නොකඩවා තෙවන ජයත් ලබා ගැනීමට පීතරයින් මාන බලයි

සාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරියෙන්

195
Josephian-Peterite

සාන්තුවරුන්ගේ සටනට සමගාමීව කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන සීමිත පන්දු වාර එක්දින ක්‍රිකට් තරගාවලියේ 43 වැනි රජ දැක්ම හෙට (25) කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

රුහුණු නිල් මහා සටනට පෙර විපරමක්

කුණු නිල් මහා සටන නැතහොත් රුහුණු නිල් මහා සටන ලෙස ක්‍රීඩාලෝලී ඔබ සැමදෙනාගේම අවධානය දිනා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය…

ඇන්ජලෝ මැතිව්ස්, රසල් ආනොල්ඩ්, තිසර පෙරේරා, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුනරාගමනය සිදු වූ එක්දින තරගාවලියක් ලෙස මෙම එක්දින තරගාවලිය හැඳින්වීමට හැකිය. වසර 22කට පසුව නැවතත් SSC පිටියේ දී පැවැත්වෙන මෙම තරගය පීටර්. ඒ පිලායි පියතුමන්ගේ සමරු කුසලානය උදෙසා පැවැත්වේ.

තරග ඉතිහාසය

වර්ෂ 1975 දී ආරම්භ වී ඇති මෙම එක්දින තරගාවලියේ දැනට තරග 42ක් නොකඩවාම පවත්වා තිබේ. එම තරග වල ප්‍රතිඵල සැලකීමේ දී තරග 21ක ජයග්‍රහණය ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වී ඇති අතර, තවත් තරග 19ක් ජයග්‍රහණය කිරීමට සාන්ත පීතර විද්‍යාලය සමත්ව ඇත. මීට අමතරව එක් තරගයක් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අවසන් ප්‍රතිඵලයකින් තොරව නිමා වී ඇති අතර, තවත් තරගයක ලකුණු සම වී තිබේ.

අවසන් සීමිත පන්දුවාර තරග ප්‍රතිඵලය

පසුගිය වසරේ (2016) පැවැත්වූ 42වන ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට සාන්ත පීතර විද්‍යාලය සමත්ව තිබෙන්නේ විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේයි.

83 වන සාන්තුවරුන්ගේ සටනට සිදු වූයේ කුමක්ද?

83 වන සාන්තුවරුන්ගේ සටන ජයපරාජයෙන් තොරව අවසන් වුවත්, එහි පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකිවිය. එහි දී ජෙහාන් ඩැනියල් සාන්ත ජෝසප් පළමු ඉනිමට ශතකයක් එක් කල අතර, සාන්ත පීතර පිතිකරණයේ දී සන්තුෂ් ගුණතිලක හා මනෙල්ක ද සිල්වා ලකුණු අතරට පැමිණෙන ලදි. පන්දු යැවීමේ දී මිෆ්ලාල් අමීන් සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගන්නා විට, නිපුන් සුමනසිංහ කඩුලු 4ක් සාන්ත ජෝසප් විද්‍යාලයට ලබා දෙන ලදි.

WATCH LIVE: 43RD LIMITED OVERS ENCOUNTER

සාන්ත ජෝසප් විද්‍යාලය

තෙවන වසරේ වර්ණ ලාභී ක්‍රීඩකයෙක් වන රෙවාන් කෙලීගේ ආබාධය සුව නොවීම නිසා ඔහුට මෙම තරගය අහිමි වන නමුත්, තරමක් අත්දැකීම් අවම මුල්පෙළ පිතිකරුවන් කිහිපයක්ම සංචිතයේ දක්නට ලැබේ. නමුත් නිපුන් සුමනසිංහ එම පිතිකරණ ලැයිස්තුව තුල සිටින දැවැන්තයා වී ඇත්තේ ලකුණු 1000 සීමාව ද පසු කරමිනි. වයස අවුරුදු 15ක් පමණ වන ලක්ෂාන් ගමගේ අංශයන් තුනෙන්ම කැපීපෙනෙන ක්‍රීඩකයෙකි. එසේම ප්‍රහාරාත්මක පිතිකරුවෙකි. නායක හරීන් කුරේ සහ ජෙහාන් ඩැනියල් පන්දු යවන්නන්ගේ අංශයේ සිටින ප්‍රබල තුරුම්පු වේ.

අපේක්ෂිත සංචිතය – හරීන් කුරේ (නායක), ටශාන් පෙරේරා, නිපුන් සුමනසිංහ, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ, දිනෙත් මදුරාවල, ජෙහාන් ඩැනියල්, ශෙවෝන් ෆොන්සේකා, පහන් පෙරේරා, ලක්ෂාන් ගමගේ, හවින් පෙරේරා, රුචිර ඒකනායක

සාන්ත පීතර විද්‍යාලය

නිමා වූ පාසල් මහා ක්‍රිකට් තරගයේ දී පළමු ඉනිමේ කඩුල්ලක් දවාලීමට සාන්ත පීතර පන්දු යවන්නන් තරමක් දුරකට ප්‍රමාද වුවත්, ඔවුන් තම දඟ පන්දු යවන්නන්ගේ සවිබලය මෙම තරගය තුල හැකි උපරිමයෙන් භාවිතා කරන බව නම් නිසැකය. එහි දී පිට දඟ පන්දු යවන චතුර ඔබේසේකර මත හා වමතින් දඟ පන්දු යවන මිෆ්ලාල් අමීන් යොදවා සාන්ත ජෝසප් පිතිකරුවන් බිඳ දැමීමට ඔවුන් පුහුණු වෙමින් සිටියි.

නායක ලක්ෂින රොද්‍රිගෝ පසුගිය වසරේ නොදැවී ලකුණු 61*ක් ලබා ගන්නා ලදි. එසේම මනෙල්ක ද සිල්වා, සන්තුෂ් ගුණතිලක, ශාලිත් ප්‍රනාන්දු හා අනිශ්ක පෙරේරා පීතරයින් සතු දක්ෂ තරු වේ. එසේම විනුල් ගුණවර්ධන වෙනුවට සුලක්ශන ප්‍රනාන්දු කණ්ඩායමට කැදවා ඇත.

අපේක්ෂිත කණ්ඩායම – ලක්ෂින රොද්‍රිගෝ (නායක), සන්තුෂ් ගුණතිලක, අනිශ්ක පෙරේරා, සුලක්ශන ප්‍රනාන්දු, මනෙල්ක ද සිල්වා, ශාලිත ප්‍රනාන්දු, රන්මිත් ජයසේන, ශිවාන් පෙරේරා, චතුර ඔබේසේකර, සචින් සිල්වා, මිෆ්ලාල් අමීන්

සාරංශය

ඉතිහාසය පරීක්ෂා කළ විට, සාන්ත ජෝසප් විද්‍යාලය පෙරමුණේ පසු වන බවක් පෙන්නුම් කරන අතර,  නොකඩවා තම තෙවන ජයග්‍රහණය ද ලබාගෙන සාන්ත ජෝසප් විද්‍යාලයට අභියෝගයක් දීමට හැකි තරගකාරී සංචිතයකින් පීතරවරුන් සමන්විතයි. එම නිසා මෙම තරගය තුල ඉතාමත් තියුණු තරගයක් බලා ගැනීමට 10,000ක් පමණ වන සුවහසක් ක්‍රීඩාලෝලීන්ට අවස්ථාවක් උදා වන බව නම් නිසැකය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට