වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අවසන් මහා තරගය සඳහා පෙරළිකාර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමඟ අපරාජිත සාන්ත පීතර විද්‍යාලය තරග වැදුණු අතර තියුණු තරගයකට පසු ලකුණු 26-21ක් තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය පිළිවෙළින් පලඟ, බඳුන හා පලිහ කුසලාන ජය ගන්නා ලදි.

විද්‍යා ක්‍රීඩකයින්ගෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට අමිහිරි පරාජයක්

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (28)…

නම් දැරූ පාසල් රැසක් හරවා යවමින් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පාසල් රැසක් තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ අතර පෙරළිකාර සිදුවීම් රැසක් සිදු වූ මෙම තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.   

දින දෙකක සුපිරි තරග රැසකින් අනතුරුව තරගාවලිය පුරාම අපරාජිතව සිටීමට සමත් වූ සාන්ත පීතර විද්‍යාලය හා තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම වූ විද්‍යාර්ථ විද්‍යාලයත් කුසලාන ශූරතාවේ අවසාන මහා තරගයේ දී එකිනෙකා හමු විය.

සාන්ත පීතර විද්‍යාලය ක්‍රීඩා කළ සිව්වැනි තරගය මේ තරගය වූ අතර එම නිසාම ඔවුන් ඉතා වේගවත් ලෙස තරගයට අවතීර්ණ වූ අතර දිලාන් මදුශංක සාන්ත පීතරයින් වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය.

කෙසේ නමුත් සාන්ත පීතරයින්ගේ ප්‍රහාරයට සුපිරි පිළිතුරක් ලබා දුන් විද්‍යාර්ථ ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් ද්විත්වයක් කෙටි කාලසීමාවක් තුල දී රැස්කර ගත් අතර සාගර දිල්ශාන් හා චිරන්ත කළුආරච්චි එම උත්සාහක දිනුම්වලට හිමිකම් කියන්නට සමත් වූහ. සාන්ත පීතරයින් නොසිතූ ලෙස පසු පාදයට ඇද දමමින් පළමු අර්ධය අවසානයේ ලකුණු 07–14ක් ලෙස පෙරමුණේ සිටින්නට මහනුවර විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සමත් වූහ.  

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 07 – 14  විද්‍යාර්ථ විද්‍යාලය

ඉසිපතන විද්‍යාලයට එරෙහි තරගය මෙන්ම විද්‍යා විද්‍යාලයට එරෙහිව පැවති තරගය ද පසුපසින් හඹාවිත් ජය ගත් සාන්ත පීතර ක්‍රීඩකයෝ දෙවන අර්ධය ඉතා විශ්වාසයෙන් යුතුව ආරම්භ කළ අතර ලකුණු පරතරය ලකුණු දෙකකට සීමා කරමින් ශේන්ටිකේ ප්‍රනාන්දු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය.

“විස් විදු” රග්බි ශූරතාවයට කොළඹ සරසවියෙන් ප්‍රබල සංචිතයක්

ජාත්‍යන්තර රග්බි උණුසුම පහව යන්නටත් පෙර ජාතික ක්‍රීඩා පිටිය තුල නැවතත් මහා සංග්‍රාමයක්..

යශෝධ මෙන්ඩිස් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් සාන්ත පීතර විද්‍යාලය තරගයේ ඉදිරියට ගෙන ආවේ තවත් මිනිත්තු හතරක් පමණක් තරගයේ ඉතිරිව තිබිය දී ය.

විද්‍යාර්ථ විද්‍යාලයට ඉතා ආසන්න අවස්ථා කිහිපයක් හිමිවූවද ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. මහනුවර කණ්ඩායම තවත් පසු පාදයට ඇද දමමින් ස්ටේලෝන් එර්ඩ්ලි (Eardley) සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ විද්‍යාර්ථ විද්‍යාලයෙන් ජයග්‍රහණය තවත් ඈතට රැගෙන යමිනි.

කාලය තමන් සතුව නොතිබුණ ද විද්‍යාර්ථ ක්‍රීඩකයෝ තවත් එක ආක්‍රමණයක් දියත් කළ අතර ඔවුන්ගේ මහන්සියට ප්‍රතිඵල ලබා දෙමින් තවත් උත්සාහක දිනුමක් කරා ඔවුන් සීමාව ඉක්මවා ගිය ද ඒ වන විටත් තරගය ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබුණි. ඒ අනුව තරගාවලිය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ සාන්ත පීතර ක්‍රීඩකයෝ මෙවර පාසල් රග්බි ක්‍රීඩා වාරයේ සිය දෙවන තරගාවලි ජයග්‍රහණයත් වාර්තා කිරීමට සමත් වූහ.

අවසාන ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 26 (4T, 3C) – 21 (3T, 3C) විද්‍යාර්ථ විද්‍යාලය

සියලු දෙනාම බලාපොරොත්තුවෙන් බලා සිටි දෙවන දිනය කුසලාන අර්ධ අවසන් පූර්ව තරග හතරෙන් ඇරඹුණු අතර නැවත වතාවක් ශූරයින් වන්නට බලා සිටි ත්‍රිත්ව විද්‍යාලය විසින් කොළඹ රාජකීය විද්‍යාලය කුසලාන ශූරතාවයෙන් ඉවතට ඇද දමන ලදි.

තරගාවලියේ තවත් පෙරළිකාර ජයක් වාර්තා කරමින් විද්‍යාර්ථ විද්‍යාලය එක් ලකුණකින් වෙස්ලි විද්‍යාලය පරාජය කළේය.

පාසැල් රග්බි පිටියේ තවත් තරගාවලියක් ලබන මස මුලදී

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 16න් ..

ඉසිපතනය හමුවේ ලකුණු 22-07ක් ලෙස පසුපසින් සිටි සාන්ත පීතර ක්‍රීඩකයෝ සුපිරි ක්‍රීඩා විලාශයක් පෙන්වමින් ඉසිපතනය ලකුණු 24-22ක් ලෙස පසුකරමින් අවසන් පූර්ව වටයට පිවිසුණු අතර විද්‍යා විද්‍යාලය ලකුණු 28-00ක් ලෙස සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරන ලදි.

ත්‍රිත්ව විද්‍යාලය 12 7 රාජකීය විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය 15 14 වෙස්ලි විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය 24 22 ඉසිපතන විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය 0 28 විද්‍යා විද්‍යාලය

බඳුන ශූරතාවේ කිංග්ස්වුඩ්, සහිරා හා ඩී. එස්. සේනානායක විදුහල් හමුවේ මලියදේව, මහානාම හා ලුම්බිණි විදුහල් පරාජය වූ අතර ප්‍රබල සාන්ත ජෝසප් විද්‍යාලයට නොසිතූ සුපිරි සටනක් දෙන්නට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් විය. කෙසේ වුවත් අවසානය වන තෙක් ඉතා ඉවසීමෙන් තරග කළ සාන්ත ජෝසප් විද්‍යාලය එම තරගය ජය ගැනීමට සමත් විය.

කිංග්ස්වුඩ් විද්‍යාලය 45 5 මලියදේව විද්‍යාලය
සහිරා විද්‍යාලය 28 0 මහානාම විද්‍යාලය
ඩී. එස් සේනානායක විද්‍යාලය 47 0 ලුම්බිණි විද්‍යාලය
සාන්ත ජෝසප් විද්‍යාලය 19 15 ආනන්ද විද්‍යාලය  

පලිහ ශූරතාවේ මොරටු විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය හා පිළියන්දල මාධ්‍ය විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කළ අතර පානදුර රාජකීය විද්‍යාලය දෙවන දිනයේ දී තරගාවලියෙන් ඉවත්වීම නිසා සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලයට නිතරග ජයක් හිමි විය.   

මොරටු විද්‍යාලය 24 5 ඇහැලියගොඩ මාධ්‍ය විද්‍යාලය
ශ්‍රී සුමංගල විද්‍යාලය 49 7 මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය
පානදුර රාජකීය විද්‍යාලය W/O සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලයට
සාන්ත ඇලෝසියස් විද්‍යාලය 0 22 පිළියන්දල මාධ්‍ය විද්‍යාලය

කුසලාන අර්ධ අවසන් පුරව වටයේ පරාජයන් ලැබූ කණ්ඩායම් හතර අතරින් රාජකීය විද්‍යාලය වෙස්ලි විද්‍යාලය හමුවේ පහසු ජයක් හිමි කර ගත් අතර ඉසිපතන විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කිරීමට සමත් විය.

රාජකීය විද්‍යාලය 21 5 වෙස්ලි විද්‍යාලය
ඉසිපතන විද්‍යාලය 24 7 සාන්ත අන්තෝනි විද්‍යාලය

පලිහ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් මොරටු විද්‍යාලය පරාජය කළ අතර තියුණු සටනකින් අනතුරුව පිළියන්දල මධ්‍ය විද්‍යාලය පරාජය කරමින් සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය අවසන් මහා තරගයේ සිය අසුන වෙන්කර ගැනීමට සමත් විය.  

මොරටු විද්‍යාලය 7 26 ශ්‍රී සුමංගල විද්‍යාලය
සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර 17 10 පිළියන්දල මධ්‍ය විද්‍යාලය

පළමු දිනයේ අවාසනාවන්ත ලෙස ත්‍රිත්ව විද්‍යාලය හමුවේ පරාජය වුන කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ බඳුන ශූරතාවේ අවසන් පූර්ව වටයේ දී සහිරා ක්‍රීඩකයින් පරාජය කිරීමට සමත් විය. මේ අතර තරගාවලියේ තවත් පෙරළියක් කරමින් ප්‍රබල සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කරන්නට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.   

කිංග්ස්වුඩ් විද්‍යාලය 17 0 සහිරා විද්‍යාලය
ඩි. එස් සේනානායක විද්‍යාලය 10 7 ශාන්ත ජෝසප් විද්‍යාලය

තියුණු වටයක පෙරනිමිති පෙන්නුම් කළ කුසලාන අවසන් පූර්ව වටයේ ද පෙරළි රැසක් සිදු වූ අතර පසුගිය වසරේ ශූරයින් තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අවසන් මහා තරගයට පිවිසෙන්නට පෙරළිකාර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් විය.

>> තරගාවලියේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ප්‍රබල විද්‍යා විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව වටයේ දී සුපිරි සටනක නිරත වූ අතර විද්‍යා විද්‍යාලය පෙරමුණ ගැනීමට සමත්වුනත් නැවත වතාවක් හඹාවිත් තරගය ජය ගන්නට සාන්ත පීතර ක්‍රීඩකයෝ සමත් වූහ.

ත්‍රිත්ව විද්‍යාලය 14 19 විද්‍යාර්ථ විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය 12 7 විද්‍යා විද්‍යාලය

පලිහ අවසන් මහා තරගය

සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය පරාජය කරමින් පලිහ ශූරතාව මහනුවරට රැගෙන යන්නට ශ්‍රී සුමංගල විද්‍යාලයට හැකි විය.

මහනුවර ක්‍රීඩකයෝ තරගය ආරම්භයේම උත්සාහක දිනුම් ත්‍රිත්වයක් රැස්කරගෙන තරගයේ පෙරමුණ ගන්නට සමත් විය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් රැස්කර ගනිමින් තරගයට අවතීර්ණ වීමට උත්සහ කළ ද ජයග්‍රහණය උදෙසා සටන් කිරීමට තරම් ඔවුන්ට කාලය ප්‍රමාණවත් වූයේ නැත.

ශ්‍රී සුමංගල විද්‍යාලය 15 12 සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර

බඳුන අවසන් මහා තරගය

දිනූෂ හේමසිරි තරගයේ ආරම්භයේම උත්සාහක දිනුමක් රැස්කර ගනිමින් මහනුවර කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් මවිත කිරීමට සමත්වුවත් පළමු අර්ධයේ උත්සාහක දිනුම් දෙකක් ද, දෙවන අර්ධයේ තවත් උත්සාහක දිනුම් දෙකක් ද වාර්තා කරමින් මහනුවර කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සම්පූර්ණයෙන්ම තරගය ඩැහැ ගැනීමට සමත් විය.

කිංග්ස්වුඩ් විද්‍යාලය 22 5 ඩි, එස් සේනානායක විද්‍යාලය

පලඟ අවසන් මහා තරගය

උත්සාහක දිනුම් පහක් වාර්තා කරමින් ඉසිපතන කණ්ඩායම සම්පූර්ණයෙන් අසරණ කරමින් කොළඹ රාජකීය විද්‍යාලය පලඟ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

රාජකීය විද්‍යාලය 29 0 ඉසිපතන විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<