අන්තෝනිවරුන්ගේ ශක්තිය අභිබවා යමින් ජෝසප්වරුන් ජය ලබයි

748

මහනුවර බෝගම්බර පිටියේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව පැවති රග්බි තරගයෙන් ජය ලබන්නට මරදාන සාන්ත ජෝසප් විදුහල සමත් වූයේ ලකුණු 24-11ක් ලෙසයි. සිංගර් පාසල් රග්බි ලීගයේ පස්වැනි සතියේ දී ලද මේ ජයත් සමඟින් දෙවන වටය වෙත තවත් පියවරකින් ලංවන්නට ජෝසප් කණ්ඩායමට හැකි විය.

ඉසිපතනය රාජකීයයන්ගේ අපරාජිත ගමන නිමා කරයි

අන්තර් පාසල් ලීග් රග්බි තරගමාලාවේ පස්වන සතිය ක්‍රියාත්මක වන අතර මෙම සතියේ වැදගත් තරග කිහිපයකින්ම දේශීය පාසල් රග්බි පිටිය උණුසුම් වනු ඇති.

මිනිත්තු 20ක් පමණ මුළුල්ලේ අක්‍රියව පැවති ලකුණු පුවරුව සක්‍රිය වූයේ සාන්ත අන්තෝනි විදුහලේ සැමුවෙල් මධුවන්ත විසින් එල්ල කල දඬුවම් පහරකින් අනතුරුවයි. (අන්තෝනි 03-00 ජෝසප්)

ඉන් මිනිත්තු කිහිපයකට පසුව ක්‍රියාත්මක වූ අන්තෝනි නායක දිනුක් අමරසිංහ, මීටර 30ක පමණ වේගවත් ධාවනයක් සිදු කරමින් දිනයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේය. මධුවන්ත විසින් ඉහළට යොමු කෙරුණු ප්‍රවර්තන පා පහර ප්‍රතිවාදී ෆුල් බැක් ක්‍රීඩක මොහොමඩ් ශාබීර් විසින් ලබා ගත් අතර නැවතත් එය සොරා ගත් අන්තෝනිවරුන් ආක්‍රමණයෙහි යෙදුණු ආකාරය විශිෂ්ටය. (අන්තෝනි 08-00 ජෝසප්)

පියවරෙන් පියවර උත්සාහක දිනුමක් නිර්මාණය කළ ජෝසප්වරුන් වෙනුවෙන් එය අවසන් කළේ සචිත් සිල්වායි. චතුර සෙනවිරත්න විසින් එල්ල කරන ලද ප්‍රවර්තනය අසාර්ථක විය. (අන්තෝනි 08-05 ජෝසප්)

ලකුණු 3ක පරතරයකින් දෙපිල තරග වදිද්දී පළමු අර්ධය නිමා විය.

පළමු අර්ධය – සාන්ත අන්තෝනි විද්‍යාලය 08 (1T 1P) – 05 (1T) සාන්ත ජෝශප් විද්‍යාලය

දෙවන අර්ධයේ දී ද ලකුණු පුවරුව සක්‍රිය කළේ සැමුවෙල් මධුවන්ත විසිනි. මීටර 49ක දුරකින් ලද දඬුවම් පහර කිසිදු අවහිරයකින් තොරව ගෝල කණු ද්විත්වය අතරින් රිංගා යවන්නට ඔහු සමත් විය. (අන්තෝනි 11-05 ජෝසප්)

ඉන් අනතුරුව ජෝසප් කණ්ඩායමේ පෙර පෙළ ක්‍රීඩකයන්ගෙන් දිස්වූයේ අගනා ක්‍රීඩා විලාශයකි. කෙටි ධාවනයන් සමඟින් යළි යළිත් අන්තෝනි ආරක්ෂකයන්ට අභියෝග කළ ඔවුන් ෂෙහාන් එරංගට පන්දුව ලබා දී කණ්ඩායමක් වශයෙන් ඉදිරියට ඇදුණු අතර එම උපක්‍රමය උත්සාහක දිනුමකින් කෙළවර විය. සචිත් සිල්වාගේ ප්‍රවර්තනය සාර්ථකයි. (අන්තෝනි 11-12 ජෝසප්)

ලකුණු පරතරය දිගු කර ගන්නට ඉදිරියටම ගිය ජෝසප්වරුන් වෙනුවෙන් නායක විනුල් ප්‍රනාන්දු මීටර 60ක පමණ ධාවනයක් සිදු කළ අතර සචිත් සිල්වාට පන්දුව භාර වීමෙන් පසුව තරගය තුළ සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කරන්නට සචිත් සමත් විය. මෙවර ප්‍රවර්තන කාර්යය ඉටු කළේ චතුර සෙනවිරත්න යි. (අන්තෝනි 11-19 ජෝසප්)

සිය පාදයෙන් මනාව දක්ෂතා ප්‍රදර්ශනය කරමින් දිගු හා කෙටි පහරවල් කිහිපයක්ම එල්ල කරන්නට චතුර සමත් විය. පසුව රක් අවස්ථාවක දී ලද පන්දුව උත්සාහක දිනුම් සීමාවෙන් එපිටට ගෙන යන්නට ඔහු සමත් වූයේ අන්තෝනිවරුන්ට කණගාටුදායක ඉරණමක් හිමි කර දෙමිනි. එහි ප්‍රවර්තනය පමණක් සචිත්ගේ පාදයෙන් අසාර්ථක විය. (අන්තෝනි 11-24 ජෝසප්)

අන්තෝනිවරුන්ගේ මීළඟ ප්‍රතිවාදීන් වන්නේ රාජකීය සහ ධර්මරාජ යන කණ්ඩායම්ය. ජෝසප්වරුන් මීළඟ සති වල දී සේනානායකවරුන්ට සහ පීතරයින්ට මුහුණ දීමට නියමිතයි.

සම්පූර්ණ කාලය – සාන්ත අන්තෝනි විද්‍යාලය 11 (1T 2P) – 24 (4T 2C) සාන්ත ජෝශප් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – චතුර සෙනවිරත්න (ජෝසප්).

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්

  • සාන්ත ජෝසප් – සචිත් සිල්වා 2T 1C, ෂෙහාන් එරංග 1T, චතුර සෙනවිරත්න 1T 1C.
  • සාන්ත අන්තෝනි – දිනුක් අමරසිංහ 1T, සැමුවෙල් මධුවන්ත 2P.  

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට