ස්ටබ්ස් පළිහ වෙනුවෙන් පාසල් බොක්සිං දක්ෂයන් පෙළගැසෙයි

365
Stubbs shield to be commenced on 7th

පාසල් බොක්සිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලිය සේ සැලකෙන ශ්‍රීමත් ආර්. ඊ. ස්ටබ්ස් පළිහ සඳහා වන බොක්සිං තරගාවලිය එළඹෙන 7 වැනිදා (හෙට) සිට කොළඹ මාස් රාජකීය බොක්සිං අංගනයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන්ට බොක්සිං ක්‍රීඩාව වෙත පියමැනීමේ අවස්ථාව සලසා දුන් තරගාවලිය ලෙස ස්ටබ්ස් පළිහ තරගාවලිය සැලකේ. ඊට අවශ්‍ය අවසරය ලබා ගැනීම සඳහා මූලික වූ බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වන ඊ. ස්ටබ්ස් මහතාගේ නම යටතේ තරගාවලිය පැවැත්වේ.

දිවයින පුරා පැතිරී සිටින පාසල් 75ක් පමණ ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ සාමාජිකත්වය දරයි. එම පාසල් නියෝජනය කරන ක්‍රීඩකයන් ඇතුළත් වන බරපන්ති 16ක් යටතේ තරග පැවැත්වෙන අතර කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 300ක් පමණ මීට සහභාගී වේ.

දිවයිනේ ප්‍රසිද්ධ බොක්සිං ශූරයන් බිහිකළ මහනුවර විද්‍යාර්ථ, සිල්වෙස්තර, පේරාදෙණිය මධ්‍ය විද්‍යාලය, පිළිමතලාව මධ්‍ය විද්‍යාලය මෙන්ම කොළඹ රාජකීය, මහානාම, හොරණ විද්‍යාරතන ආදී විද්‍යාලද තරගාවලියට සහභාගී වේ.

ජාතික තලයට දක්ෂ පාසල් බොක්සිං ක්‍රීඩකයන් බිහිකරන තරගාවලියක් වන මෙය අතිශය තරගකාරී එකක් බව ප්‍රකටය. හෙට සිට පැවැත්වෙන තරගාවලියේ තතු ThePapare.com වෙබ් අඩවිය තුළින් ද, තරගවල ඡායාරූප ThePapare.com ෆේස්බුක් පිටුව ඔස්සේ ද ඔබට ලබාගත හැකියි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<