ශෂික දුල්ශාන් සාන්ත තෝමස් ඉනිම වනසා දමයි

972

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී අද (23) ආරම්භ වූ සාන්ත තෝමස් සහ සාන්ත සර්වේශස් විද්‍යාලාන්තර 118 වැනි රුහුණු නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දී සාන්ත තෝමසුවන්ගේ ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට ශෂික දුල්ෂාන් සමත් විය.

තවත් වසරකට නිල් මහා සටනේ සක්‍රීය වීමට වරම් ඇති ශෂිකගේ පන්දු යැවීම සාන්ත තෝමස් ඉනිම නිමාවේ දී සටහන් වූයේ ලකුණු 56කට කඩුලු 7ක් ලෙසිනි. ඒ වෙනුවෙන් ඔහු පන්දුවාර 25ක් යවා තිබුණ අතර ඉන් පන්දුවාර 5ක්ම නොඉඳුල් පන්දු වාර විය.

රුහුණ නීල වර්ණයෙන් බැබළෙන 118 වැනි නිල් සටන

මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින් දෙවැනි තැන…

කාසියේ වාසිය දිනූ සාන්ත සර්වේශස් නායක තිලාන් ප්‍රශාන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 158ක් පමණි. ලකුණු පුවරුව අඩු ලකුණු සංඛ්‍යාවකින් සැරසුණ ද මේ වෙනුවෙන් දිනයේ කාර්තු දෙකක්ම ඔවුන් වෙන් කර ගත්හ.

දිවා විවේකය වෙනුවෙන් තරගය නතර කරන විට සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පන්දුවාර 26කට මුහුණ දෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 63ක් ලබා සිටියහ. ඒ වන විට පිටියේ නොදැවී සිටියේ මිහිසල් අමෝද් (08) සහ ලහිරු දිල්ශාන් (29) ය.

දිවා විවේකයෙන් අනතුරුව ගෙවුණ කාර්තුව සාන්ත තෝමස් ක්‍රීඩකයන් එතරම් වාසනාවන්ත වූයේ නැත. ඉතිරි කඩුලු 8 තවත් ලකුණු 95ක දී බිඳ වැටීමෙන් ඔවුන්ගේ ඉනිම අඩපණ වූහ.

සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් අද දවසේ වැඩි කාර්ය භාරයක් ඉටු කරනු ලැබුවේ ආරම්භක පිතිකරු ලහිරු ඩිල්ශාන් ය. ගිලා බහින තෝමස් ඉනිමේ එක් අන්තයක් සම්පූර්ණයෙන්ම ආවරණය කර ගත් ලහිරු 5 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වන විට පන්දු 130කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියේය.

ලහිරු තෝමසුවන්ගේ ඉනිමේ සාර්ථක සබඳතා තුනකට දායක වීම කැපී පෙණුනි. එසේ නොවන්නට තෝමස් ඉනිම ඉතාම දුප්පත් වීමට ඉඩ තිබුණි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් හිරන්ත ලක්ෂාන් (13) සමඟ එක්වූ ලහිරු ලකුණු 30ක් එම කඩුල්ලට එක් කළේය. අනතුරුව තෙවැනි කඩුල්ලට මිහිසල් අමෝද් (22) සමඟ එක්වෙමින් ලකුණු 40ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. එම සබඳතාව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය.

අනතුරුව ලහිරු තමන්ගේ ඉනිම අවසන් කරන විට 5 වැනි කඩුල්ලට නායක තරූෂ කාවින්ද්‍ය (22) සමඟ එක් වෙමින් ලකුණු 35ක සබඳතාවක් එක් කළහ. එතැන් සිට තවත් ලකුණු 38ක් පමණක් ලකුණු පුවරුවට එක් වෙද්දී ඉතිරි කඩුලු 5 දවා ගැනීමට සාන්ත සර්වේශියානුවන් සමත් වූහ.

සාන්ත තෝමස් ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී ශෂිකට අමතරව සුපුන් කාවින්ද කඩුලු 2ක් ද, නායක තිලාන් ප්‍රශාන් කඩුල්ලක් ද දවා ගත්තේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත සර්වේශස් විද්‍යාලය දිනය අවසාන වන විට කඩුලු 2ක් දැවී ලකුණු 63ක් ලබා සිටියේය. එම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් ගොඩ නැගීමට සුපුන් කාවින්ද සහ පුෂ්පිත ඩිල්ශාන් සමත් විය. වමතින් පිත්ත හැසිර වූ සුපුන් කාවින්ද පන්දු 39ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තේය.

සුපුන්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසියේ ද තවත් වමත් පිතිකරුවෙක් වූ ‍චේතක දෙනුවන් ය. ඔහුට ද වැඩි වේලා පිටියේ රැඳී සිටීමට සාන්ත තෝමසුවන් ඉඩ දුන්නේ නැත. ලකුණු 4ක් ලබා තිබිය දී ඔහු පිටියෙන් ඉවත් කරන විට සාන්ත සර්වේශස් ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 54ක් සේ සටහන්ව තිබුණි.

ගම්පහත්, කොළඹත් ඇවිළෙන නීල හරිත සටන

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර 5 වැනි වරට පැවැත්වෙන…

දවාගත් කඩුලු දෙකේම හිමිකාරිත්වය සචිර රශ්මික වෙත හිමි විය. දිනය අවසාන වන විට ඔහුගේ පන්දු යැවීම සටහන්ව තිබුණේ 5-3-10-2ක් ලෙසිනි.

සාන්ත සර්වේශියානු අනෙක් ආරම්භක පිතිකරු පුෂ්පිත ඩිල්ශාන් පන්දු 51කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා ගනිමින් එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටින අතර අනෙක් අන්තයෙන් සතිරු නෙත්මිණි එක් ලකුණක් ලබා නොදැවී පිටියේ රැඳී සිටී.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (68.5) ලහිරු ඩිල්ශාන් 60, මිහිසල් අමෝද් 22, තරූෂ කාවින්ද්‍ය 22, ශෂික දුල්ශාන් 7/56, සුපුන් කාවින්ද 2/26

සාන්ත සර්වේශස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 63 (19.0) සුපුන් කාවින්ද 22, පුෂ්පිත ඩිල්ශාන් නොදැවී 23, සචිර රශ්මික 2/10

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<