සාන්ත ජෝසප් – සෙබස්තියන් අවසන් මහා තරගයට සියල්ල සූදානම්

146

මාස පහකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සුදුසුකම් ලබාගෙන ඇත.

සාන්ත ඇලෝසියස් හා ඩී. එස්. සේනානායක ඉදිරියෙන්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු …

අවසන් තරගයට පැමිණි මඟ

සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් බොහෝමයක් දෙනෙක් ඔවුන්ගේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ ද ක්‍රීඩා කරයි. ඔවුන් මෙතෙක් මේ තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණ ඇත්තේ අපරාජිතව වන අතර ඔවුන් හමුවේ තර්ස්ටන් විද්‍යාලය, මහින්ද විද්‍යාලය, රාජකීය විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය යන ප්‍රබල කණ්ඩායම් පරාජයට පත් වී ඇත.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවසන් මහා තරගයේ අසුන වෙන්කර ගත්තේ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය පරාජය කරමිනි.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

ගියවර පැවති සාන්තුවරයන්ගේ පාසල් මහා ක්‍රිකට් තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් වැඩි මෙහෙයක් කළ අශේන් ඩැනියල් මෙවර සාන්ත ජෝසප් විද්‍යාලයේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම මෙහෙයවන අතර ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජෙහාන් ඩැනියල්ගේ සහෝදරයෙකු වේ.

Photo Album: සාන්ත ජෝසප් විද්‍යාලයීය 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම

තරුණ වමත් දඟපන්දු යවන්නෙක් වන 15 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ පළමු වතාවට සිය විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ තරගාවලිය තුළ පන්දු යැවීමෙන් කඩුලු 70ක් හා පිතිකරණයෙන් ලකුණු 550ක් රැස්කර ගනිමින් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළේය.

වෙල්ලාලගේ සාන්ත ජෝසප් විද්‍යාලයේ පිතිකරණ බලඇණිය සතුවන ප්‍රබල පසුපෙළ ක්‍රීඩකයෙකි.  එසේම වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ලක්ෂාන් ගමගේ සාන්ත ජෝසප් විද්‍යාලය අසීරු අවස්ථාවල සිටි බොහෝ අවස්ථාවල දී කණ්ඩායමට සවියක් වී ඇත. යෙසිත් රූපසිංහ ද මේ අවසන් මහා තරගය තුල වැඩි අවධානය දිනා ගන්නා ක්‍රීඩකයෙක් ලෙස හැඳින්වීමට හැකිය.

නායක අශේන්  ඩැනියල් මෙවර තරග වාරය තුල කඩුලු පහේ අවස්ථා 4ක් හා කඩුලු දහයේ අවස්ථා දෙකක් ලබාගෙන ඇත. ඩැනියල් සමඟ එක්ව අනෙක් අන්තයෙන් වමතින් දඟපන්දු යවන ක්‍රීඩක මිරංග වික්‍රමගේ මෙවර තරග වාරය තුල කඩුලු 30කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ජොහෑන් ද සිල්වා හා කඩුලු රකින පිතිකරු ශිවාන් රාසුල් මෙවර තරගාවලිය තුල ලකුණු 500 සීමාව ඉක්මවා ලකුණු රැස්කරගෙන ඇත.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායක ජනිෂ්ක පෙරේරා මෙවර තරග වාරය තුල ඔහුගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලබාගෙන තිබෙන පිතිකරුවන් අතර සිටින තවත් දක්ෂ ක්‍රීඩකයෙකි. සවීන් ප්‍රනාන්දු ඔවුන්ගේ විද්‍යාල පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලබාගෙන සිටින පිතිකරු වේ. ඔහු පසුගිය වර්ෂයේ පැවති පාසල් මහා ක්‍රිකට් තරගයේ දී ද ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වෙමින් දස්කම් දක්වන ලදි.

Photo Album: සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම

සුකිත මනෝජ් සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මැදපෙළ සවිමත් කරන ප්‍රබල පිතිකරුවෙක් වන අතර ඔහුට ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින් අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අවස්ථාවක දී වුවද සෙමින් සීරුවේ පිතිකරණයේ නිරත වෙමින් හොඳ ලකුණු පුවරුවක් වෙත සිය කණ්ඩායම මෙහෙයවීමට හැකි ඉතාමත් ස්ථාවර පිතිකරුවෙකි.

වමතින් වේගපන්දු යවන ක්‍රීඩක සසික පෙරේරා සිය විද්‍යාලය මෙවර මේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා රැගෙන ඒම වෙනුවෙන් වැඩි මෙහෙයක් කළ සාන්ත සෙබස්තියන් පන්දු යවන්නා ලෙස හැඳින්වීමට හැකිය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් වරට මුණගැසුණු තරගයේ ලකුණු සාරාංශය,

සාන්ත ජෝසප් විද්‍යාලය – 236/9 (50): ශිවාන් රාසුල් 43, දිනෙත් ජයකොඩි 43, රිෂිත පෙරේරා 33*, ලක්ෂාන් ගමගේ 32, ජොහාන් ද සිල්වා 25, තදුල  ද සිල්වා 2/27, ශෂික පෙරේරා 2/36.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 237/6 (49): නිෂිත අභිලාෂ් 67, ජනිෂ්ක පෙරේරා 48*, ලහිරු ප්‍රනාන්දු 48, සසික පෙරේරා 33*, දිනෙත් ජයකොඩි 3/53.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 4ක ජයක්

අවසන් නිගමනය

හෙට (19) පැවැත්වෙන මේ තරගය ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටියේ ඉතාමත් තීරණාත්මක තරගයක් වනු ඇත. සාන්ත ජෝසප් විද්‍යාලය සතුව අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සිටින අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලය සතුව සවිමත්, ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයින් සිටින නිසා මෙම අවසන් මහා තරගයේ ජයග්‍රහණ කුමන පාසල විසින් දිනා ගනිවි ද කියා නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැක.

මෙම තීරණාත්මක අවසන් මහා තරගය කොළඹ BRC පිටියේ දී හෙට (19) උදෑසන 10 සිට පැවැත්වේ. එහි තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<