රුහුණ නීල වර්ණයෙන් බැබළෙන 118 වැනි නිල් සටන

988

මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින් දෙවැනි තැන හිමි මාතර සාන්ත තෝමස් සහ සාන්ත සර්වේශස් විද්‍යාලාන්තර “රුහුණු නිල් මහා සටන” වාර්ෂික ක්‍රිකට් තරගය 118 වැනි වරටත් මේ මස 23, 24 සහ 25 තෙදින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

රිච්මන්ඩ්වරුන් ආදරවන්තයන්ගේ තෑගි මේසයම රැගෙන යති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ..

මෙවර තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ තරූෂ කාවින්ද ද, සාන්ත සර්වේශස් විද්‍යාලයේ තිලාන් ප්‍රශාන් ලොරෙන්සුහේවා ද තම කණ්ඩායම් වෙනුවෙන් නායකත්වය දරමින් කාසියේ වාසිය උරගා බැලීමට සූදානමින් සිටී.

“රුහුණු නිල්වලා නදී ක්‍රිකට් තරගය” ලෙසින් ද කලක් හැඳින්වූ මෙම තරග ඉතිහාසයේ ආරම්භය 1900 වසරයි. මෙතෙක් පැවති නිල් සටන් තරග ඉතිහාසයේ වැඩිම තරග ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමි කර ගෙන සිටිනුයේ තරග 32ක් ජයග්‍රහණය කළ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ය. සාන්ත සර්වේශස් විද්‍යාලයට හිමි ජයග්‍රහණ සංඛ්‍යාව 27කි. සෙසු තරග 58 ජය පරාජයෙන් තොරව අවසන් ව ඇත.

තරග ඉතිහාසයේ අවසන් වරට තරගයක් ජයග්‍රහණය කිරීමේ අභිමානය දරා සිටිනුයේ සාන්ත තෝමස්වරුන් ය. ඔවුන් 2007 වසරේ දී තාරක දුශාන්තගේ නායකත්වයෙන් එම තරගය ජයග්‍රහණය කර ඇත. සාන්ත සර්වේශස් විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 1971 වසරේ දී ය. ඒ නිමල් මුණවීරගේ නායකත්වය යටතේ ය.

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් හැඳින්වනුයේ ලෝක ක්‍රිකට් වංශ කතාවේ “මාස්ටර් බ්ලාස්ටර්“ සනත් ජයසූරිය ය. ඔහු 1998 වසරේ දී සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවමින් වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වී ඇත. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රුචිර පල්ලියගුරුගේ ද ආඩම්බර සර්වේශියානුවෙකි.

සාන්ත තෝමස් විද්‍යාලය බිහි කළ ක්‍රීඩකයන් අතුරින් ඉන්දික ද සේරම් සහ ප්‍රභාත් නිශ්ශංක ප්‍රමුඛ තත්ත්වයේ ලා සැලකේ.

සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සහ සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස නියෝජනය කරමින් මෙවර පාසල් ක්‍රිකට් වාරයේ දී සක්‍රීය වූ කණ්ඩායම් දෙකකි. තමන්ට හිමි කාණ්ඩ තුළ සුවිශේෂී දක්ෂතා දක්වා ඇති මෙම කණ්ඩායම් දෙක මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වීමේ දී තම තමන්ගේ පෙර දක්ෂතා උපයෝගී කර ගනු නියත ය.

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, මොරටු විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් තරගාවලියේ තම කාණ්ඩයේ 7 වැනි ස්ථානයට පත් වීමට ප්‍රසාද ලකුණු ලබා ඇත.

සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම දෙවැනි කොටසේ තම කාණ්ඩයේ 5 වැනි ස්ථානය හිමි කර ගන්නේ තරග 12කට සහභාගී වෙමින් මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක් ද කොළඹ වෙස්ලි විද්‍යාලය, සහිරා විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ ද වාර්තා කර ගනිමිනි.

මාතර සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

තරූෂ කාවින්දගේ නායකත්වයෙන් යුත් සාන්ත තෝමස් විද්‍යාලයේ උප නායකත්වය හිමිව ඇත්තේ මලීශ ද සේරම් වෙත ය. තිලාන් ප්‍රශාන් ලොරෙන්සුහේවාගේ නායකත්වයෙන් යුත් සාන්ත සර්වේශස් විද්‍යාලයේ උප නායකත්වයේ වගකීම චරිත් හර්ෂණ වෙත හිමිව ඇත. මොවුන් සියලු දෙනා හා අනෙකුත් සාමාජිකයන් ද එක්ව 118 වැනි රුහුණු නිල් මහා සටනේ ජයග්‍රාහී කුසලානය තමන් සන්තක කර ගැනීමට තම සියලු උපායන් සන්නද්ධ කර ගනිමින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයට පිවිසෙද්දී ThePapare.com එම තරගයේ තොරතුරු ඔබට සමීප කරන්නට බලාපොරොත්තුවෙන් සිටී.

වසර 46ක් ඉපැරණි ජයග්‍රාහී මතකය යළි ආවර්ජනය කිරීමට බලා සිටින සාන්ත සර්වේශියානුවන්ගේ සිහිනය ද, වසර 10කට පෙර ලත් ජයග්‍රහණය තව දුරටත් තමන් සන්තකේම තබා ගැනීමේ සිහිනය ද පෙරදැරිව මාතර පුරය කලඹන රුහුණු නිල් සටන්කාමීන්ට අපගේ සුබ පැතුම්.

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම;

තරූෂ කාවින්ද්‍ය (නායක), මලීශ ද සේරම් (උප නායක), මිහිසල් අමෝද්, ලහිරු දිල්ශාන්,  උදිත් සත්සර, සිනේත් සිතාර, වෝෂිත අමරසිංහ, ගිශාන්තික ජයවීර, හසරු අනුරංග, කවිඳු රිද්මාල්, හිරූශ ජීවන්ත, ජේ. පී. හරිඳු, ජී. විදුශාන්, චාමික රණසිංහ, හිරන්ත ලක්ශාන, සතිර තීක්ෂණ, සචිර රශ්මික, රුසිරු චානක ද ලැනරෝල්, නිමන්තක භාෂණ, නිපුන රුචිර, සංජය මධුරංග

කණ්ඩායම් භාර නිලධාරීන්; ඩබ්ලිව්. පී. පියතිස්ස මහතා (විදුහල්පති), ජන්ත මතගදීර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ඩබ්ලිව්. එම්. ඒ. ඩී. ලක්මාල් මහතා (කණ්ඩායම භාර ආචාර්ය), චරිත් පල්ලියගේ මහතා (පුහුණුකරු), දුමිදු හේවාපතිරණ (සහය පුහුණුකරු),

සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම;

තිලාන් ප්‍රශාන් ලොරෙන්සුහේවා (නායක), චරිත් හර්ශණ (උප නායක), ඉසුරු උදයංග දලදාවත්ත, සඳරු නේත්මිණ, පසිඳු මනුප්‍රිය, රිසිර ලක්වින්, ශෂික දුල්ෂාන්, සුපුන් කාවින්ද, කේසර නුවන්ත, චේතක දෙනුවන්, රුවින්ද රෝචන, ඩිලක්ෂණ කාවින්ද, පසන් තත්සර, පුෂ්පිත ඩිල්ෂාන්, දිනුර දිල්මිත්, කවිදු දුලක්ෂිත, වරුණ විශ්ව, රුචිර සංකල්ප, කවිශ්ක හර්ෂමාල්, ශානක දිදුලන්ත, නිපුන් රංගීත්, රිතික් අනුරාධ, නවීන් සාහිත්, චිහාන් කළිදු

කණ්ඩායම් භාර නිලධාරීන්; මුණිදාස රත්නසේකර මහතා (විදුහල්පති), කේ. ඒ. කේ. ප්‍රසන්න මහතා (ක්‍රීඩා භාර සහකාර විදුහල්පති), ජී. එච්. නයනානන්ද ද සිල්වා මහතා (කණ්ඩායම භාර ආචාර්ය), රවීන්ද්‍ර පල්ලියගුරුගේ මහතා (පුහුණුකරු)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<