මාර්තු 10 සහ 11 දින වල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මොරටු රන්  සටනේ 67 වන දිගහැරුම වේල්ස් කුමරුවන් පරදවමින් සාර්ථකව අවසන් කරන්නට ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

සල්පිටි රයිගම් කොරළ හටනේ ශූරතාවය මෙවරත් පිළියන්දලට?

වසර 4ක් “සල්පිටි රයිගම් කොරළ හටනේ” හිමිකරුවන් වූ පිළියන්දල මධ්‍ය විදුහල් ක්‍රීඩකයෝ මෙවරත් ජයග්‍රහණය අපේක්ෂාවෙන් පෙබරවාරි 24, 25 සහ 26 දිනයන් හි…

ඉතිහාසයෙන් බිඳක්.

ප්‍රතිවාදී වේල්ස් කුමර විද්‍යාලය මෙන්ම සාන්ත සෙබස්තියන් විද්‍යාලය ද ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කල පාසලකි. දුලිප් මෙන්ඩිස්, රොජර් විජේසූරිය සහ රොමේෂ් කලුවිතාරණ ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනී. 1975 සහ 1979 අතර කාල සීමාව තුල රොජර් විජේසූරිය දවාගෙන ඇති කඩුලු 22 තවමත් මොරටු රන් සටන මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙකු සතු වැඩිම කඩුලු සංඛ්‍යාවයි. රොජර් මෙන්ම ඔහුගේ සොයුරු රසල් විජේසූරිය ද එකල ශ්‍රී ලංකා ජාතික 19න් පහල කණ්ඩායම නියෝජනය කල අතර මෑත කාලීනව සනිත ද මෙල් සහ අනුක් ප්‍රනාන්දු ද එම දස්කම දැක්වූ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් වෙයි. අවසන් වරට මොරටු රන් සටන ජයග්‍රහණය කරා මෙහෙයවූ නායකයා වන සනිත ද මෙල් 2012 යොවුන් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා නායකත්වය දැරූ අතර අනුක් ප්‍රනාන්දු ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම නියෝජනය කලේ 2014 වසරේදීයි.

එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කල ජාතික 19න් පහල කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවති එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග වරම් පවා දිනා ගත් අවිශ්ක ප්‍රනාන්දු ද මෙවර මහා ක්‍රිකට් තරගයේ දී සාන්ත සෙබස්තියන් කණ්ඩායම නියෝජනය කරයි.

අවධානය යොමු වන ක්‍රීඩකයන්

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ මෙවර නියමුවා වන්නේ ජාතික 19න් පහල කණ්ඩායමේ අත්දැකීම් සහිත ක්‍රීඩක මිශේන් සිල්වා යි. වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව රැස් කළ ලකුණු 132 ද සමඟින් මෙවර තරග වාරය තුල ලකුණු 650 සීමාව පසු කර ඇති නිමේෂ් බණ්ඩාර කණ්ඩායමේ උප නායක ලෙස කටයුතු කරයි. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තරුෂ ප්‍රනාන්දු සාන්ත සෙබස්තියන් පිතිකරණ බලඇණියේ ප්‍රධානතම සාමාජිකයෙකු වන අතර ඔහු මෙවර තරග වාරයේ ලකුණු 700 සීමාව ද පසු කර තිබෙන්නේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව නොදැවී වාර්තා කල ද්විත්ව ශතකයක් ද සමඟයි.

2016/17 සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රිකට් සංචිතයේ ඡායාරූප ඇල්බමය

තවත් ජාතික යොවුන් කණ්ඩායම් නියෝජනයක් වන වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම සාන්ත සෙබස්තියන් පන්දු යවන්නන් අතර මුල් තැන ගනිද්දී, තරුෂ ප්‍රනාන්දු තම පා දඟපන්දුවෙන් ද, නිමේෂ් බණ්ඩාර තම පිට දඟපන්දුවෙන් ද කඩුලු 30 සීමාව පසු කර තිබේ.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය මෙවර තරග වාරයේ දී තරග 15කට සහභාගී වී ඇති අතර ඉන් තරග 2කින් පූර්ණ ජයග්‍රහණ ලබා ඇත. ඔවුන් තරග 2ක් පරාජය වී තිබුනත් ඒ ඔවුන්ගේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් 3 දෙනෙක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා පාසල් කණ්ඩායමෙන් ඉවත්ව සිටි අවස්ථා වල දී බව අමතක නොකළ යුතුය.

පුහුණු කාර්ය මණ්ඩලය

ඉමාල බොතේජු දෙවන වසරටත් සාන්ත සෙබස්තියන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර කණ්ඩායම් භාර ආචාර්යවරයා ලෙස වගකීම දරන්නේ ෆ්‍රෑන්ක් කුරේ විසිනි.

සාරාංශය

ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කල සියලු ක්‍රීඩකයන් නැවතත් කණ්ඩායම සමඟ එක්ව සිටීම හේතුවෙන් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය මෙවර 67 වන මොරටු රන් සටනට පිවිසෙන්නේ යලිත් වරක් ජයග්‍රහණයක අභිමානය හිමි කර ගැනීමේ වැඩි වාසි සමඟිනුයි.

සාන්ත සෙබස්තියන් සංචිතය

මිශේන් සිල්වා (නායක), නිමේෂ් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, ඒෂර් වර්ණකුලසූරිය, ඩේමියන් ඩි බයිසර්, මලිත පීරිස්, ප්‍රසෙන් ප්‍රනාන්දු, තාශික් පෙරේරා, නිෂිත අභිලාෂ්, දුලාජ් සලිංක, තරුෂ ප්‍රනාන්දු, විමුක්ති ද මෙල්, සමිත පීරිස්, නිඛිල් ප්‍රනාන්දු, නමෝෂ්ක ද සිල්වා, ප්‍රවීන් කුරේ, නවිඳු ප්‍රනාන්දු, ගිහාන් සේනානායක.