කේසර මහතා විසින්, අම්බලන්ගොඩ සිට මොරටුවට තරගය පැමිණීම ගැන අදහස් පළවිය.

අගනගරයේ දී අප මේ මාධ්‍ය හමුව පවත්වන්නට හේතුවක් තියෙනවා. 50 වෙනි වැදගත් තරගය පවත්වන්නට අපට ගම පහුකරලා කොළඹට එන්න සිදුවුණා. මහා ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ වසරේ පළමු මාස 3 ඇතුළත වුණත් දැන් 2017 පස්වෙනි මාසයත් ඉක්ම ගිහින් තරගය පවත්වන්න අපට අම්බලන්ගොඩ ක්‍රීඩාංගණයක් නෑ.”

“50 වෙනි වසර සුවිශේෂී නිසා ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ තරගය අපේ ගමේ දී ම පවත්වන්න. ඒත් වසර 1 1/2ක් වගේ කාලයක් අපි ක්‍රීඩාංගණයක්  නැතිව බලන් ඉන්නවා. ඒත් 20,21 දෙදින හොඳ තරගයක ආශ්වාදය ලබා ගන්නට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට හැකි වේවායි මා පතනවා.” ඔහු තවදුරටත් කීය.

ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පති උපුල් ද සිල්වා මහතා ද මෙසේ අදහස් දැක්වීමට එක්විය.

අපට ඉතාමත් ආසන්න ක්‍රීඩාංගණය නවීකරණය කරන්නට යාමෙන් පුහුණුකරුවන් පවා ගැටලුවකට මැදිවුණා. අපට පාසල් ක්‍රීඩා උළෙල පවත්වන්නවත් ක්‍රීඩාංගණයක් තිබුණේ නැහැ. ඒත් නගරයට ඇවිත් ක්‍රීඩා කරන්න ලැබීම ක්‍රීඩකයන්ගේ තරු සිහින සැබෑ කරන්නක් වේවි.”

නොයෙකුත් ගැටලු මධ්‍යයේ වුවත් තරගය සංවිධානය කරන්නට ආදි ශිෂ්‍ය එකමුතුව සමත් වූ අතර එය ඉතා ප්‍රශංසනීය වේ. 20 වෙනිදා ඇරඹෙන තරගය ඩයලොග් නාලිකා අංක 1 ඔස්සේ සහ ThePapare.com ඔස්සේ ඔබට නැරඹිය හැක.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට