පිදිය යුත්තන් පුදන්නට උගනිමු

1783

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවකු සහ වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන සංජේ මන්ජේකාර් විසින් පසුගිය සතියේ පුවත්පතකට තීරු ලිපියක් සපයමින් තර්ක කර තිබුණේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු නොවන බවයි.

[rev_slider LOLC]

ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සලකා බැලීමේ දී එම ප්‍රකාශයේ වරදක් නැති බව ද තහවුරු වේ. මන්ද කිවහොත් හේරත් යනු හුදෙක් විශිෂ්ට ක්‍රීඩකයකු නොව අග්‍රගණ්‍ය ක්‍රීඩා තරුවක් වීමයි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 37කට ක්‍රීඩා කර ඇති මන්ජේකාර් පවසන්නේ ක්‍රීඩකයෙකුගේ විශිෂ්ටත්වය කියා පෑම සඳහා බලපාන්නේ ඔහුගේ දක්ෂතා පිළිබඳ දත්ත නොවන බවයි. ඇතැම් විට ඔහු නිවැරදි විය හැකිය, නමුත් රංගන හේරත්ගේ පන්දු යැවීමේ දත්ත ඉහළ මට්ටමක නොපැවති ඉන්දීය තරග සංචාරයේ දක්ෂතා පමණක් සැලකිල්ලට නොගෙන, රංගනගේ පමණක් නොව ශ්‍රී ලංකා කණ්ඩායමේ සමස්ත දත්ත අධ්‍යනයක් සිදු කළේ නම් මන්ජේකාර් හට වඩාත් හොඳ නිගමනයක් කරා පැමිණීමට ඉඩ තිබුණි.

බොහෝ විදෙස් දඟපන්දු යවන්නන් ඉන්දීය තණ තීරුවල දී සුපුරුදු දස්කම් අතරට පැමිණෙන්නට අපොහොසත් වෙති. උදාහරණ ලෙස ගත හොත් මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ දී කඩුල්ලක් දවා ගැනීම සඳහා ලකුණු 45ක් ද, ෂේන් වෝන් කඩුල්ලක් සඳහා ලකුණු 43ක් ද වැය කර තිබේ. එමගින් කියා පාන්නේ යමෙක් ඉන්දියාවේ දී අසාර්ථක වීම හේතුවෙන් පමණක් ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙකු නොවේ යැයි පැවසීම නිරවද්‍ය නොවන බවයි. තවත් සරලව කිවහොත් විරාත් කෝලි එංගලන්තයේ දී ශතකයක් වාර්තා කර නොමැති බැවින් ඔහු අසාර්ථක පිතිකරුවෙකි යැයි කීම විහිළුවක් වන්නා සේ ම ය.

රංගනගේ රංගනයට අකිලගෙන් ජවය; ශ්‍රී ලංකාවට ජය

තනිකරම දඟපන්දු යවන්නන්ගේ තරගයක් බවට පත් වූ අවසාන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 215ක ජයක් ලැබූ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට්…

රංගන හේරත්, ශ්‍රී  ලංකා කණ්ඩායම වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවන් ඉටු කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අද වන තෙක් දකුණු අප්‍රිකා බිමේ ලද එකම ටෙස්ට් ජයග්‍රහණයේ දී, කුමාර් සංගක්කාර සහ තිලාන් සමරවීර අගනා ශතක වාර්තා කරන්නට සහ  සිය මංගල ටෙස්ට් තරගය වූ එහි ඉනිම දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කරන්නට දිනේෂ් චන්දිමාල් සමත් වුව ද, පන්දුවෙන් දැක්වූ අති විශිෂ්ට දස්කම් හමුවේ තරගයේ වීරයා සම්මානයෙන් පවා පිදුම් ලැබුවේ රංගන හේරත් ය.

එම තරගයේ දී තණ තීරුව දඟපන්දු යවන්නන් හට සුළු සහයක් ලබා දුන් අතර රංගන සමස්ත තරගය තුළ දවා ගත් කඩුලු සංඛ්‍යාව 9කි. ඉන් හොඳ පාඩමක් ඉගෙන ගැනීමට සමත් වූ දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ තරග සංචාරය තුල දී රංගන හේරත්ව මෙල්ල කර ගැනීමට කටයුතු කළේ, දඟපන්දුවට කිසිදු සහයක් නොමැති තණ තීරු සකස් කිරීම මගිනුයි.

සමස්තයක් වශයෙන් ගත් කළ රංගන හේරත් මේ වන විට තරගයේ වීරයා සම්මාන 11කට හිමිකම් කියා තිබේ. එම ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන්  සිටින්නේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් පමණකි. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් තරග 133ක දී තරගයේ වීරයා සම්මාන 19ක් දිනා ඇති අතර කුමාර් සංගක්කාර තරග 134ක දී තරගයේ වීරයා සම්මාන 16ක් ද, මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149කට සහභාගී වී තරගයේ වීරයා සම්මාන 13ක් ද දිනා ගෙන තිබේ. ගණිත ශාස්ත්‍රය අනුව සලකා බැලීමේ දී රංගන හේරත් ඔවුන් අතර ද ඉදිරියෙන් සිටින බව කිව හැකි වන්නේ රංගන ටෙස්ට් තරග 89කට පමණක් සහභාගී වී ඇති නිසාවෙනි.

ටෙස්ට් තරග බිමේ පමණක් නොව බොහෝ දෙනාගේ අවධානයට සහ පැසසුමට ලක් නොවුනත් සීමිත පන්දුවාර කරළියේ ද රංගන හේරත් ගේ අමතක කළ නොහැකි දස්කම් රැසක් සනිටුහන් වී තිබේ.

ශ්‍රී ලංකාවේ එකම විජයග්‍රාහී පන්දුවාර 20 ලෝක කුසලාන ගමන වූ බංග්ලාදේශයේ පැවති 2014 තරගාවලියේ, නවසීලන්තය සමඟ පැවති අවසන් පූර්ව තරගය සඳහා රංගනව කැඳවන්නට එවක තේරීම් කමිටුව පියවර ගත්තේ එතෙක් තරගාවලිය තුළ ඔහුට වැඩි අවස්ථාවක් ලබා නොදී තිබූ පසුබිමකයි. කෙසේ වෙතත් එම තීරණය විශිෂ්ට උපක්‍රමයක් බවට පත් වුණේ කිසිවෙකු නොසිතු අයුරිනුයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 119, ප්‍රබල නවසීලන්ත පිතිකරණ ලැයිස්තුවට අභියෝගයක් නොමැතිව සපුරා ගත හැකි ඉලක්කයක් සේ දිස් වුව ද, රංගන ක්‍රියාත්මක කළ පන්දුවාර කිහිපය තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ අතර ඔහු කඩුලු 5ක් දවා ගැනීම සඳහා කිවියන් හට ලබා දී තිබුණේ ලකුණු 3ක් පමණි. එම තරගය තුළ රංගන ක්‍රියාත්මක කළ සෑම පන්දුවක්ම කඩුල්ලක් දවා ගත හැකි පන්දුවක් ලෙස දිස්වුණි.

හේරත් පන්දුව විශාල වශයෙන් දඟ කැවීමට ලක් කරන ක්‍රීඩකයෙක් නොවේ. නමුත් ඔහුගේ පන්දු යැවීමේ විශිෂ්ටත්වයේ සලකුණ වන්නේ නොවරදින පාලනයයි. එනමුදු ඔහුට මෙතරම් කඩුලු ප්‍රමාණයක් දවා ගැනීමේ රහස නම් ඔහු සතු සවැනි ඉන්ද්‍රිය යි. එනම් පිතිකරුවකු ඊළඟට තැබීමට සූදානම් වන පියවර, එල්ල කිරීමට යන පහර පිළිබඳ තේරුම් ගැනීමට නොහොත් පිතිකරුවාගේ මනස කියවීමට ඇති හැකියාවෙන්  ගැන ඊට අදාළ ලෙස පන්දුව යොමු කිරීමේ හැකියාවයි.

අකිලගේ අලුත් කසාදය

කසාදය යනු තනිකඩයාට මැජික් එකකි. විවාහකයාට කැපකිරීම් කිරීම අනිවාර්ය කරන්නකි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවත් එසේමය. තරුණ මදය වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් සැණකෙළි පසෙක ලා, පරිණතභාවය…

අතිශය තියුණු සටනක් බවට පත් වූ පසුගිය වසරේ අබුඩාබි ටෙස්ට් තරගය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණේ දෙවන ඉනිමේ දී ජයග්‍රහණය සඳහා පකිස්ථානයට ලකුණු 136ක ඉලක්කයක් ලබා දීමට පමණි. කණ්ඩායම මානසිකව අන්තිම අඩියටම වැටී සිටි අවස්ථාවේ ක්‍රීඩක විවේකාගාරයට ජීවයක් ලබා දෙන්නට සමත් වුනේ රංගන හේරත්ගේ විශ්වාසයයි. තමන්ට ලේ සුවඳ දැනෙන බව ක්‍රීඩක විවේකාගාරයට නොබියව පැවසූ රංගන හේරත් පෙන්වා දුන්නේ අසාර් අලීගේ කඩුල්ල ඉක්මනින් දවා ගැනීමට හැකි වුවහොත් පාකිස්තානු පිතිකරුවන් කලබලයට පත් වන බව තමන්ට හැඟෙන බවයි. සුරංග ලක්මාල්  එම වදන එලෙසින්ම භාර ගත්තා පමණක් නොව ක්‍රියාවට නංවන්නට ද සමත් වූ අතර සුරංග සමඟින් නව පන්දුව බෙදා ගත් රංගන කඩුලු හයක් සමඟ ඉනිම අවසන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21 තියුණු මෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් වෙත ගෙන යමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති සංචාරය අතරතුර ටෙස්ට් තරගාවලිය තබා එක් තරගයක් හෝ ජය ගැනීමට හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇතැයි විශ්වාස කළ කිසිවෙකු නොවූ තරම් ය. මන්දයත්, 2010 වසරේ සිට පකිස්ථානයේ සත්කාරක රට වන ගල්ෆ්  කලාපයේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගන්නට ලොව අන් කිසිදු කණ්ඩායමක් සමත් වී නොතිබීම හේතුවෙන්.

රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් කරළිය වෙනුවෙන් නොසිඳෙන වීර්යයෙන් ජීවිතය කැප කළ පුද්ගලයෙකු ලෙස හඳුන්වා දිය හැක. 2009 වසර වන විට මුත්තයියා මුරලිදරන් තම ක්‍රීඩක දිවියේ සැන්දෑ සමයට ළඟා වෙමින් සිටි අතර ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස බොහෝ දෙනාගේ අවධානයට ලක්වී සිටියේ යොවුන් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ය. රංගන හේරත් ඒ වන විට තේරීම් කමිටුවේ දෘෂ්ටි පථයෙන් ගිලිහී ගිය ක්‍රීඩකයෙකු බවට පත්ව තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට පවා ඇතුළත් කර ගෙන නොසිටි රංගන පියවර ගත්තේ එංගලන්තයේ මොඩර්ශෝල් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ලීග් ක්‍රිකට් තරගාවලියකට එක් වීමටයි.

එය ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ පැවති වසර විය. ශ්‍රී ලංකාවට එරට පුරා තරග සඳහා සංචාරය කිරීමට සිදු විය. ලන්ඩන් නුවර සිට නොටිංහැම් දක්වා ද, එතැන් පටන් බර්මිංහැම් දක්වා ද එතනින් නොනැවතී අවසන් මහා තරගය සඳහා නැවතත් ලෝඩ්ස් ක්‍රීඩාංගණයටත් පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පසුපස නිතරම සිටි පුද්ගලයෙකු විය. ඒ අන් කිසිවෙකු නොව එංගලන්තයේ උතුරු ප්‍රදේශයේ ක්‍රීඩා කරමින් සිටි රංගන හේරත් ය.

කවුරුන් හට මෙය අමතක වුවද කැපවීම සඳහා උපරිම වටිනාකමක් ලබා දෙන නායකයෙකු වූ කුමාර් සංගක්කාරගේ මනසේ රංගනගේ කැපවීම රතු අකුරින් ලියවී තිබුණි. සති කිහිපයක් ගත වන විට ශ්‍රී ලංකා තේරීම් කමිටුව කුමාර් සංගක්කාරගෙන් පාකිස්තානය සමඟ දින දෙකකින් ගාල්ලේ ආරම්භ වන ටෙස්ට් තරගයට අවශ්‍ය දඟපන්දු යවන්නා කවුරුන් දැයි ප්‍රශ්න කර සිටියේ මුත්තයියා මුරලිදරන් ආබාධයකට ලක්වීම හේතුවෙනුයි. සංගා හට කල්පනා කිරීමට කිසිවක් නොවීය, රංගන හේරත් ඔහුගේ නිසැක තේරීම බවට පත් විය.

එහි දී තේරීම් කමිටුව පෙන්වා දුන්නේ එංගලන්තයේ සිටින රංගන මෙතරම් ඉක්මනින් ගාල්ලට ගෙන්වා ගැනීමේ හැකියාවක් නොමැති බවයි. නොහැක්කක් නොමැත යන තේමා වදන හොඳින් දැන සිටි සංගක්කාර නැවත නැවතත් කියා සිටියේ තමන්ට අවශ්‍ය රංගන හේරත් මිස අන් කිසිවෙකු නොවන බවයි. අවසානයේ තරග ආරම්භයට පැය 24ක්වත් නොමැති අවස්ථාවක ශ්‍රී ලංකාවට පා තැබූ රංගන හේරත් ඓතිහාසික ජයග්‍රහණයක් වෙත ශ්‍රී ලංකාව දඟකවන්නට සමත් විය. එතැන් පටන් සිදු වූ සියල්ල ඉතිහාසයේ ලියවී අවසානය.

මේ  සියලු දස්කම් අතරේ රංගන හේරත් තමන් පිළිගැනීමට ඇතිරෙන රතු පලසේ ප්‍රභාවෙන් මුසපත්ව පයින් ගසා කණ්ඩායමෙන් නෙරපන තෙක් රැඳී සිටීමට මාන බලන ආකාරයේ ක්‍රීඩකයෙක් බවට පත් වූයේ නැත. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඔහු එක්දින පිටියට සමු දුන්නේ 2019 තෙක් තමන්ට එක්දින කණ්ඩායමේ රැඳී සිටීමේ හැකියාවක් නොමැති බව තේරුම් ගෙන එම ස්ථානය සඳහා නවකයෙකු සූදානම් කිරීමේ ගමනට අවශ්‍ය තරම් කාලය ඉතිරි කරමිනි. පන්දුවාර 20 තරග බිමේ ද තම කාලය අවසන් බව 2016 ලෝක කුසලාන තරගාවලියෙන් පසු රංගන තීරණය කරන  ලදි.

එපමණක් නොව අවශ්‍යතාවක් ඇතිවූ සෑම අවස්ථාවක දී ම, ටෙස්ට් කණ්ඩායමේ නායකත්ව පුරප්පාඩුව සැපිරීම සඳහා නොබියව ඉදිරිපත් වූ රංගන නිත්‍ය නායකයෙකු පැමිණි සෑම විටම නොපැකිලිව ඔහුට ඉඩ දෙන්නට ද කටයුතු කරන ලදි. වසර ගණනාවක ආදර්ශමත් ක්‍රීඩා දිවිය තුල ඔහු හට ගරු නොකරන ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කරළිය තුළ නම් රංගනට මුණගැසී තිබිය  නොහැක. එබැවින් රංගන පිළිබඳ සඳහන් කිරීමේ දී පවා ගරුත්වයක් ප්‍රදර්ශනය කළ යුතු බව සැවොම මතක තබා ගන්නේ නම් අගනේය.

⇒ රෙක්ස් ක්ලෙමන්ටයින් විසින් රචිත ලිපියක සිංහල අනුවාදයකි.

පරිවර්තක සටහන – මෙම පරිවර්තනය සිදු කෙරෙන අවස්ථාව වන විට රංගන හේරත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවකට හිමිකම් කියන වමත් පන්දු යවන්නා බවට පත් වී අවසානය. ඔහු විසින් පසු කරන ලද්දේ ටෙස්ට් කඩුලු 414කට හිමිකම් කියන වසීම් අක්‍රම් නම් විශිෂ්ට පන්දු යවන්නාගේ වාර්තාවයි. රංගන හේරත්ගේ විශිෂ්ටත්වය පිළිබඳ තවත් උදාහරණ අවශ්‍ය ද?

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<