“නැති බැරි සහ ඇති හැකි ශ්‍රී ලංකා ක්‍රිකට්” ගැන සංගා කතා කරයි

1183
Sunday times interview - Kumar Sangakkara

ක්‍රිකට් ගැන මත, දුර්මත, ප්‍රතිමත පැතිර යන කාලයක ක්‍රිකට් ගැන විශ්ලේෂණය කිරීම ද ඇතැම් විට හාස්‍යජනක අත්දැකීමක් මෙන් දිස්විය හැක. එහෙත් ක්‍රිකට් ගැන ආදරයක් දක්වන ශ්‍රේෂ්ඨ වමත් පිතිකරු කුමාර් සංගක්කාර අපට උපකාර දක්වන්නේ “කළු වලාවක රිදී රේඛා” හඳුනා ගැනීමටයි.

තුන්වන ලෝකයේ රටක් ලෙස මුළු ලෝකයටම අභියෝග කළ හැකි පරිසරය තනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට්, මේ වන විට අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටින බැවින් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද කෙමෙන් ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගේ තත්වයට පත්වෙමින් ඇත. එහෙත් ඔබේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉවතලිය යුතු නැත. සන්ඩේ ටයිම්ස් පුවත්පත හරහා අදහස් දක්වන, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උසස් යුගයක පෙරළිකාරයෙකු වූ සංගාට සවන් දෙමු.

“ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් අපි සාර්ථක වුනේ ක්‍රිකට් පද්ධතිය නිසා කියලා. මං හිතන්නෙ අපි සාර්ථක වුනේ ක්‍රිකට් පද්ධතිය නොසලකමින්.”

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ගැන පළවන මත ගැන අමුතුවෙන් අවධානය යොමු කළ යුතු නැත. එය සෑහෙන කාලයක් මුළුල්ලේ කතාබහට බඳුන් වී ඇති අලස මාතෘකාවකි. එහෙත් ඒ සෑම ගැටලුවක්ම මඟහරවා ගනිමින් තමන්ගේ ක්‍රීඩාව සාර්ථකව කරගෙන යාමට තමන්ගේ කාලයේ ක්‍රීඩකයන් සමත් වූ බවයි සංගා පවසන්නේ.

“අප කාලයෙන් කාලයට අරවින්ද ද සිල්වා කෙනෙක්, සනත් ජයසූරිය කෙනෙක්, ලසිත් මාලිංග කෙනෙක්, මුත්තයියා මුරලිදරන් කෙනෙක්, අජන්ත මෙන්ඩිස් කෙනෙක් බිහි කරනවා. ඒත් එක්කම කඩා වැටුණු දේශීය ක්‍රිකට් පද්ධතියක්, කඩා වැටුණු සහයක් ගැන නොසලකා තමන්ව කළමනාකරණය කර ගත හැකි අත්දැකීම් සහිත පිතිකරුවන් අපට සිටියා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතෙක් දුර ගෙන ආවේ එවන් “විශේෂ දක්ෂතා”, එසේත් නැත්නම් “උපන් හපන්කම්” තිබූ ක්‍රීඩකයන්ගේ හැකියාවෙන් සහ අලස නැති සටන්කාමී පිතිකරුවන්, පන්දු යවන්නන්ගේ හැකියාවන්වල මහිමයෙනි. ඊට අමතරව දක්ෂ පුහුණු කාර්ය මණ්ඩලයක් සහ ස්වාධීන තේරීම් කමිටුවක් මඟින් ඔවුන්ට ලැබුණු සවිය ගැන ද සංගක්කාර සිහිපත් කළේය.

“අපට ශක්තිමත් පුහුණු කාර්ය මණ්ඩලයක් සිටියා.” ඔහු එසේ කියන විට ඩේව් වට්මෝර්, ට්‍රෙවර් බේලිස්, පෝල් ෆාබ්‍රේස්, ග්‍රැහැම් ෆෝඩ්, ටොම් මූඩි, ඇලෙක්ස් කුන්ටෝරි, රෝයි ඩයස්, මාරියෝ වෙල්ලවරායන්, රුවන් කල්පගේ, චන්දික හතුරුසිංහ, ට්‍රෙවර් පෙනී ආදී නම් රැසක් සිහිවුවද අද ඒ කිසිවෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව නැත.

“මට මතකයි ට්‍රෙවර් බේලිස් අපට කියනවා, ක්‍රීඩකයෙකුගේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් වසරේ දී ඔහුට පළමු පෙළ ක්‍රිකට් උගන්වන එක හරිම අමාරුයි කියලා. අපි මතක තියා ගන්න ඕන අපේ පසුගිය දක්ෂතා සියල්ල පද්ධතිය නිසා නොවෙයි, පද්ධතිය නොසලකා හැර දක්වපු ඒවා බව.” සංගක්කාර පවසන්නේ අක්‍රමවත් පද්ධතිය එසේම තිබිය දී ක්‍රීඩකයන් දස්කම් දැක්වීමට සමත් වූ බවයි.

ක්‍රීඩකයන්ගේ වැරදි අඩුපාඩු අවම කර ගැනීමට උපකාර කළේ ඔවුන් පමණක් නොවේ. “පොතේ ක්‍රිකට්” පරයන අත්දැකීම් සහිත වූ දේශීය පුහුණුකරුවන් රැසක් ද දුරකතනයෙන් පවා ක්‍රීඩකයින්ව අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යාමට දායක විය.

“එය ඉතාමත්, ඉතාමත් වැදගත්.” සංගක්කාර එවැනි පුහුණු කාර්ය මණ්ඩලයක සහයේ වැදගත්කම ගැන කීවේය. ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් අපේක්ෂිත මට්ටමේ නොතිබිය දී ඉන් පැමිණෙන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ දී ඉක්මනින් සාර්ථක වීමට පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම එතරම් වැදගත් බවයි ඔහු පවසන්නේ.

“ඒත් දැන් අපි කණගාටුදායක තත්වයකයි ඉන්නේ. ඒකයි අපේ තරුණ ක්‍රීඩකයන් පළමු පෙළ සිට ජාත්‍යන්තර මට්ටමට හැඩගැසීමට සෑහෙන කාලයක් ගන්නේ.” සංගක්කාර කීවේය. එය දැන් අපට පැහැදිලි වෙමින් තිබේ. දස්කම්වල කිසිදු අඩුවක් නැති වත්මන් තරුණ ක්‍රීඩකයන් පිටිය මැද දී තීරණ ගැනීමේ විශාල අඩුපාඩුවක් පෙන්නුම් කරයි. එය සම්පූර්ණයෙන්ම මානසික සූදානමේ අඩුවක් මිස දස්කම්වල අඩුවක් නොවේ.

“ඇයි අපි අපිට වඩා සාර්ථකත්වයක් අත්කරගත් කණ්ඩායම් දිහා බලන්නෙ නැත්තේ? කාලයත් එක්ක අපට වඩා ටෙස්ට් තරග ජය ගත්තු, අපට වඩා ලෝක කුසලාන ජය ගත්තු අය දැක්කහම ඔවුන්ගෙන් ඉදිරියට එන්න නම් ඔබට වෙනස්කම් කරන්න වෙනවා.” සංගක්කාර තම අදහස් එසේ පළකළේය.   

බංගලාදේශය සමඟ නැගිටිමු!

ශ්‍රී ලාංකික ජනයාට තිබුණේ ක්‍රිකට් පිස්සුවෙන් යුත් 90 දශකයකි. තරග ඇති දිනවල රාජකාරියේ යෙදෙන අතරතුර…

ඒ පිළිබඳව සැලකිල්ලට ගැනීමේ දී විශේෂයෙන්ම සිතට ගත යුත්තේ ඉන්දියාව සහ බංගලාදේශය දක්වමින් සිටින දස්කම් ගැනය. එසේත් නැත්නම් නවකයන් සමඟ සාර්ථක ගමනක නියැලෙන එංගලන්තය, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව ගැන වුවද අවධානය යොමු කළහොත් උගනින්නට බොහෝ දෑ හමුවනු ඇත.

“වෙනස් වන්නේ නැතිනම්, කඩා වැටුණු පැරණි පද්ධතිය තුළම සිරවෙලා ඉන්නවා නම් ඒක අප ක්‍රීඩකයන්ට කරන අසාධාරණයක්.” සංගක්කාර ක්‍රීඩකයන් වෙනුවෙන් හඬ අවධි කළේය.

“අපි ඔවුන්ට හරි සහයෝගය, හරි පද්ධතිය තනාදෙන්නේ නැතිනම් අවසානෙදි බැනුම් අහන්න වෙන්නේ ක්‍රීඩකයන්ටයි. මං හිතන්නෙ ඒකට හැමෝම වගකියන්න ඕන.” සංගා කීවේය.

“ඒ හැමදේම වෙනස් කරලත් ක්‍රීඩකයෙක් හරියට ක්‍රීඩා කරන්නේ නැතිනම් අපට කියන්න පුළුවන්, ‘හොඳයි අපි වෙනත් ක්‍රීඩකයෙකු දිහා බලමු’ කියලා.” ඔහු කියන කතාවට දැඩි පදනමක් තිබේ. මෑත කාලයේ දී ශීඝ්‍ර මුහුණු වෙනස්කම්වලට ලක්වෙමින් ප්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් වන ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සංගාගේ ප්‍රකාශයෙන්වත් යමක් උකහා ගත හැකිය.

“තමතමන්ගේ කාර්යය බෙදා ගෙන ක්ෂේත්‍රයේ විශේෂඥයන්ට වැඩ කටයුතු භාර දිය යුතුයි. දැනටත් පරක්කුයි. ඒත් අපි ඉක්මනින් වෙනස කළ යුතුයි.” ඔහු කීවේය.

මේ ඔහු සඳහන් කළේ සිදු විය යුතු වෙනසයි. එනම් ක්‍රිකට් පද්ධතියේ වෙනසයි. එහෙත් මෑතක දී කතාබහට ලක්වූ සිදු විය යුතු නැති වෙනසක් ගැන ද ඔහු අදහස් පළකළේය. වේගවත්ව සිදු වන ක්‍රීඩකයන් මාරුව පිළිබඳ සංගක්කාර දැක්වූයේ මෙවන් අදහසක්.

“කැඩුණු බිඳුණු පරිසරයකට ක්‍රීඩකයන් ඇතුළත් කරහම ඒකෙන් ලොකු හානියක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම නවක කණ්ඩායමක් වුනහම.”

“ස්ථාවර පරිසරයක් තියෙනකොට ඔවුන්ට දියුණු වෙන්න, දස්කම් දක්වලා ජයග්‍රහණය කරන්න වගකීමක් ලැබෙනවා.” ඊට එකතු කිරීමට කිසිවක් නැත. සංගක්කාරගේ අදහස් වසර ගණනක පළපුරුද්දෙන් සවිමත් වූ ඒවාය.

ශීඝ්‍රයෙන් ලෝක ක්‍රිකට් ආක්‍රමණයෙහි යෙදෙන ඉන්දියානු කණ්ඩායම ගැන ද කුමාර් සංගක්කාර අදහස් දක්වා සිටියේ මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔවුන්ගේ ප්‍රහාරයට ලක්වෙමින් සිටියදීයි.

“ඔවුන් ඔවුන්ගේ මුළු ක්‍රිකට් පද්ධතියම විප්ලවයකට ලක්කළා. ඔවුන් කණ්ඩායම තෝරන විදිය, පුහුණු වෙන විදිය, ඔවුන් ක්‍රීඩාව ගැන දරන ආකල්පය යන මේ හැමදේම වෙනස් වෙලා තිබෙනවා. අපි අනුගමනය කරනවා නම් අනුගමනය කළ යුත්තේ හොඳ උදාහරණ යි.”

දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් ගැන විමසීමේ දී ඔහු පවසා සිටියේ ඔවුන් දක්ෂ පිතිකරුවන් බවත්, ස්ථාවර පරිසරයක් සහ නොකඩවා අවස්ථාවන් ලබා දීම මඟින් ඔවුන්ට අවශ්‍ය මානසික ස්ථාවරභාවය ගොඩනගා දිය යුතු බවත් ය.

“සංචිතයට ක්‍රීඩකයන් 75 දෙනෙක් දාන එක ගැන හිතනවාට වඩා ක්‍රීඩකයන් 150ක් ගැනවත් අප සිතිය යුතුයි.” සංගක්කාර එකතු කළේය.

“ක්‍රීඩකයන්ගේ දත්ත අනුව විතරක් ඔවුන්ව තෝරා ගන්න පුළුවන් ද? ඔවුන් ක්‍රීඩා කරපු මට්ටමේ ගුණාත්මකභාවය කුමක් ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙද්දි හරි තේරීමක් කරන්න ගොඩක් අමාරුයි.” සංගක්කාර, තේරීම් කමිටුව පත්වී සිටින අපහසුතාවය ගැන පැවසුවේ එවැන්නක්.

එවැනි අපහසු කටයුත්තක් පහසු කර ගැනීමේ ක්‍රමය ද සංගක්කාර විසින් පැහැදිලි කරන ලද්දේය.

“කණ්ඩායම් හතරක් නැත්නම් පහක් යොදා ගෙන උසස් දේශීය තරගාවලියක් පැවැත්වීම මඟින් අපේ ක්‍රිකට් පද්ධතියම වෙනස්කමකට ලක්කරලා ප්‍රතිඵල ලබන්න අපට පුළුවන්. අපි ක්‍රිකට් හසුරුවන මුළු ක්‍රමයම ඉන් වෙනස් වේවි.”

මෙය ද කලක් තිස්සේ අප විසින් කතාබහට ලක්කළ කරුණකි. දේශීය ක්‍රිකට් පද්ධතියේ තරගකාරීත්වය මුළුමනින්ම පහත බැස ඇත.

“හැමෝටම එහි අවශ්‍යතාවය තේරෙනවා. ඒත් කවුරුහරි ඒක කළ යුතුයි. ඒක නොකර, ඒ ගැන කතා නොකර සිටියොත් වෙන්නේ හැම මාස 6න් 6ටම වගේ ඔබ අහන ප්‍රශ්නයම අපි අහමින් ඉඳීවි.” සංගක්කාර කීවේය.

“මුරලි කෙනෙක්, සනත් කෙනෙක්. පූර්ණ සුවය ලබපු මාලිංග කෙනෙක්, මෙන්ඩිස් කෙනෙක් හෝ ඩිල්ෂාන් කෙනෙක් නැතුව කණ්ඩායමට ජයග්‍රහණය කිරීම අපහසුයි. ඒකයි ප්‍රධාන වශයෙන්ම අපගේ පළමු පෙළ ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනස් කිරීමේ කටයුත්තට අත තැබිය යුත්තේ.”

සංගක්කාර අද පවසන දෑම කාලයක් පුරාවට ප්‍රවීණයින් විසින් නගන ලද තර්කයකි. සංගක්කාර පවසන සේම ඊට පිළිතුරු නොලැබීමෙන් සිදු වන්නේ කාලයෙන් කාලයට මෙවැනි සාකච්ඡාවන් ඇතිවීම සහ එහි කෙළවර ඉන්දියාවේ මෙන් කලහකාරී නූගත් ප්‍රේක්ෂකයන් පිරිසක් නිර්මාණය වීමයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<