මලල ක්‍රීඩාවට ආයෙත් “U TURN” එකක්?

260

මේ වන විට ශ්‍රී ලංකාවේ පුහුණුවීම් සඳහා පවතින එකම ජාත්‍යන්තර මලල ක්‍රීඩා ධාවන පථය ජුනි 25 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා වෙනත් පාර්ශවයකට බද්දට දී ඇති බවට වාර්තා වන අතර ඒ හේතුවෙන් මේ දින වකවානුව තුල සුගතදාස ක්‍රීඩා මං තීරුව සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අගුළු වැටෙනු ඇත.

දුවන සපත්තුවෙන් අස්වනු නෙලන්නට පෙර

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩා අතලොස්ස අභිබවමින් වර්තමානය වන විට මලල ක්‍රීඩාව ගැන වැඩි වැඩියෙන් කතාබහට…

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් වන ආසියානු තේරීම් තරග (ජූලි 3-5) තායිලන්තයේ දී එළඹෙන සතියේ දී ද, යොවුන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය (ජූලි 19-24) ලබන මස මැද දී ද පැවැත්වීමට නියමිත අතර පදක්කම් බලාපොරොත්තු ගොන්නක්ම රට වෙනුවෙන් මේ තරගාවලි සඳහා තරග වදින්නට සූදානමින් සිටියි.

ප්‍රධාන පෙළේ යොවුන් ක්‍රීඩා තරගාවලි දෙකක් පෙනෙන මානයේ තිබිය දී සිදුවන්නා වූ මෙම අදූරදර්ශී ක්‍රියාවලිය ක්‍රීඩා පරිපාලනයේ  ඇති නොදැනුවත්කම දෝ එසේත් නැතිනම් සිතා මතාම සිදු කරන්නක් දෝ යැයි සමාජයේ සියල්ලන්ටම පාහේ පැන නගින ගැටලුවකි.

අට දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක ක්‍රීඩිකා මඬුල්ලක් තායිලන්තය බලා පිටත් වීමට සූදානම් වන අතර පසුගිය දා ආසියානු ක්‍රීඩා උළෙලේ දී දක්ෂතා දැක්වූ දීප්තිමත් බලාපොරොත්තු කිහිපයක්ම ලෝක ශූරතා තරගාවලිය වෙනුවෙන් ද සහභාගී වීමට නියමිතයි.

නව ධාවන පථයේ දෙමසක් ගත වන්නටත් මත්තෙන් තම දක්ෂතා පෙන්වූ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල නම් ප්‍රශංසනීය ය. දෙමසකින් ලද දක්ෂතා අභිවන්නට තියා මං තීරුවට වත් බසින්නට නොදී මේ කරන්නට යන මහා අපරාධය දෙවතාවක් නොව දස වතාවක් වත් පරිපාලනය සිතිය යුතුය.

තරග වාර්තා අලුත් වෙමින් රටේ මලල ක්‍රීඩාව නිවැරදි මගට අවතීර්ණ වූ අතර එය ලත් තැනම ලොප් වීම තුල පුහුණුකරුවා ද කඩා වැටීමකට ලක්වී ඇත්තේ තම පුහුණු සැසි පවා නිසියාකාරයෙන් කර ගැනීමට අපහසු වන නිසාවෙනි.

සුගතදාසය නොමැති කළ පුහුණු වීම් සඳහා දියගම හෝ තිබුණි. අද දියගම ද ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් අවහිර කර ඇත.

මේ සියල්ල මෙසේ වද්දී පරිපාලනය රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පදක්කම් බලාපොරොත්තු වීම සදාචාර සම්පන්න දැයි විටෙක ගැටලුවක් පැන නගී. නිසි අවධානය තුලින් රටේ අනාගත මලල ක්‍රීඩා තරු කඩා වැටෙන්නට නොදී රැක බලා ගැනීම  බලධාරීන්ගේ වගකීමකි.  ඒ සියල්ල එසේ සිදු වනතුරු ක්‍රීඩාවට ලැදි අප ද නිරන්තර අවධානයෙන් සිටිමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<