මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන 101 වැනි කඳුරට නිල් මහා සටන මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී අද (16) ආරම්භ විය.

තරගයේ පළමු දිනය තුළම ත්‍රිත්ව විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් අතර නායක හසිත බෝයගොඩගේ පිතිකරණය ත්‍රිත්ව විදුහල් ලකුණු පුවරුව වර්ණවත් කරන්නට සමත් විය.

ත්‍රිත්ව – අන්තෝනි කඳුරට නිල් මහා සටනට සියල්ල සූදානමින්

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන…

කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාල නායක හසිත බෝයගොඩ පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු කඩුලු 4 ලකුණු 15ක් වැනි අවම ලකුණු මට්ටමක දී දවා ගැනීමට ත්‍රිත්ව විද්‍යාල වේගපන්දු යවන්නන් සමත් විය.

ජෝන් හලංගොඩ සමරු කුසලානය වෙනුවෙන් පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක් පවත්වා ඇති තරග පිළිබඳව සලකා බැලූ විට ත්‍රිත්ව විද්‍යාලය ජයග්‍රහණ 23ක් සමඟින් ඉදිරියෙන් පසුවන අතර සාන්ත අන්තෝනි විද්‍යාලය තරග 11ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

ඉන් අනතුරුව පිටියේ එක්වූ නවෝද්‍ය විජේකුමාර් හා මොහොමඩ් අබ්සාර් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවයක් ගොඩනංවමින් සාන්ත අන්තෝනි විද්‍යාලයට සාර්ථක අඩිතාලමක් එක්කරන ලදි. එම සබඳතාවය අවසන් වූයේ ලකුණු 29ක් ලබා සිටි අබ්සාර් දැවී යාමත් සමඟයි.

ඉන් අනතුරුව ලකුණු 32ක් ලබා සිටි නවෝද්‍ය ද දැවී ගියේ, සාන්ත අන්තෝනි ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 75ක් ලෙස සටහන් කරමිනි. එම කඩුලු දෙකම දකුණතින් වේගපන්දු යවන රුවින් පිරිස්ගේ නම ඉදිරියෙන් සටහන් විය.

දිවා ආහාරය සඳහා තරගය නවතා දමන විට සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටියේ තරගයේ වැඩි වාසිය සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය දෙසට හිමි කර දෙමිනි. දිවා ආහාරයට පසුව තව තවත් සිය ස්ථාවරත්වය තහවුරු කර ගත් ත්‍රිත්ව විද්‍යාලය සිය ප්‍රතිවාදීන්ගේ අවසන් කඩුලු 3 ලකුණු 17ක් තුළ දවා ගැනීමට සමත් වූයේ සාන්ත අන්තෝනි පළමු ඉනිම ලකුණු 115කට සීමා කරමිනි.

පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන තිසරු ඩිල්ශාන් කඩුලු 4ක් දවා ගන්නා විට අනෙක් අන්තයෙන් දස්කම් දැක්වූ රුවින් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

අවසන් වරට මෙම තරගයේ ජයග්‍රහණයක් සනිටුහන් වූයේ 2012 වසරේ දී වන අතර එහි දී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම වසර 25කින් අනතුරුව ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් වූයේ එම තරගය ඉනිමකින් සහ එක් ලකුණකින් ජයග්‍රහණය කරමිනි. කෙසේ නමුත් සාන්ත අන්තෝනි විද්‍යාලය 1992 වසරෙන් පසුව තවමත් තරගයක් ජයග්‍රහණය කර නොමැත.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයේ පළමු කඩුලු දෙක ලකුණු දෙකක් තුළ දවා ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාල වේගපන්දු යවන්නන් සමත් විය.

ඉන්පසු පිටියේ එක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දකුණතින් පිත්ත හසුරුවන හසිත බෝයගොඩ හා මැදපෙළ පිතිකරු ජෙෆ් වීරසිංහ එකතු වී ත්‍රිත්ව ඉනිම යළිත් ගොඩනැංවීමට සමත් වූහ. තේ පානය සඳහා තරගය නතර කරන විට ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 49ක් ලබාගෙන සිටියේය.

4 පහර 6ක් හා 6 පහර 2ක් සිය සමඟින් ලකුණු 72ක් ලබාගෙන නායකත්වයේ පිතිකරණයක නිරත වූ බෝයගොඩ තෙවන කඩුල්ලට ගොඩනැංවුණු සාර්ථක ලකුණු 94ක සබඳතාවයට තිත තබමින් දැවී ගියේ කල්හාර සේනාරත්නගේ පන්දුවකටයි.

‘මියෙම්වා රැකෙම්වා’ තරගයෙන් ශ‍්‍රී ලංකාව ගොඩ එයි ද?

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහා සටනට සුදුසුකම් ලබා ඇති ඉන්දීය…

ඉන් අනතුරුව පිටියට පිවිසි අභිෂේක් ආනන්දකුමාර හට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි වූයේ සාන්ත අන්තෝනි විද්‍යාලයේ දක්ෂ පන්දු රැකීම නිසාවෙනි. ජේෆ් වීරසිංහ ත්‍රිත්ව විද්‍යාලයේ 5 වැනි කඩුල්ල ලෙස ලකුණු 37කට දැවී යන විට ත්‍රිත්ව විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 15ක් ඉදිරියෙන් සිටින ලදි.

තරගයේ පළමු දිනය අවසන් වන විට ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා සිටියේ සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 35ක් ඉදිරියෙන් සිටිමිනි.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 115 (37.1): නවෝද්‍ය විජේකුමාර් 32, මොහොමඩ් අබ්සාර් 29, තිසරු ඩිල්ශාන් 4/30, රුවින් පිරිස් 3/31.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 150/5 (38): හසිත බෝයගොඩ 72, ජෙෆ් වීරසිංහ 37, නිම්නක ජයතිලක 2/45.

101 වන වරටත් පැවැත්වෙන ත්‍රිත්ව – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රිකට් සංග්‍රාමයේ දෙවන හා අවසන් දිනය හෙට (17) පැවැත්වෙන අතර එහි තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට‍ ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<