මාර්තු මස 17 වන දිනට යෙදී ඇති 83 වන සාන්තුවරුන්ගේ කුසලානය මෙවර තමන් සතු කර ගැනීමට නම් සාන්ත ජෝසප් විදුහලට, තම ප්‍රතිවාදීන් වන සාන්ත පීතර විදුහලට එරෙහි තරගයේ දී මුහුණ දීමට ඇත්තේ සුළුපටු කාර්යයකට නොවේ.

මොරටු රන් සටනේ රිදී කුසලානය සොයා යන වේල්ස් කුමරුවන්

වේල්ස් කුමර පිතිකරණ බල ඇණියේ තවත් ප්‍රධාන අවියක් වන සනෝජ් ධර්ෂික කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමේ පෙරමුණ ගෙන සිටින්නේ මෙවර තරග වාරය තුල ලකුණු 610ක් ලබා ගනිමිනුයි….

ක්‍රිකට් අතීත පොතෙන් බිඳක්

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ වසර 120ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනා ඩාලි පාරේ පිහිටි සාන්ත ජෝසප් විදුහල, දිවයිනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹීමට උර දුන් ප්‍රධාන පාසල් වලින් එකකි. එදා මෙදා තුර ජෝසප් විදුහලෙන් බිහි වී ලොව ජය ගත් ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට ෆෙයාලි දල්පදාදු, ඈශ්ලි ද සිල්වා, අජිත් වීරක්කොඩි හා චමින්ද වාස් එක් වේ.

මෑත කාලයේ දී සාන්ත ජෝසප් විදුහලින් බිහි වූ දක්ෂ ක්‍රීඩකයන් අතරට වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා ආරම්භක ටෙස්ට් ක්‍රිකට් පිතිකරු දිමුත් කරුණාරත්න ඇතුලත් වේ. තවද ජාතික කණ්ඩායම පෙනෙන මානයේ සිටින රොෂේන් සිල්වා, රජීව වීරසිංහ හා සදීර සමරවික්‍රම යන  ක්‍රීඩකයන් ද අන්තර් සමාජ තරග වල ඉහළ පෙලේ දස්කම් දක්වන ක්‍රීඩකයන් වේ.

2007 වසරේ රජීව වීරසිංහ විසින් මෙහෙය වූ සාන්ත ජෝසප් කණ්ඩායම එම වසරේ හොඳම ක්‍රිකට් කණ්ඩායම ලෙසත් නම් විය. තවද 2011 වසරේ දී රොස්කෝ තට්ටිල් විසින් මෙහෙය වූ විදුහල් කණ්ඩායම එම වසරේ 19න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ද සමත් විය.

අවසන් වරට සාන්ත ජෝසප් විදුහල සාන්තුවරුන්ගේ සටන ජයග්‍රහණය කලේ 2008 වසරේ දී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේ විසින් මෙහෙය වූ කණ්ඩායම විසිනි. පසුගිය තරග වාර 82 ඇතුලත සාන්ත ජෝසප් විදුහල 13 වතාවක් ජයග්‍රහණය කර ඇති අතර සාන්ත පීතර විදුහල ජය ලබා ඇත්තේ 10 වතාවක් පමණි.

2016/17 තරග සමය

පසුගිය 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී D කාණ්ඩයෙන් තරග වැදුණු සාන්ත ජෝසප් විදුහල තෙවැනි ස්ථානයට පත් වූයේ ප්‍රසාද ලකුණු 107.680ක් ද ලබා ගනිමිනි. ඔවුන් එහි දී ගම්පහ බණ්ඩාරනායක විදුහල හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල පරාජය කරමින් සහභාගි වූ තරග 8න් තරග 2ක් ජය ගැනීමට සමත් විය.

පසුගිය තරග කාලයේ දී ඔවුන් හරින් කුරේගේ නායකත්වය යටතේ තරග 19කට සහභාගි වූ අතර ඔවුන් එහි දී අපරාජිතව තම තරග සමය නිමා කිරීමට සමත් විය. මෙහි දී දක්නට ලැබුණු විශේෂ යමක් වූයේ අවස්ථා 9ක දී සාන්ත ජෝසප් පිතිකරුවන් ලකුණු 300 සීමාව පසු කිරීමයි.

Photo Album: St. Joseph’s College Cricket Team Preview 2016/17

අවධානය යොමු වන ක්‍රීඩකයන්

වමත් පිතිකරු නිපුන් සුමනසිංහ සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවන්ගෙන් එක් අයෙකු ලෙස හැඳින්විය හැක. ඉදිරි පෙළ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට මහඟු සේවයක් ඉටු කරන ඔහු, මෙවර තරග වාරයේ තරග 11ක් තුල ලකුණු 1000 කඩඉම පසු කරන්නට සමත් වී සිටියි. ඔහුගේ ලකුණු එකතුවට ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් ඇතුළත් වේ.

දකුණත්  පිතිකරු දිනෙත් මදුරාවල සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායමේ පිතිකරුවන්ගෙන්  දක්ෂතා අතර සිටිනා එක් අයෙකු ලෙස හැඳින්විය හැක. ඔහු මෙවර තරග වාරය තුල ශතක 4ක් ඇතුළුව ලකුණු 850 කඩඉමට ආසන්නව සිටියි. මෙම පිතිකරුවා තර්ස්ටන් විදුහලට  එරෙහිව නොදැවී ලකුණු 144ක් වාර්තා කරමින් දැක්වූ විශිෂ්ට ක්‍රීඩා විලාශය ප්‍රශංසනීය ය.

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන රෙවාන් කෙලි හා ජෙහාන් ඩැනියල් ශ්‍රී ලංකා තරග සංචාරයෙන් අනතුරුව නැවතත් තම කණ්ඩායමට එක්වන්නේ උපරිම දස්කම් පෑමේ අරමුණෙනි.

වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නායක හරීන් කුරේ මෙවර තරග වාරය පුරාවටම සාන්ත ජෝසප් විදුහල්  කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ ප්‍රධානතම තුරුම්පුව බවට පත්ව සිටියි. මේ තරග වාරයේ ක්‍රීඩා කල තරග තුළ දී ඔහු බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 79කි. වේග පන්දු යවන ක්‍රීඩක රුචිර ඒකනායක ද මෙම තරග වාරයේ දී කඩුලු 40කට ආසන්න ගණනක් බිඳ හෙලා ඇත.

කණ්ඩායම් උප නායක හා කඩුලු රකින ශෙවොන් ෆොන්සේකා, ආධුනික ක්‍රීඩක ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ හා පළපුරුදු ක්‍රීඩක පහන් පෙරේරා කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරනු ඇත.

පුහුණු කාර්ය මණ්ඩලය

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක හා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු වූ රොජර් විජේසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මයිකල් ඇඩම්ස් සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

සාරාංශය

සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට පීතරයන්ගේ කඩුලු 20ක් ලබා ගැනීම ලෙහෙසි නොවන අතර ඔවුන්ට ලකුණු රැස් කිරීම ද එතරම් අපහසු නොවේ. පසුගිය වසර 7 ඇතුළත ජෝසප් ක්‍රීඩකයන් 3න් වතාවක් සාන්තුවරුන්ගේ සටන පරාජය වී ඇති අතර එය මෙම වසරේ ජය ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රායයි.

සාන්ත ජෝසප් විදුහල් සංචිතය

හරීන් කුරේ(නායක), ශෙවොන් ෆොන්සේකා(උප නායක), ජෙහාන් ඩැනියල්, රෙවාන් කෙලි, නිපුන් සුමනසිංහ, දිනෙත් මදුරවල, රුචිර ඒකනායක, පහන් පෙරේරා, හවින් පෙරේරා, තශාන් පෙරේරා, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ, දිනෙත් ජයකොඩි, කැමරන් දුරුගේ, ලක්ෂාන් ගමගේ, සචින්ත මහින්දසිංහ, ශෙවන් රසල්, අවිෂ්ක ප්‍රනාන්දු, කවිඳු ජයතිස්ස, ඩාරියෝ දසනායක