ශූරියින්ගේ කුසලානයට පෙර පුහුණුවක්

123
Srilanka womens cricket

එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරියන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (6) දින පහක පෙර පුහුණුවීම් සැසිවාරයකට මහනුවර දී සහභාගි විය.

පසුගිය ලිපි: කළණ පෙරේරා කඩුලු 10ම දවා ගනියි!

පසුගිය මාසයක කාලයක් පුරාවට පුහුණුවීම් වල නිරත වූ මෙම ක්‍රීඩිකාවන්ට, එංගලන්තයේ ඇති සීතල දේශගුණික තත්වයට හුරු වීමට පහසු වන පරිදි මහනුවර කේන්ද්‍ර කරගනිමින් නේවාසික පස්දින පුහුණු කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කර ඇත.

නායිකාව ලෙස ඉනෝකා රණවීර කණ්ඩායම මෙහෙය වන අතර, එහි පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය මහතා පත් කර ඇත. එම කණ්ඩායමේ මානසික සංවර්ධන නිලධාරි ලෙස මහාචාර්ය රන්ජිත බණ්ඩාර මහතා හා ඩයන් ගෝමස් මහතා ක්‍රියා කරන අතර, කණ්ඩායම් ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව දිලිප් ද සිල්වා මහතා අධීක්ෂණය කරනු ලැබේ.

මෙම පුහුණු සැසිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව ඊයේ (5) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වූ අතර, එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම මෙන්ම කාන්තා හා ළමා ක්‍රිකට් කණ්ඩායම් ද ඉහළ තලයකට ගෙන ආ යුතු බවයි. ඊට අමතරව ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා සම්පත් අපි හැකි උපරිමයෙන් ඔවුන්ට ලබා දීමට සූදානම් ව සිටින බවයි. එසේම ශ්‍රී ලංකාව පුරාවටම කාන්තා ක්‍රිකට් ව්‍යාප්ත කිරීමට අවශ්‍යව තිබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.

කණ්ඩායමේ පුහුණුකරු වන හේමන්ත දේශප්‍රිය මහතා තම කණ්ඩායම ගැන සෑහීමට පත්වන බවත්, ඔවුන් පසුගිය දින කිහිපය පුරාවට කැපවීමෙන් ක්‍රීඩා කළ බවත් පැවසීය. මෙම පුහුණු කඳවුර 100% සාර්ථක කර ගැනීමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ට අවශ්‍ය උපරිම පහසුකම් හා අවශ්‍ය තාක්ෂණය ලබා දෙන අතර මෙවර තරගාවලියට හොඳින් මුහුණ දීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කරන ලදි.

කණ්ඩායමේ නායිකාව වූ ඉනෝකා රණවීර මෙසේ තම අදහස් දක්වන ලදි.

“අප හුඟක් සතුටට පත්වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපට ලබා දෙන පහසුකම් සම්බන්ධව, ක්‍රිකට් වලින් අපේ රටට හැකි උපරිමය ලබා දීමට අප සුදානම්වනවා, මෙම දින 5ක පුහුණු කඳවුර, අපට එරට කාලගුණික හා දේශගුණික තත්ත්වවලට හැඩ ගැසීමට හොඳ පිටිවහලක් වන අතර, ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ලබා දෙන පහසුකම් සියල්ලම වාගේම අපට ලබා දීම පිළිබඳව හුඟක් සතුටට පත්වෙනවා.”

එසේම මෙහි දී දඟ පන්දු සහය පුහුණුකරු ලෙස ඕෂධී වීරසිංහ මහත්මිය ක්‍රියා කරන අතර, වේග පන්දු පුහුණුකරු ලෙස රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් ලංකා ද සිල්වා මහතා ද රාජකාරියේ නිරත වනු ඇත.

මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා සංචිතය,

ඉනෝකා රණවීර (නායිකාව), ප්‍රසාදිනී වීරක්කොඩි (උපනායිකාව), ශසිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒශානි ලොකුසූරිය, ඩිලානි මනෝදරා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝදනී, නිපුනි හංසිකා, හංසනී පෙරේරා, ඕශධී රණසිංහ, හර්ශිතා මාධවී, අමා කාංචනා, චමරි පොල්ගම්පළ, චන්දිමා ගුණරත්න

අතිරේක ක්‍රීඩිකාවන්,

ඉනෝශි ප්‍රනාන්දු හා හංසිමා කරුණාරත්න

එළඹෙන 8 වැනිදා (පොසොන් පොහෝ දා) ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම දළදා මාළිගාව වැඳපුදාගෙන තවත් ආගමික වතාවක් කිහිපයකට සම්බන්ධ වීමට නියමිත අතර, ලබන 13 වැනිදා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට