රටවල් 8කින් එක වෙන්න ශ්‍රී ලංකා වොලිබෝල් සිහින දකී

521

සැප්තැම්බර් මස 15 වැනිදා සිට සැප්තැම්බර් මස 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත “ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය” සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රටවල් 7ක් සමඟින් තරග කිරීමට නියමිතව ඇත.

පළමු වරට සංවිධානය වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන අතර ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව, හොංකොං සහ සෞදි අරාබිය A කාණ්ඩය යටතේ තරග කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, ඉරාකය සහ මොංගෝලියාව B කාණ්ඩය යටතේ තරග කරනු ඇත.

ලංකා ලයන්ස් හමුවේ ලෝන්ග් පවර් බල රහිත වේ

ලෝන්ග් පවර් වොලිබෝල් ක්‍රීඩා සමාජය වට 3-0ක් ලෙස පරාජය කළ ලංකා ලයන්ස් කණ්ඩායම 2018 ආසියානු …

ආසියානු වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අනුදැනුම යටතේ පැවැත්වෙන මෙම පළමු “ආසියානු අභියෝගතා පිරිමි වොලිබෝල් තරගාවලිය” ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන අතර තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට සුපිරි අධිවේගී Dialog 4G Home Broadband ඉදිරිපත්ව සිටියි.

ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව 1 සිට 8 දක්වා වූ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන “ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලියෙන්” මෙම තරගාවලිය වෙනස් වන්නේ ශ්‍රේණිගත කිරීම් 9 සිට 16 වැනි ස්ථානවල සිටින රටවල් මෙම තරගාවලිය සඳහා සහභාගී වන නිසාවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම දැනට ආසියානු ශ්‍රේණිගත කිරීම් හි 14 වැනි ස්ථානයේ පසුවන අතර මෙම තරගාවලියේ පළමු දෙවැනි ස්ථාන ජයග්‍රහණය කළහොත් ආසියානු ශ්‍රේණිගත කිරීම් හි 7 හෝ 8 වැනි ස්ථානය සඳහා පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වන බවත්, ලෝක ශ්‍රේණිගත කිරීමේ දී ද ඉදිරියට පැමිණෙන්ට එය ඉවහල් වන බවත් බදාදා (15) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවට සහභාගී වූ තරගාවලියේ අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපති සී. රත්නමුදලි මහතා තරගාවලියේ තාක්ෂණ තොරතුරු පිළිබඳව විස්තර කරමින් පවසා සිටියේ 15 වැනිදා බංග්ලාදේශය සහ ඉරාකය අතර පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ වන බවත්, තරගාවලියේ සමාරම්භය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන අතර සැප්තැම්බර් මස 22 වැනිදා පැවැත්වෙන සමාප්ති උළෙල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවයි. තරගාවලියේ පුහුණු තරග කොළඹ 7 පිහිටි ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දීත්, ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දීත් පැවැත්වෙනු ඇතැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

මිලියන එකහාමාරක් සමඟින් වෙළඳසේවා වොලිබෝල් උණුසුම් වේ

2018 වසර සඳහා වන වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය මෙම මස සැප්තැම්බර් මස 1 වන …

මාධ්‍ය හමුව සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය/ ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා මහතා පැමිණි සිටි අතර එහි දී ඔහු පවසා සිටියේ මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවට ජාත්‍යන්තරයේ විශාල ස්ථානය වෙන්කරගන්නට හැකි වනු ඇති බවයි.

එමෙන්ම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයින් පසුගිය කාලයේ දී දැක්වූ දක්ෂතා ඒ අයුරින්ම මෙම තරගාවලියේ දී දක්වමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒම පිළිබඳව සියලු දෙනා බලාපොරොත්තු තබාගෙන ඇති බවත්, මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වොලිබෝල් තරගාවලියක් වනු ඇති බවත් පැවසීය.

මාධ්‍ය හමුවේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න 

මාධ්‍ය හමුව අතරතුර දී තරගාවලියේ නිල කුසලානය අනාවරණය කිරීමත්, ජාතික තලයේ දක්ෂතා දැක්වූ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජ්‍යේෂ්ඨතා අංකය ලබා දීමත් සිදු කෙරුණි.  

උක්ත මාධ්‍ය සාකච්ඡාව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවති අතර ඒ සඳහා ඉහත සඳහන් කළ පුද්ගලයින්ට අමතරව ඩයලොග් ආසිආටා ආයතනයේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, ඩයලොග් ආසිආටා ආයතනයේ ස්ථාවර සහ බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයේ ප්‍රධානී නවීන් පීරිස්, ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

මෙම තරගාවලියේ දී සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<