ආසියානු පදක්කම ගෙන එන්නට සවිය වෙන්න ‘සූරි’ත් සූදානමින්

1508

නවක ක්‍රීඩකයන් හා උරෙනුර ගැටෙමින් පරිණත ක්‍රීඩකයින් අතලොස්සක් ද තම රට වෙනුවෙන් උපරිමය ලබා දෙන්නට උත්සහ කරනු දැකගන්නට ලැබෙන කාලයක, තම ස්ථානය වසර ගණනක් තිස්සේම ආරක්ෂා කර ගනිමින් තම උපරිමය රට වෙනුවෙන් ලබා දෙන ක්‍රීඩකයන් අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාරට හිමි වන්නේ  සුවිශේෂී ස්ථානයකි.

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් රග්බි පිටියට අත්පොත් තබන ශ්‍රීනාත් වයස අවුරුදු 17න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කරමින් පළමු රග්බි තරගාවලිය සඳහා සහභාගී විය. ඉන්පසු ඔහු පාසල් පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරමින් පාසල් පිටියට සමුදෙන්නේ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් එක දිගට දෙවසරක්ම පාසල් පළමු පෙළ නියෝජනය කරමිනි.

“ICBT” සත් සාමාජික රග්බි ශූරතාව මෙම සති අන්තයේ දී

විශ්ව විද්‍යාල කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ප්‍රථම “ICBT රග්බි ශූරතා..

CR&FC කණ්ඩායම නියෝජනය කරමින් තම අන්තර් සමාජ රග්බි දිවිය අරඹන “සූරි” අද වන විට ලංකාවේ වර්තමාන ලීග් රග්බි ශූර මහනුවර ක්‍රීඩා සමාජයට නැතුවම බැරි ක්‍රීඩකයෙකි. 2009 දී තම ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය ලෙස ඩුබායි තරග සංචාරයක නියැලෙන සූරියබණ්ඩාර මේ වන විට වසර 9ක් පුරාවට ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ නොකඩවා ක්‍රීඩා කරයි. කණ්ඩායමේ පසුපෙළ සේම, ස්ක්‍රම් ක්‍රීඩකයෙකු ලෙසත් පිටියේ තම අණසක රඳවා ගන්නා මෙම ක්‍රීඩකයා නම්‍යශීලිත්වය හා මනා වේගය තුලින් ප්‍රතිවාදී කණ්ඩායම් වෙත දැඩි හිසරදයක් වූවෙකි.

ආසියානු ක්‍රීඩා උළෙල තෙවැනි වරට නියෝජනය කිරීම සඳහා සූදානම් වන ශ්‍රීනාත් 2010 දී හා 2014 දීත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තම දස්කම් විදහා ඇත. එම තරගාවලිවල දී ලබා ගත් අත්දැකීම් ඔහු මෙසේ ThePapare.com සමඟින් ප්‍රකාශ කළේය.

“පදක්කම් බලාපොරොත්තුවක් එහෙම තිබුණේ නෑ අපිට මුලින්, ඒක ලොකු සිහිනයක් වෙලා තිබුණේ, ඒ වුනාට 2014 පදක්කමක් අත ළඟටම ඇවිත් තමයි නැති වුනේ, මේ පාර අපි කොහොම හරි පදක්කමක් ගන්නවා.”

“එළඹෙන තරගාවලියේ දී ආසියාවේ අංක 1 වෙන්න තමා බලාපොරොත්තුව, රගර් වලින් කරන්න තියෙන ලොකුම දේ තමා රට වෙනුවෙන් කොහොම හරි පදක්කමක් අරන් එන එක.”

එළඹෙන ආසියානු තරගාවලියට සහභාගී වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර ඇතුළු සියලුම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා මාතාව රනින් බබලවන්නට හැකි වේවායි ThePapare.com අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<