සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ගෝල වර්ෂාවක්

437
SJCvWC

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලිය යටතේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලය අතර ඊයේ (20) මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්, ගෝල 13-00ක ඉතා පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ ඔවුන්ගේ ආරම්භක තරගයේ දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය කණ්ඩායම ගෝල 6-2ක් ලෙස පරාජයට පත්කරමින් ගරු පීටර් ඒ. පිල්ලේ පියතුමන්ගේ අනුස්මරණ කුසලානය නැවත වරක් දිනා ගැනීමට සමත් වූ අතර වික්‍රමබාහු විද්‍යාලයීය කණ්ඩායමට මෙම තරගය තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගය විය.

මෙම තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ අසේල මදුෂාන් සහ චමත් රශ්මිත ගෝල 4 බැගින් සහ චලන ප්‍රමන්ත ගෝල 2ක් ලබා ගැනීමට සමත් වූ අතර තරගය තුළ ඔවුන් ලබාගත් මුළු ගෝල සංඛ්‍යාව 13කි.

සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ රශ්මිත විසිනි. එහි දී තරගයේ 11 වෙනි මිනිත්තුවේ දී ප්‍රමන්ත ලබා දුන් පන්දුව රශ්මිත විසින් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කිරීමට සමත් විය.

රාජකීයයන් හමුවේ සහිරා විද්‍යාලයට පහසු ජයක්

මරදාන සහිරා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අද (12) මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී…

පසුව මදුෂාන් විසින් ඉක්මන් ගෝල 2ක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර ඉන් අනතුරුව තවත් ගෝලයක් වාර්තා කර ගත් නිතේෂ් කුරේ තරගයේ ලකුණු තත්වය 4-0ක් දක්වා ඉදිරියට රැගෙන ගියේය.

අසේල මදුෂාන් ගෝලයක් වාර්තා කර ගැනීම සඳහා එල්ල කළ පහරක් වික්‍රමබාහු විද්‍යාලයීය කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක දිනේෂ් කෞශාන් විසින් වළකාලන්නට සමත් වූ අතර එහි දී රශ්මිත වෙත පන්දුව යොමු වුවත් ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය. අනතුරුව ප්‍රමන්ත ලබා දුන් තවත් පන්දුවක් හරහා සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමේ නායක ජේසන් ප්‍රනාන්දු හට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලැබුණත් එය සාර්ථක කර ගැනීමට ඔහු සමත් වූයේ නැත.

කෙසේ නමුත් පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුළ වික්‍රමබාහු විද්‍යාලයීය කණ්ඩායමේ නෙමේෂ සඳරුවන් හට ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවන් දෙකක් හිමි විය. නමුත් එම අවස්ථාවන් දෙකම සාර්ථක කර ගන්නට ඔහු සමත් වූයේ නැත.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 4 – 0 වික්‍රමබාහු විද්‍යාලය

තරගයේ දෙවැනි අර්ධය තුළ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් විශිෂ්ට ක්‍රීඩා රටාවක් දියත් කරන්නට සමත් විය. දෙවැනි අර්ධය ආරම්භයේ දීම ජේසන් ප්‍රනාන්දු විසින් පහසු ගෝලයක් වාර්තා කරගත් අතර ඉන් මිනිත්තු 2කට පසුව රශ්මිත ද ගෝලයක් වාර්තා කර ගත්තේ තරගයේ ලකුණු තත්වය 6-0ක් දක්වා ඉදිරියට රැගෙන යමිනි.

පසුව ප්‍රමන්ත විසින් ද ගෝලයක් වාර්තා කරගත් අතර ඉන් අනතුරුව මදුශාන් තවත් ගෝල 2ක් වාර්තා කර ගැනීමට සමත් වූයේ තරග 2ක් තුළ ඔහු වාර්තා කර ගත් 7 වෙනි ගෝලයට ද හිමිකම් කියමිනි. වික්‍රමබාහු විද්‍යාලයීය කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක කෞශාන් ප්‍රතිවාදී උත්සාහයන් කිහිපයක්ම වළකාලන්නට සමත් වුවත්, ජෝසප්වරුන්ගේ ගෝල ලබා ගැනීම නවත්වන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. මිනිත්තු කිහිපයකින් අනතුරුව ප්‍රමන්ත ලබා දුන් පන්දුවට හිසින් පහරක් එල්ල කළ ෂෙනාල් සන්දේශ් තරගය තුළ සිය කණ්ඩායමේ ගෝල සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ නැංවීමට සමත් විය.

තරගයේ 59 වෙනි මිනිත්තුවේ දී ප්‍රමන්ත තරගයේ සිය දෙවනි ගෝලය වාර්තා කර ගැනීමට සමත් වූ අතර තරගය අවසන් වීමට පෙර රශ්මිත විසින් තවත් ගෝල 2ක් වාර්තා කරගනු ලැබුවේ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමට වික්‍රමබාහු විද්‍යාලය හමුවේ ප්‍රබල ජයක් හිමිකර දෙමිනි.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 4 – 0 වික්‍රමබාහු විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – චලන ප්‍රමන්ත

ගෝල ලාභීන්

සාන්ත ජෝසප් විද්‍යාලය  – චමත් රශ්මිත 12’, 44’, 64’ & 66’, අසේල මදුෂාන් 15’, 19’, 50’ & 55’, නිතේෂ් කුරේ 22’, ජේසන් ප්‍රනාන්දු 42’, චලන ප්‍රමන්ත 48’ & 59’, ෂෙනාල් සන්දේශ් 57’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<