මනෙල්කගේ ශතකයත් සමඟින් ජය සාන්ත පීතර විදුහලට

288
Joe-Pete

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර 43 වන වරට පැවති සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 54ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය අද (25) සමත් විය. පීටර් ඒ. පිලායි පියතුමන්ගේ සමරු කුසලානය වෙනුවෙන් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විය.

ප්‍රථම දිනය නිමාවෙද්දී මහානාමය පෙරමුණට

මෙවර තරගය ආරම්භ වීමටත් ප්‍රථම මාධ්‍යයේ අවධානය දිනා ගන්නට සමත් වූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 11වැනි රන් සටන අද (24) කොළඹ පී. සරා ඕවල් පිටියේ…

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව සාන්ත පීතර කණ්ඩායමේ නායක ලක්ෂිත රොද්‍රිගෝ පළමුව පන්දුවට පහරදීමේ වාරය සිය කණඩායම වෙත පවරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි සාන්ත පීතර ආරම්භක පිතිකරු යුගලය වූ අනිශ්ක පෙරේරාට සහ සන්තුෂ් ගුණතිලකට පළමු කඩුල්ල වෙනුවෙන් එතරම් ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගීමට නොහැකි විය. ඒ සාන්ත ජෝසප් කණ්ඩායමේ ජෙහාන් ඩැනියෙල්ගේ පන්දු යැවීම හමුවේ අනිෂ්ක පෙරේරා අනතුරකට ලක්වීම නිසාය.

[rev_slider dfcc728]

සාන්ත පීතර ඉනිමේ වාර්තා වූ ඉහළම සබඳතාවය වූ ලකුණු 176ක සබඳතාවය සිව්වන කඩුල්ල වෙනුවෙන් සුලක්ෂණ සිල්වා සහ මනෙල්ක ද සිල්වා අතර ගොඩනැගුණි. සාන්ත පීතර ඉනිමේ නැංගුරම බවට පත්වූ මනෙල්ක ද සිල්වා සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 107ක් රැස් කිරීමට සමත්වූයේ තරගයේ වාර්තා වූ එකම ශතකයේ හිමිකරුවා බවට පත්වෙමිනි. ඔහු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ද සාමාජිකයෙකි. මනෙල්කට අනගි සහයක් ලබා දුන් සුලක්ෂනට සිය ශතකය අහිමි වී ගියේ ලකුණු 10කිනි.

සාන්ත පීතර කණ්ඩායමේ පන්දුවාර 50 නිමා වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 311ක් ලෙස සටහන් විය. සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් නිපුන් සමරසිංහ සහ දිනෙත් මදුරාවල ප්‍රතිවාදී කඩුලු 2 බැගින් බිඳ හෙලීය.

ලකුණු 312ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සාන්ත ජෝසප් ආරම්භක පිතිකරුවන් දෙදෙනාටම පිටියේ ස්ථාවරවීමට අවස්ථාවක් ලබා නොදුන් සාන්ත පිතර පන්දු යවන්නන් මුළු ලකුණු පුවරුවට ලකුණු 8ක් එකතු වෙද්දී ක්‍රීඩාගාරය වෙත ඔවුන් හරවා යැවීමට සමත්විය.

ඉන් අනතුරුව සාන්ත ජෝසප් ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය වූ ලකුණු 114ක්  තෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තා කිරීමට හවීත් පෙරේරා සහ දිනෙත් මදුරාවල සමත්විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් දිනෙත් මදුරාවල ලකුණු 73ක් සිය කණ්ඩායමට දායාද කිරීමට සමත්විය. ඉතා අවාසනාවන්ත අයුරින් අර්ධ ශතකය පෙනී පෙනී ලකුණු 47කට දැවී යාමට හවිත් පෙරේරාට සිදු විය.

සාන්ත පීතර නායක ලක්ෂාන් රොද්‍රිගෝ සිය පන්දු යවන්නන්ව මාරු කිරීමෙන් පසු සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට සමත්විය. ඒ දිනෙත් මදුරාවලට සහ හවිත් පෙරේරාට එකා පිටුපස එකා වශයෙන් මොහොතකින් ක්‍රීඩාගාරය වෙත පියමන්කිරීමට ඉඩ හසර සලසා දෙමිනි. සාන්ත ජෝසප් ඉනිමේ පසුපෙලට ජීවයක් එක් කරමින් වේගවත් ලකුණු 35කින් සිය ඉනිම සැරසූ ජෙහාන් ඩැනියෙල්ට සිය කණ්ඩායම වෙනුවෙන් ඊට වඩා දෙයක් කිරීමට අවස්ථාවක් නොලැබිණි.

තරගයේ අවසන් පන්දු වාරය තුළ දී සාන්ත ජෝසප් කණ්ඩායමේ ඉනිම අවසන් වූ අතර ඒ වන විට සාන්ත ජෝසප් ලකුණු පුවරුව සියල්ලන් දැවී ලකුණු 257ක් ලෙස දැක්විණි. සන්තුෂ් ගුණතිලක සහ සචින් සිල්වා අතර කඩුලු 3 බැගින් බෙදී ගියේය.

මෙතෙක් පැවති තරග අතුරින් තරග 21ක ජය සාන්ත ජෝසප් විද්‍යාලය සතුවන අතර මෙවර ලැබූ ජයත් සමඟින් සාන්ත පීතර විද්‍යාලය තරග 20ක් ජය ගැනීමට සමත්විය. එක් තරගයක් ලකුණු සම වීමෙන් ද, තවත් තරගයක් ජය පරාජයකින් තොරව ද නිමා වී ඇත. අද (25) ලැබූ ජයත් සමඟින් සාන්ත පීතර විද්‍යාලය මෙම තරගයේ අඛණ්ඩව ලැබූ තෙවන ජය වර්තා කිරිමට ද සමත්විය.

සාන්ත පීතර විද්‍යාලය  –  කඩුලු 8 කට ලකුණු 311 (පන්දුවාර 50): මනෙල්ක ද සිල්වා 107, සුලක්ෂණ ප්‍රනාන්දු 90, සන්තුෂ් ගුණතිලක 31, දිනෙත් මදුරාවල 2/22 සහ නිපුන් සමරසිංහ 2/58

සාන්ත ජෝසප් විද්‍යාලය – සියල්ලන් දැවී ලකුණු 257 ( පන්දුවාර 49.3): දිනෙත් මදුරාවල 73, හවිත් පෙරේරා 47, ජෙහාන් ඩැනියෙල් 35, සන්තුෂ් ගුණතිලක 3/31 සහ සචින් සිල්වා 3/53

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට